Friday, July 1, 2022
spot_img
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය – FUTA

11 ජුනි 2022

@ Cinema Lounge – BMICH, Sri Lanka

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය

සාරාංශය

පසුගිය මාස කිහිපය පුරා මෙරට ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික සහ දේපාලනික අර්බුදය මේ වන විට උත්සන්නව ඇත. මතුව ඇති මහජන විරෝධය යටපත් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පවතින අර්බුදය අවුස්සා දැමීමත් හිංසනය ඉහළ දැමීමත් සිදු කර ඇත. මැයි 09වන දින සිදුවීමත් සමග රජය සාමකාමී අරගලකරුවන් වෙත හිංසනය මුදාහැරීම, රට පුරා දැඩි විරෝධතා ව්‍යාපාරයක් පුළුල්ව දියත් වීමට හේතුකාරකව ඇත. ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති වශයෙන් පත් කිරීමට ද කටයුතු කළේය. මෙම පියවර අරගලකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වලට පටහැනිව ක්‍රියා කිරීමක් වශයෙන් සැලකිය හැකිය. වික්‍රමසිංහ මහතාගේ පත්කිරීම ජනාධිපතිවරයාගේ හිතුවක්කාර, ඒකපාර්ශ්වික සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වන අතර එය ප්‍රතිපත්තිමය වශයෙන් සැලකුවද මහජන විරෝධතා සමච්චලයට ලක් කළ අත්තනෝමතික ක්‍රියාවකි. මෙම අවස්ථාවේදී එය රටේ ස්ථාවරත්වය තහවුරු කිරීමට හෝ මහජනතාව අතර විශ්වසනීයත්වය වර්ධනය කිරීමට හේතු නොවේ. රටපුරා තවදුරටත් ඉන්ධන සහ ගෑස් පෝලිම් දිගු වෙමින්, ඖෂධ හිගය සහ පාරිභෝගික භාණ්ඩවල අධික මිල ගණන් අහස උසට නගිමින් ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් ඇත. ඉහළ වගවීමක් සහිත පාලනතන්ත්‍රයක් සහ ආර්ථික කළමනාකරණයක අවශ්‍යතාව වෙනුවෙන් දියත් කළ අරගලය අඛණ්ඩව ඉදිරියට ඇදේ. මෙම සන්දර්භය තුළ, විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය FUTA රටෙහි උද්ගතව ඇති ඛේදනීය තත්ත්වය මග හරවා ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙමින් රට නැවත ගොඩනැගීම සඳහා දීර්ඝකාලීනව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග රැසක් මේ සමග නිර්දේශ කරනු ලැබේ.

ආර්ථිකය

  1. විනිවිදභාවයකින් යුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF සමග ගනුදෙනු කිරීම. එමගින් පනවනු ලබන කොන්දේසි දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව තවදුරටත් හිරිහැරයක් නොවිය යුතු වන අතර ඔවුන්ගේ ස්වාධිපත්‍යය බිඳ නොදැමීම සහ සිය සම්පත්වලට ප්‍රවේශ වීමේ පහසුකම ආරක්ෂා විය යුතුය. මෙම ක්‍රියාවලිය අනාගතයෙහි දැවැන්ත ණය උගුලක් නිර්මාණය නොකරන්නක් ද විය යුතුය.
  2. ආහාර සුරක්ෂිතතාව සහතික විය යුතු අතර සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන වියදම් අවම වශයෙන් වර්තමානයේ පවත්නා මට්ටමින් හෝ පවත්වාගෙන යා යුතුය.
  3. ගජමිතුරු උපකාරයෙන් සිදු කෙරෙන වංචා දූෂණ පිටුදැකිය යුතුය. වංචා දූෂණවලට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක වන ස්වාධීන යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර රාජ්‍ය අංශයේ වෘත්තීය මට්ටම ඉහළ නැංවිය යුතුය.
  4. රටට ගැළපෙන ශක්තිමත් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් රටේ අයබදු මට්ටම ඉහළ දැමෙන අතරම වක්‍රාකාර අතිරේක බදු මගින් පහළ ආදායම්ලාභින් මත පැටවෙන ඉසිලිය නොහැකි බදු බරින් ඔවුන් නිදහස් කළයුතුය. වර්ධනය වන වත්කම් මත තීරණය වන බද්දක් හඳුන්වා දියයුතුය. නාස්තිය නවතා දමා රාජ්‍ය ආරක්ෂාව සඳහා වෙන් කෙරෙන වියදම් අඩු කළයුතුය.
  5. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතරම ස්වාභාවික සම්පත් ආරක්ෂා කළ යුතුය.
  6. සමාජ සංගතභාවය, සමාජ ක්‍රියාකාරිත්වය සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ මහජනතාවට කිසියම් වැදගත් ඇගයුමක් සපයන අධ්‍යාපන, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවල ආරක්ෂාව සහතික කළ යුතුය. 
  7. කෘෂිකාර්මික ක්ෂේත්‍රය යාවත්කාලීන කළයුතු අතර ජීවනෝපාය මාර්ග ශක්තිමත් කළ යුතුය. සුදුසු අවස්ථාවලදී ආදේශක ආනයනය කළයුතු අතර අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතුය.

