සටහන – නිශ්මං රණසිංහ
ජුනි 09, කොළඹ (LNW): විස්සයි විස්ස ලෝක කුසලානය නොසිතූ පැත්තකට ඇල වෙන්න තියෙන ඉඩ වැඩිය.කිසිඳු කණ්ඩායමක් සුළුවෙන් ගන්නට නොහැකිය.මේ වන විට සෑම කණ්ඩායමක්ම තරගාවලියට පැමිණ සිටින්නේ තමන්ගේ උපරිමය සිඳු කිරීමට බව පැහැදිළිය.නොසිතූ පරාජයන්වලට කණ්ඩායම් මුහුණ දෙන ආකාරය එක අතකින් කණගාටුදායකය.එසේම ක්‍රීඩාවේ ආශ්චර්යය කියා පෑමක්ය.
මේ දක්වා සිඳු වූ විශාලතම පෙරළිය සිඳු කළේ ඇමෙරිකාවය.ඒ පකිස්තානය පරාජය කරමින්ය.පළමු වරට ඇමෙරිකාව පකිස්තානය ලැබූ ලකුණු ගණන සම කළේය.දෙවන වර සුපිරි පන්දු ඕවරයේදී ජය ගත්තේය.අවස්ථා දෙකක්ම එකම තරගයක ඇමෙරිකාව පකිස්තානයට දෙවන නොවන බව ඔප්පු කළේය.මේ සම්බන්ධයෙන් පකිස්තානය තුළ කුමන මතයක් සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන්නේදැයි අපි නොදනිමු.විරෝධතා විවේචන ඇතත් ඒවා කුමන පරිමාවක් ගනු ඇද්ද යන්න පිළිබඳ විනිශ්චයක් දෙන්නට අපොහොසත්ය.
ඇෆ්ගනිස්තානය රිදෙන්නට දුන්නේ නවසීලන්තයටය.එය හිතාගන්න බැරි දරුණු පරාජයක්ය.ලෝක කුසලානයට කිටිටුවෙන් හිටපු රටක් හැටියට තරගාවලිය ආරම්භයට පෙර සිට නම් කෙරුණු නවසීලන්තය පරාජය වුණේ දැවන්ත පරතරයක් ඇතුවය.ඇෆ්ගනිස්තානයේ ගසන ක්‍රිකට් එකක් නැත,පිට්ටනි නැත,පහසුකම් හිඟය යනුවෙන් මේ ජයග්‍රහණය ලංකාව සමග සංසන්දනය කරන පිරිසගේ අවධානයට නොයන්නේ මේ කණ්ඩායමේ බහුතරයක් ලෝකය පුරා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන පිරිස බවය.ඒ අත්දැකීම් ප්‍රමාණය විස්සයි විස්ස ක්‍රිකට් සම්බන්ධයෙන් ගත් විට නවසීලන්තයට ඇතැයි සිතිය නොහැකිය.එහෙත් ඇෆ්ගනිස්තානයේ තරුණ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන අභියෝගය වන්නේ අද ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් අපේ සමාජ මාධ්‍ය සරසන කරුණුය.වෘත්තීය මට්ටමට නොපැමිණි ඔවුන්ට අනාගතය කරා යන්නට අවශ්‍යය පහසුකම් රටේ ප්‍රමාණවත්ව නැත.
නැමීබියාව ක්‍රිකට්වලින් පොඩි රටක් බව ඇත්තය.ඒත් විස්සයි විස්ස ආකෘතිය ඇතුළේ එහෙම පොඩි කර සළකන්නට නොහැකිය.පන්දු ඕවර් 20 ක් උපරිමයෙන් කරන හොඳ පිතිකරුවෙක් දෙන්නෙක්ට සරල වචනයෙක් කිව්වොත් “හිටිනවා” යන්න දැවන්ත ලකුණු පූවරුවක්ය.එහෙත් එවැනි ආකර්ශණයක් නැති ඕමානය සමඟ තරගයේ දී නැමීබියාවට සිඳු වුණේ සුපිරි පන්දු ඕවරයෙන් තරගයේ ජය සහතික කරන්නටය.ඕමානය නැමීබියාව හා සම ලකුණු ලබන්නට සමත් විය.
