සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(10) අලුයම එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයේ බන්ඩාර් අබ්බාස්, කෙෂ්ම් සහ සිරික් ඇතුළු පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ ප්රදේශ කිහිපයකට එල්ල කළ ප්රහාර වලට පලිගැනීමක් වශයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් බහරේන්, කුවේට් සහ ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත දැවැන්ත ප්රහාර මාලාවක් දියත්කර තිබේ.
ඉරානයේ රාජ්ය මාධ්ය හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC )කියා තිබුණේ, බහරේනයේ එක්සත් ජනපද පස්වන බලඇණියට සහ කුවේටයේ අලි අල් සාලෙම් ගුවන් කඳවුරට ඩ්රෝන ප්රහාර එල්ල කළ බවත්, ජෝර්දානයේ අස්රාක් හි ගුවන් කඳවුරකට දිගු දුර මිසයිල ප්රහාරයක් එල්ල කළ බවත්, එක්සත් ජනපද ඉලක්ක 21 කට පහර දී ඉන් හතරක් විනාශ කළ බවත්, ජෝර්දානයේ කඳවුරේ F-35 ප්රහාරක ජෙට් යානයක් ඇතුළුව දැඩි අලාබ හානියක් කළ බවත්ය.
මිට අමතරව, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC)විසින් ඕනෑම එක්සත් ජනපද මිලිටරි ක්රියාමාර්ගයකට තීරණාත්මක ප්රතිචාරයක් ලබා දීමට තම හමුදා සම්පූර්ණයෙන්ම සූදානම් බවත්, තවදුරටත් උත්සන්න වීමේ ප්රතිවිපාක සඳහා වොෂින්ටනය සම්පූර්ණ වගකිවයුතු බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඊයේ(09)දිනයේදී හොමුස් සමුද්ර සන්ධියේදී එක්සත් ජනපද හමුදාවට අයත් අපාචේ හෙලිකොප්ටරයක් බිම හෙළීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉරානයට දොස් පැවරීමෙන් පසු එක්සත් ජනපද හමුදාව ඉරානයට පහර දීමෙන් පසු නවතම තත්වය ඇති විය.