දේශපාලනය සහ පාලනතන්ත්‍රය

  1. රජය ගිලිහී ඇති එහි නීත්‍යනුකූලභාවය පිළිගත යුතුය. විශ්වාසය තැබිය හැකි අන්තර්වාර රජයක් ස්ථාපිත කළ යුතුය. ජනාධිපති වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. අපතීර්තිමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ :ීඛඡඡ* සහයෝගය ඇතිව ක්‍රියා කරන අගමැති රනිල් වික්‍රමසිංහගේ තනතුරද තවදුරටත් පැවතිය නොහැකිය.
  2. විධායක ජනපති ධුරය අහෝසි කළ යුතු අතර 21වන ව්‍යවස්ථා සංශෝධනයකින් පාර්ලිමෙන්තුවට බලතල හිමිවන පාලන ක්‍රමයකට ගමන් කළ යුතුය.
  3. ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය ගිලිහී ඇති බැවින් ජනතා කවුන්සිලයක් පිහිටුවා එහි උපදේශනය ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී ලබා ගැනීම. 
  4. බහුතර නියෝජනය සහ වරප්‍රසාදිත නියෝජනය වෙනුවට සැම ජන කණ්ඩායමකටම සමාන්තර නියෝජනයක් හිමි වන ආකාරයේ ජනතා නියෝජනයක් තහවුරු කිරීම. ජනවර්ග සහ කේවල පුද්ගලයන් ජාතිය, ආගම, කුලය, ස්ත්‍රීපුරුෂභාවය, ශාරීරික දුබලතා වැනි සාධක පදනම් කර ගනිමින් කොන් කිරීම වැළැක්විය හැකි යාන්ත්‍රණයක් තහවුරු කළ යුතුය.
  5. අමාත්‍යාංශ මට්ටමෙන් ඒකරාශි වී ඇති අධික බල ව්‍යුහය විමධ්‍යගත කළහැකි යාන්ත්‍රණයක් ශක්තිමත් කර පාලන ක්‍රියාවලිය සඳහා මහජන සහභාගිත්වයට ඇති අවස්ථා ඉහළ නැංවීම.
  6. සමාජමාධ්‍ය නිදහස ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම.

මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සහ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට යෝජිත සියලු ප්‍රතිසංස්කරණ සඳහා උපදේශකත්ව සැපයීමටත් එහි වගකීම බාරගැනීමටත් ඊටම අනන්‍ය වූ යාන්ත්‍රණයක් සකස් කිරීමටත් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කරනු ඇත.