ඕමානය ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු රැකීමේදී කළ වැරදි කිහිපය නොවන්නට සමහර විට ඕස්ට්‍රේලියාවේ ඉරණම වෙනස් වන්නට තිබිණ.එසේම නිව්යෝර්ක් ක්‍රීඩාපිටියේ ශ්‍රී ලංකාව සමඟ ලකුණු 78 ක් කරා යන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිඳු වූ දකුණු අප්‍රිකාව යළිත් එම පිටියේදී නෙදර්ලන්තට ඉදිරියේ ලකුණු 106 ක් කරා යන්නට ඒ ආකාරයේම වෙහෙසක් දැරුවේය.නෙදර්ලන්තය ලකුණු 48 ට කඩුලු 6 ක් අහිමිව තිබියදී දකුණු අප්‍රිකාවෙන් ලැබුණු යම් ලිහිලක් සහ අතපසුවීම් මත සිය ලකුණු පූවරුව 103 ක් දක්වා පෙරට ගෙන ආවේය.
සිබ්රාන්ට් එන්ජෙල්බ්රෙෂ්ට් සහ ලෝගන් වැන් බීක් 7 වන කඩුල්ලට ගෙන ආ ලකුණු 52 ක සබඳතාවය නොවන්නට නෙදර්ලන්තයේ නිව්යෝර්ක් ඉරණම ශ්‍රී ලංකාවටත් වඩා පහළට වැටෙන්නට තිබිණි.එසේම පිළිතුරු ඉණිමේ දී දකුණු අප්‍රිකාව වරක් සිටියේ ලකුණු 3 ට කඩුලු තුනක් ලෙසය.ඊට පසුව කඩුලු 4 ට ලකුණු 12 ක් ලෙසය.පස්වන ඕවරයේ තෙවන පන්දුවේදී කඩුලු 4 ට ලකුණු 12 ක් වූ ඉණිම 17 වන පන්දු ඕවරයේ දෙවන පන්දුව තෙක් කඩුලු වෙනසක් නොකර ඉදිරියට තල්ලු කරන්නට ඩේවිඩ් මිලර් සහ ට්‍රිස්ටාන් ස්ටබ්ස් සමත් විය.ඒ ලකුණු පූවරුව 77 දක්වා වෙනස් කරමින්ය.පන්දු ඕවර් 12 ක කාලයක් ඔවුන් දෙදෙනා එකතු කළේ ලකුණු 65 ක් පමණය.ස්ටබ්ස් ලකුණු 33 ක් රැස් කළේය.එහෙත් අත්දැකීම් සහිත මිලර් ඒ වන විට කලකට පසුව පිටියේ ස්ථාවරව ඉවසීමෙන් කළ මෙහෙයුම එතැන් සිට දියත් කරන්නට ගත්තේ දැවන්ත පහරවලින්ය.අවසානයේ 19 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවට ලකුණු 106 ක් වූ දකුණු අප්‍රිකානු ලකුණු පූවරුවෙන් මිලර් සතුව හයේ පහර 4 න් සහ හතරේ පහර තුනකින් සැකසි නොදැවී ලකුණු 59 ක් තිබිණ.
නිව්යෝර්ක් පිටියේ ශ්‍රී ලංකාවට එන්ජෙල්බ්රෙෂ්ට්ගේ හෝ මිලර්ගේ සේවය කරන්නට කෙනෙක් සිටියේ නැත.එසේ වූවානම් අඩුම තරමේ ලකුණු 110 ක් වුව ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බල ඇණියේ තත්ත්වය සමඟ බලද්දී ජයගන්නට සෑහෙන්න තිබිණ.ශ්‍රී ලංකාව මේ තරගාවලියේ පරාජය ලද තරග දෙකම ආරක්ෂා කර ගන්නට බැරි ලකුණු ප්‍රමාණයන් ආරක්ෂා කර ගන්නට උපරිම සටනක් දෙමින් පරාජය වූ තරග විය.විශේෂයෙන් බංගලාදේශ තරගයේ දී දසුන් ශානක යවන ලද පුල්ටොස් පන්දුව නොවන්නට සහ වනිදු හසරංගට එරෙහිව ටවුහිඩ් හ්රිඩෝයි එක පිට ලබා ගත් හයේ පහර තුන නොවන්නට ශ්‍රී ලංකාව මේ තරගයේ ජයග්‍රාහකයන් වනු සැක නැත.අවසාන මොහොතේ ද වනිදු දුවද්දී දැවීයාම ලබා ගැනීමට කඩුල්ලට එල්ල කරන ලද පන්දුව කඩුල්ලේ දැවටුණේනම් ඒත් තරගය වෙනස් වන්නට තිබිණ.
මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව බංගලාදේශයට පැරදීම බොහෝ අයට දරා ගන්නට අපහසු බව ඇත්තය.ඒ අපේ සිත් තුළ තිබෙන බංගලි විරෝධය නිසාය.බංගලි ප්රේක්ෂකය්න් ඔවුන්ට එරෙහිව ලාංකිකයන් විරෝධී අදහස් දක්වන විට පිළිතුරු දෙන්නේ අපෙන් ණය ගත්ත රට හැටියට සළකා ලංකාවම පහත් කොටය.ඒ සම්ප්‍රදායික ධනවතුන් නොවන අලුත් සල්ලිකාරයන්ගේ හැටිය.ඒ තත්ත්වයට ඔවුන්ට පත්වෙන්න සල්ලිකාරකම පත්තියන් වන්නට තව කාලයක් යනු ඇත.ධනවතුන් මෙන්ම නැණවතුන් ද තැනෙන්න යන කාලය අනුව එය තීරණය වනු ඇත.
කෙසේ හෝ මේ වන විට බංගලාදේශය මෙන්ම ශ්‍රී ලංකාව ද ක්‍රිකට් පිටියේ දී එදිරිවාදීන් වී තිබෙන බව පැහැදිළිය.ඒ නිසා කණ්ඩායම් දෙකම පරාජය වුවහොත් ප්‍රෙක්ෂකයන්ගේ උදහසට ලක්වීම පොදු ලක්ෂණයක්ය.මේ පීඩනය මත තරගය ජය ගැනීමට බංගලාදේශයට හැකි වූවේ මහමදුල්ලා පිටියේ රැදී සිටි නිසා බව පැහැදිළිය.ඒ බව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහමදුල්ලා ළඟටම ගොස් සුබ පතන්නට ඉදිරිපත්වීමෙන් පැහැදිළිය.
පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව පමණක් නොව එංගලන්තය,පකිස්තානය වැනි කණ්ඩායම ද,නවසීලන්තය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියේ පරාජය වුවහොත් නවසීලන්තය ද සිටින්නේ හොඳම අට දෙනාගෙන් එළියට වීසිවන තත්ත්වයේ ය.එංංගලන්තයේ ඉරණම යන තත්ත්වය අනුව ස්කොට්ලන්තය සහ ඔවුන් ලබා ගන්නා ලකුණු වේගය මත තීරණය වීමට ද ඉඩ ඇත.ඕස්ට්‍රේලියාව ඉදිරියේ පරාජය වීම මෙන්ම ස්කොට්ලන්ත තරගය පැවත්වීමට නොහැකි වීම නිසා ද එංගලන්තයට මේ තත්ත්වය උදා වී ඇත.
ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සහ නේපාලය පරාජය කළ යුතුව ඇත.එහෙත් බංගලාදේශය සහ දකුණු අප්‍රිකාව ලබන අනපේක්ෂිත පරාජයන් මිස ඒ දක්ෂතා සහ ලබන ලකුණු වේගය මත පමණක් ශ්‍රී ලංකාවට අවසන් අට දෙනාට පිවිසෙන්නට ඇති ඉඩ තීරණය වනු ඇත.මෙහිදි වැඩිම අවධානයට ලක් වී ඇත්තේ වනිදු හසරංග ගේ මැදිහත්වීමය.ඔහු තමන්ට අවශ්‍යය කණ්ඩායමම ඉල්ලා එසේ නොලැබෙන්නේනම් තරග නොකරන බවට තර්ජනය කරන්නට තරම් තේරීම් කමිටුවට බලපෑම් කළ බවට කියන කතාව ඇත්තනම් මේ තරගාවලියේ දී රටක් පරාජය කළ ක්‍රීඩකයෙක් හැටියට ඔහුට වගකීම පැවරෙන්නේය.
මේ ආකාරයටම තමන්ගේ දක්ෂතාවය,නායකත්වය සහ ඒ වටා ඇති බලය යොදා ගෙන ඒවාම 96 දී භාවිතයට ගෙන ලෝක කුසලානයක් ගෙන එන්නට මුල් වූ අර්ජුන රණතුංග ඒ තත්ත්වයම හේතු කරගෙන 99 වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවන වටයටවත් නුසුදුසු කණ්ඩායමක් බවට පත් කිරීම හා සමාන වන්නේය.අර්ජුනට පෞද්ගලික ලැදියාවන් කණ්ඩායම තේරීමේදි බලපෑවේය.රුවන් කල්පගේ වැනි ක්‍රීඩකයින්ට සාධාරණයක් නොවුණු බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය.මේ සිඳුවීම් ද සිඳු වී ඇත්තේ ඒ ආකාරයෙන්නම් නායකත්වය යනු තමන් කැමති කණ්ඩායම ක්‍රීඩා කරවීම නොව දිනන්න සුදුසු කණ්ඩායම ක්‍රීඩා කරවීම යන්න වනිඳු ඉගෙන ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අදූරදර්ශීම නායකයෙක් ලෙස හංවඩු වැදීමෙන් පසුව වීම ඛේදවාචකයකි.