යෝජනා 

රජයේ ආර්ථික අසමත්භාවයට එරෙහි වූ ගෝඨාගෝගම අරගල ව්‍යාපාරය ඇතුළුව රට පුරා ව්‍යාප්තව ඇති මහජනතාව පෙරමුණ ගත් පුළුල් විරෝධතා ව්‍යාපාරවල සාධනීය අදහස් හා යෝජනා, රටේ ආර්ථික සහ දේශපාලනික ගැටලු විසඳීමෙහිලා සැලකිල්ලට ගැනීම  

ජන අරගලය මෙරට ආණ්ඩුක්‍රමය ඇතුළත  සමාජ-දේශපාලනික වෙනසක් සඳහා පීඩනයක් එල්ල කරමින් සිටියි. විශ්වවිද්‍යාලයීය සමිති සම්මේලනයේ සාමාජිකයන් වන අපි සැමද මෙරට පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් පීඩා විඳින මෙරට පොදු ජනතාවගේ සාධනීය ඉල්ලීම් සමග පෙරට එන්නෙමු. ජන අරගලයේ කොටස්කරුවන් වශයෙන් අපි රටේ ආර්ථිකය සහ දේශපාලන වාතාවරණය අගාධයට ඇද දැමූ පාලකයන්ගේ හිතුවක්කාර පිළිවෙතටත් ප්‍රජාතන්ත්‍ර වාරෝධී වැඩපිළිවෙළටත් එරෙහිව අරගලකරුවන් සමග අත්වැල් බැඳගනිමු. 

ඩොලර් හිඟය නිසා උද්ගත වූ ආර්ථික අර්බුදය මෙරට ජනතාවට දිගුකාලීන දුෂ්කරතා රැසක් නිර්මාණය කර ඇත. මෙම අර්බුදය තීරණාත්මක ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අපේක්ෂා කරන අතර මහජනතාවගේ ක්ෂණික, මධ්‍යකාලීන සහ දිගුකාලීන සාමූහික ක්‍රියාකාරිත්වය සහ සහයෝගයද අපේක්ෂා කරන්නකි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් නියෝජනය වන වෘත්තීය සමිතියක් වශයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය කෙටිකාලීනව රට නැවත යථා තත්ත්වයට පත් කළ හැකි සාධාරණ ආර්ථික සහ දේශපාලනික විග්‍රහයකින් යුතු  මැදිහත්වීමක් ද දිගුකාලීනව රටේ සංවර්ධනය වේගවත් කර රට ස්ථාවරත්වයකට පත් කළ හැකි මැදිහත්වීමක් ද අපේක්ෂා කරයි. මෙහිදී අපි විවිධ දේශපාලනික කණ්ඩායම්, වෘත්තීය සමිති, සමාජ කණ්ඩායම් මෙන්ම පුළුල් ලෙස මහජනයා නියෝජනය කරන සිවිල් සමාජ සංවිධාන සමග ද ගනුදෙනු කරමින් ක්ෂණික සහ දීර්ඝ කාලීන ඵලදායී සහයෝගිතාවකින් යුතුව සම්බන්ධ වීමට අපේක්ෂා කරමු.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය

මහජනතාව මුහුණ පා සිටින දැඩි දුෂ්කරතා පිළිබඳව අපගේ දැඩි අවධානය සහ සැලකිල්ල යොමු වී ඇත. මෙම අර්බුදයෙන් පීඩාවට පත් සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින අතර අනාගත පරම්පරාවට ද වර්ධනය වෙමින් පවතින මෙම ඛේදවාචකයේ දුෂ්කරතාවල බලපෑමට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇත. කොවිඩ් වසංගතයෙන්  වසර දෙකකට වඩා වැඩි කාලයක් පීඩිත වූ ශිෂ්‍ය ප්‍රජාව මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකටද මුහුණ දී සිටිති. මෙරට කාන්තාවන්ට ද මෙම අගහිඟකම්වලින් අපමණ බැට කෑමට  සිදු වී ඇත. ඇතැම් වාර්තාවලට අනුව ගැබිණි සහ කිරි දෙන මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගත නොහැකි වීමෙන් දරුවන්ගේ මනා සෞඛ්‍යයට දැඩි බලපෑමක් සිදු කර ඇත. මෙම පීඩනවල ප්‍රතිඵල ලෙස නිර්මාණය වූ විවිධ බෙදීම්, විශේෂයෙන්ම මානව-ආගමික පීඩන තත්ත්ව කෙරෙහි හෙලන ඓතිහාසික දෘෂ්ටිවාද විෂයයෙහි අවධානය යොමු කළ යුතුය.

මෙම ආර්ථික අර්බුදය පැවති ආණ්ඩු ගණනාවක දිගුකාලීන වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි ආර්ථික කළමනාකරණයෙහි අසාර්ථකත්වය යන හේතු ද්විත්වයෙහිම ඒකාබද්ධතාවෙන් ජනිත වූ ප්‍රතිඵලයකි. 

වර්තමාන අධිපතිවාදී ආණ්ඩුවෙහි මහාපරිමාණ දූෂණ හා වංචා, පවුල්වාදී පාලන ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සහභාගී ආණ්ඩුකරණය නොතකමින් ක්‍රියා කිරීම ආදිය අප සමාජයෙහි මහත් දෝෂදර්ශනයට ලක්ව ඇත. එබැවින් අදූරදර්ශි ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද මෙම අර්බුදයෙන් මිදීම සඳහා මෙම අර්බුදය දේශපාලනික සහ ආර්ථික ඒකාබද්ධතාවකින් යුතුව සැලකිල්ලට ලක් කළ යුතුව ඇත. දේශපාලනික වශයෙන් සෑම තලයකම අක්‍රමිකතා සහ දූෂණ අකර්මණ්‍ය කළ හැකි බලය විමධ්‍යගත කෙරෙන ක්‍රමවේදයක් වෙත මාරු විය යුතුය. බලවතුන් හා නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය අතර පවත්නා විනිවිදභාවයෙන් තොර අයථා ආණ්ඩුකරණ සංස්කෘතියෙහි ස්වභාවය විමර්ශනයට ලක්කළ යුතුය. එමෙන්ම රටක් වශයෙන් අපට වැරදුණු තැන් නිවැරදිව සහ පරිපූර්ණව අනාවරණය කර ගැනීම සඳහා ආර්ථික ප්‍රතිපත්තිවල මූලධර්ම ද විමර්ශනය කළ යුතුය. ඒ සඳහා සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව පදනම් වූ මහජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදි සමාජීය-දේශපාලනික ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතුය. එම ක්‍රමවේදය ඉඳුරාම ජනවාර්ගිකත්වය, ස්ත්‍රීපුරුෂභාවය සහ ලිංගික අනන්‍යතාව, සමාජ තරාතිරම්, ආබාධිත හා දුබලතා ආදිය මත සිදු වන හිංසන ප්‍රතික්ෂේප කෙරෙන සමාජ-ආර්ථික සමානාත්මතාව මත පදනම් වූවක් විය යුතුය.

මෙම ප්‍රතිපත්ති සටහන 2022 අප්‍රේල් 19වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යල්පැන ගිය 17වන එකඟතා ගිවිසුම සම්බන්ධව, විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් දැනටමත් ඉදිරිපත් කර ඇති මූලධර්ම මත පදනම්ව ගොඩ නගයි. මෙම මූලධර්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ ආර්ථික ක්‍රියාවලිය පදනම් කර ගනිමින් අනුගත කිරීමට දේශපාලන අධිකාරිය උත්සාහ කළ යුතුය. මේ සමග අපි මෙම මූලධර්ම ඉහත සියලු කාරණා සමග සංවාද කරමින් ක්‍රියාත්මක කළ හැකි ආකාරය විස්තරාත්මකව ඉදිරිපත් කරමු.