මෙහි ව්‍යහුය වෙනස් කරන්නට බලපෑම් කළ හැකි එකම පුද්ගලයා ලංකාවේ ක්‍රීඩා පණතට අනුව අමාත්‍යවරයා ය.දේශපාලකයෝ ද තමන්ට රුචි නොවන ආකාරයට පරිපාලනය ක්‍රියාත්මක වේ නම් එයට රිදවන්නට හැකි ක්‍රමය ඇත්තේ තමන් තුළ ඇති තේරීම් කමිටුවට බලපෑම් කර බලය යොදා කණ්ඩායම වෙනස් කිරීමෙන් බව දනිති.මීට පෙර රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඒ දේ සිදු කර පරාජය වන විට වගකීම ක්‍රිකට් වෙත පැවරූ අයුරු අපි අත් වින්දෙමු.එහෙත් හරීන් ප්‍රනාන්දු මේ වන විට බලය පැවරුණු කොටස්වල තීරණවල වගකීම ඔවුන්ටම දරන්න දී නිහඬව සිටියි.වර්ථමානයේ වනිඳු සුරැකෙන්නේ ඒ නිසාය.
පරිපාලකයන්ගේ කණ්ඩායම ලෙස අවසානයේ මේ තත්ත්වය විවිධ අයුරෙන් අමුණා සම්ප්‍රදායික ක්‍රිකට් බල පොරයේ නියැලි පිරිස් දැනුවත්ව හා නොදැනුවත්ව මතු කරන විවේචන රැල්ලේ ගසා ගෙන යන බව පැහැදිළිය.සෑම මොහොතකම ලංකාවේ දේශපාලන ව්‍යහුය සකස් වී ඇත්තේ රට ගිණි ගන්නා මොහොතේ එයින් සුරුට්ටු පත්තු කර ආතල් ගන්නටය.මේ තත්ත්වය වෙනස් වන්නටනම් වඩාත් විවෘත සාකච්ඡාවක් මේ තරගාවලියෙන් පසුව ඇති විය යුතුය.එය තේරීම් කමිටුව සහ ක්‍රීඩකයින් එකට තබා කෙරෙන්නක්නම් බොහෝ විට එහි සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විවෘත අවකාශය සකස් කර දෙන්නේනම් ඔවුන්ට මෙහි ඇති බැදීම සහ වගකීම කුමන ප්‍රතිශතයක් ගන්නේ ද යන්න වටහා ගන්නට ලැබෙනු ඇත.
පරිපාලන තීරණවලදී වඩාත් වැදගත් වන්නේ ව්‍යහුමය ලෙස ක්‍රිකට් සංවර්ධනය කරන්නට,පහසුකම් විමධ්‍යගත කරන්නට,පුහුණු සැළසුම් කරන්නට සහ තෝරා ගන්නා පිරිස්වලට අවශ්‍යය ප්‍රතිපාදන ලබා දීමේය.මේ වැය කිරීම්වල පලයන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තෝරා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව සමාලෝචනයකට හෝ ඉඩ ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාටය.මේ ව්‍යහුය යටතේ තමන්ගේ වගකීම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉතිරිව තිබෙන්නේ, ඔවුන් සකස් කර තිබෙන ව්‍යහුය යටතේ ඉදිරියට එන්න දක්ෂයන්ගෙන් තෝරා ගන්නා කණ්ඩායම්වල පරිපාලන කටයුතු සහ විය හියදම් දැරීමය.
මීට වඩා බලපෑමක් වන්නේනම් ඕ මොනවාද යන්න හා එහි සීමාවන් ගැන නිර්වචනයක් ලබා ගැනීමට තරගාවලියෙන් පසුව ක්‍රීඩකයින්,තේරිම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වගකිවයුතු නිලධාරියෙක් ද විනිවිද භාවය පැහැදිළි කරන මාධ්‍ය සාකච්ඡාවතට සහභාගිවීම වැදගත්ය.එහිදී සම්මත මාධ්‍ය සීමාව ඉක්මවා විනයවත් විවේචකයන්ට ද එම අවස්ථාව විවර කිරීම ද වැදගත්ය.එවැනි සජ්ඤායනාවකට අප්‍රමාදව කටයුතු කිරිමට කාලය එළැඹ ඇත.