ආර්ථික අවධානය

වර්තමාන විදේශ විනිමය හුවමාරු අර්බුදය ජනතාවට බරපතල දුෂ්කරතා රැසක් ජනිත කර ඇති අතර බැංකු පද්ධතිය මතද සැලකිය යුතු පීඩනයක් එල්ල කර ඇත. ඉන්ධන, විදුලිය සහ ගෘහස්ථ ගෑස්වල  හිඟය වැඩකරන පන්තියේ ජනතාවගේ දෛනික කටයුතුවලට මෙන්ම කර්මාන්ත සහ ව්‍යාපාරවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට ද මහත් බලපෑමක් කර ඇත. එසේ ම ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල උග්‍ර හිගය ඉදිරියේදී දරුණු ආහාර අර්බුදයක් නිර්මාණය කරනු ඇත. එබැවින්, මූල්‍ය අර්බුදය සහ එම අර්බුද ජයගත හැකි ආකාරය පිළිබඳ කඩිනම් යෝජනා ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ පූර්ණ වගකීම වේ. කෙසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් නොව වෙනත් සියලු මූල්‍ය ආයතන සමග ණය ගනුදෙනු කිරීමේදී ද එය මහජන කේන්ද්‍රීය තීරණයක් ලෙස ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. මෙම ගැටලු පිළිබඳව නිද්‍රාශීලීව කටයුත් කරමින් මේ මොහොතේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා තවදුරටත් උත්සන්න නොකළ යුතුය.

පහත සඳහන් ආර්ථික ප්‍රමුඛතා අපි නිර්දේශ කරමු:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතාව:

අප පාර්ශ්වයෙන් කිසියම් අන්දමක කේවල් කිරීමේ පසුබිමක්ද සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව එකඟතාවකට ප්‍රවේශ වෙමින් සිටින මේ මොහොතේ එය මහජනතාවගේ සුබසිද්ධිය පිණිස කවරාකාර බලපෑමක් කරන්නේද යන කාරණය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. පහතින් දක්වා ඇති කොන්දේසි මෙහිදී මූලික වේ.

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි විනිවිදභාවයකින් යුක්ත විය යුතුය. එමෙන්ම රටේ මහජනතාවට ඒ පිළිබඳ මනා අවබෝධයක් සහ දැනුම්වත්භාවයක් ලබා දිය යුතුය. මෙම කොන්දේසි ආර්ථික සහ සමාජීය වශයෙන් අනේකවිධ පීඩා විඳින මධ්‍යම පන්තියේ ඇතැම් කොටස්ද ඇතුළත් මෙරට මහජනතාව තවදුරටත් පීඩනයට පත් නොකරන්නක් විය යුතුය. එමෙන් ම මෙම ණය ක්‍රියාවලිය අනාගතයේ දරුණු ණය උගුල් අටවන ක්‍රියාවලියක් ද නොවිය යුතුය.
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති, මහජනතාවගේ ස්වාධිපත්‍යය අවතක්සේරු කරන්නක් නොවිය යුතු අතර සිය භූමි හිමිකම, වෘත්තිය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සම්පත් පිළිබඳ අයිතිය සුරැකිය යුතු අතර අව්‍යාජ හැඟීමකින් තොරව රාජ්‍ය දේපළ සහ භූමිය ඇතුළු සෙසු ස්වාභාවික සම්පත් විකුණා දැමීමට රජය පොළඹවන්නක් නොවිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් මූලාශ්‍රයවලින් ලබා ගන්නා ණය පරිහරණය පිළිබඳ විනිවිදභාවයකින් යුතු විගණන ක්‍රමවේදයක් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

සමාජ ආරක්ෂණ ජාලය:

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව පොදු දේපළ පරිහරණය පිළිබඳ කාරණාවලදී  දිළිඳු, ළමා සහ වයෝවෘද්ධ යන දුර්වල කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු වන ශක්තිමත් ආරක්ෂිත ජාලයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. අන්තර්ජාතික සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මානව සංවර්ධනයේ ඓතිහාසික උරුම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය.
  2. දැනට ක්‍රියාත්මක සමෘද්ධි වැඩසටහනෙහි ඇති ගැටලු සලකා බලා නැවත සැකසීම. භූගෝලීය සහ සමාජ ව්‍යාප්තිය මත ලබා ගත් ආසන්නතම දත්ත උපයෝගි කර ගනිමින් දිළිඳු පවුල් නිවැරදිව හඳුනාගැනීම, යාවත්කාලීන කරන ලද සමෘද්ධි වැඩසටහන පක්ෂ දේශපාලනයෙන් අවභාවිත නොවිය යුතුය. 
  3. සියලු පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතුය. කිසිදු තීරණයක් හෝ ප්‍රතිපත්තියක් මෙම මූලධර්මය විෂයයෙහි අයහපත් ප්‍රතිඵල අත්කර නොදිය යුතුය. මෙම මූලධර්ම සමග කෘෂිකාර්මික ප්‍රතිපත්ති අනුරූප විය යුතුය.
  4. සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන රාජ්‍ය වියදම් අවම වශයෙන් දැනට ක්‍රියාත්මක මට්ටමින්වත් ආරක්ෂා කර ගැනීම.

දූෂණ සහ මිතුරු සංග්‍රහ පිටුදැකීම

  1. ස්වාධීන දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ස්ථාපනය කර වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් මහජනතාවට අනාවරණය කරන බවට සහතික වීම. 
  2. සැම තරාතිරමකම, ඕනෑම ආකාරයක දූෂණ පිටුදැකීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවට සහතික වීම.
  3. දූෂණ සහ හිතවත්කම් දිරිගන්වන ඕනෑම ආකාරයක විශේෂ රාජ්‍ය බලපත්‍ර අහෝසි කිරීම.
  4. ආයතනික සහ පෞද්ගලික ගරුත්වය තහවුරු කරන අතර වගකීම් සහිත සහ ඵලදායී රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම.

අයබදු ක්‍රමය සහ වියදම

  1. වක්‍ර බදු ඉහළ නොදැමිය යුතුය. ඍජු බදු අනුපාත ඉහළ දැමිය යුතු අතර වගකීම සහ විනිවිදභාවය පවත්වා ගනිමින් බදු ආදායම වියදම් කිරීම අත්‍යවශ්‍යය වේ. ඒ අනුව ඉතා ශක්තිමත් බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බදු කොමිසමක් රටට අවශ්‍යව පවතී. එවිට අවම ආදායම් සහිත කණ්ඩායම්වලට හිරිහැරයක් නොවී අතිරේක වක්‍රබදු මගින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත හැකිය.
  2. ඔරොත්තු දිය හැකි බදු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම.
  3. ක්‍රමානුකූලව ඉහළ නැංවෙන වත්කම් මත පැනවෙන බදු හඳුන්වා දීම.
  4. ජාතික ආරක්ෂාව මත පැනවෙන වියදම් අඩු කිරීම සහ ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා වන වියදම් ඉහළ දැමීම. අවිධිමත් ආකාරයට සහ විනාශකාරී අන්දමට කෙරෙන වියදම් විවෘත සහ වගකීම්සහගත ක්‍රමවේදයකට මූලිකවම පහත හෙළීම.

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ස්වාභාවික පරිසරය රැක ගැනීම

  1. විධිමත් සහ අවිධිමත් අංශවල සේවයෙහි නියුක්ත සියලු දෙනාගේ කම්කරු අයිතිවාසිකම් හඳුන්වා දීම සහ සුරක්ෂිත කිරීම.
  2. වැඩ කරන ජනතාව සියලු දෙනා ජීවන දීමනාවකට අන්තර්ග්‍රහණය කිරීම සහතික කිරීම.
  3. සියලු සේවකයන් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සම්පාදනය කිරීම.
  4. සංවර්ධනය පිළිබඳ ස්ථිසාර සහ වඩා විශ්වාසී අවබෝධයක් දියුණු කළ යුතු අතර නවලිබරල් ප්‍රතිපත්ති හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයෙහි වේගවත් විනාශයක් සිදු වී ඇත. විශේෂයෙන් දැඩි අවදානම් සහගත තත්වයක සිටින දිළිඳු සහ අවවරප්‍රසාදිත පිරිස් වෙත බලපා ඇති ලෝක වායුගෝලයේ උණුසුම් තත්ව සහ පරිසර විනාශයේ බලපෑමද හඳුනා ගනිමින් මෙම ස්ථිරසාර වැඩපිළිවෙළ සැලසුම් කිරීම.

ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව අරමුණු කර කෘෂිකාර්මික ක්ෂේත්‍ර යාවත්කාලීන කිරීම, සත්ත්ව නිෂ්පාදන බලගැන්වීම, ආදේශක ආනයනය සහ අපනයන සඳහා වූ කාර්මික අංශය ශක්තිමත් කිරීම:

  1. නිෂ්පාදන ඉහළ නැංවීම පිණිස කෘෂිකාර්මික ක්ෂේත්‍ර ඒකරාශි කොට පුහුණු කිරීම, ගෙවතු ආශ්‍රිත ගෙවතු වගා සඳහා අත දීම, ග්‍රාමීය සත්ත්ව නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව පිණිස පවතින අවශ්‍යතාවලට ආමන්ත්‍රණය කිරීම.
  2. දේශීයව සපයාගත හැකි කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය නවතා දැමීම, පොහොර අර්බුදයට විසඳුම් සපයමින් ගොවියන්ට සහාය දීම.
  3. දේශීය කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය දිරිගැන්වීම. අවශ්‍ය තැන්හිදී නව තාක්ෂණය හඳුන්වා දී ලෝක වෙළඳපළ වෙත ප්‍රවේශ අවස්ථා විවර කිරීම. ශක්තිමත් පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම මගින් කෙටිකාලීන සහ දිගුකාලීන පදනම් මත මැදිහත් වීම.
  4. පවතින අමුද්‍රව්‍ය භාවිතයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති බාධක ඉවත් කර සුදුසු ආනයන ආදේශක ප්‍රතිපත්තියක් සහ පරිපාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන අතර වටිනාකම් මත නව අපනයන කර්මාන්ත ස්ථාපිත කිරීම. 
  5. විදේශ විනිමය උපයාගත හැකි අංශ සඳහා අත දීම.

දේශපාලන සන්දර්භය, ආණ්ඩුකරණය සහ සමාජ ඒකාබද්ධතාව වෙනුවෙන් වන මූලික අවශ්‍යතා

ගෝඨාගෝගම අරගලය සහ අනෙකුත් වර්ජන මෙන්ම හර්තාල් ව්‍යාපාරවල සාර්ථකත්වය, විවිධ තරාතිරමේ පුද්ගලයන් ආණ්ඩු වෙනසක් සඳහා වූ එකම අරමුණක් වෙනුවෙන් එක්සත් වී ඇති ආකාරය පෙන්වා දෙයි. ශිෂ්‍යයන් සහ තරුණයන් මෙම උද්ඝෝෂණ සඳහා පෙරට ඒම එහි ස්පන්දනයේ ස්වභාවය පෙන්වා දෙයි. දරුණු ආර්ථික අර්බුදය පාලකයන්ගේ අසමත්කම සහ අධිපතිත්වය නිසා ජනිතව ඇත. පාලක පැලැන්තිය සහ ක්‍රමය ජනතාවගෙන් විතැන් වීම, ඔවුන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර නොදැක්වීම සහ ලෝක සහ දේශීය සංවර්ධනවලින් දූරස්ථ වීම යන කරුණු හේතුවෙන් මේ වන විට ණය පියවීම සහ ජනතාවගේ අවශ්‍යතා සඳහා භාණ්ඩ සපයා ගැනීම තහවුරු කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් විදේශ මුදල් ඒකක සපයා ගැනීම විෂයයෙහි අසමත්ව ඇත. වර්ජන සඳහා ප්‍රතිචාර වශයෙන්, ජනාධිපතිවරයා රටෙහි හදිසි අවස්ථාව යොදවා ඇති අතර මැයි 9වන දින ගෝඨාගෝගම අරගල බිමෙහි සිටි සාමකාමී අරගලකරුවන්ට හිංසනය මුදාහැර ඇත. රජයට තවදුරටත් ආණ්ඩු කිරීම සඳහා නීත්‍යනුකූල අයිතියක් නැත. එබැවින් අරගල ව්‍යාපාරයෙහි නිරත කණ්ඩායම්වල නියෝජනයක්ද අන්තර්ගත වන නව අන්තර්වාර පාලනයක් පිහිටුවීම මේ මොහොතේ මතුව ඇති හදිසි අවශ්‍යතාවකි. ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබීම මහජන උද්ඝෝෂණයට එරෙහිව උද්ගතව ඇති ප්‍රශ්නවලින් ලිස්සා යාම පිණිස ගත් තාවකාලික පියවරකි. අනාගතයේ ගැඹුරු දේශපාලනික අර්බුද නැවත නැවත නිර්මාණය වීම සඳහා හේතුකාරක වන මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍ර විරෝධී වනවා පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදි යහ පැවැත්ම අවතක්සේරු කිරීමක් වශයෙන්ද හඳුන්වා දිය හැකිය. 

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මගින් යෝජිත දේශපාලනික පියවර:

  1. රජය, සිය නීත්‍යනුකූලභාවය ගිලිහී ඇති බව පිළිගත යුතුය. විශ්වසනීය අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතුය. ජනාධිපති වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සහාය පදනම් කර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් කටයුතු කිරීම සැමට පිළිගත නොහැකි අත්තනෝමතික තෝරා ගැනීමකි.
  2. ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලතල හිමි වන ක්‍රමවේදයකට යා යුතුය.
  3. පවතින රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බැවින් ජනතාව අතරින් තෝරා ගන්නා ජනතා කවුන්සිලයක් මගින් සැලසුම්, ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් වේ. මෙම ජනතා කවුන්සිලය විවේචනාත්මකව ප්‍රතිපත්ති ප්‍රශ්න කරමින්, සහාය වෙමින් දේශපාලනික බල අධිකාරියට ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්ති පිළිබඳ තම ප්‍රතිචාර ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීම පිණිස ස්ථිර හෝ අර්ධකාලීන මණ්ඩලයක් වශයෙන් ක්‍රියා කළ යුතුය. මෙවන් යාන්ත්‍රණයක් වහා ක්‍රියාත්මක කළ යුතු අතර එය අනිවාර්යයෙන් දිගුකාලීනව සැලකිල්ලට ලක් කිරීමද කළ යුතුය.
  4. 21වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් හඳුන්වා දිය යුතුය. (විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව ලබා ගැනීම පිණිස ඇති අයිතිය, ලබා ගත හැකි ඉහළම තලයේ සෞඛ්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශයේ සමානාත්මතාව, සැමට නිදහස් අධ්‍යාපන අවකාශ සැලසීම, යහපත් උසස් ජීවන තත්වයක් සඳහා ඇති අයිතිය ආදිය)
  5. සමාජ මාධ්‍යවල නිදහස් ක්‍රියාකාරිත්වයද අන්තර්ගත වන ලෙස අදහස් ප්‍රකාශනයේ නිදහස තහවුරු කළ යුතුය.
  6. 21වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම මගින් 19වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ධනාත්මක අංග ශක්තිමත් කර නැවත පිහිටුවීම. මෙම ව්‍යවස්ථා කවුන්සලය මහජන නියෝජිතයන්ට ඉහළින් පිහිටන සිවිල් ජනතා බහුතරයකින් යුතුව ස්ථාපනය කළ යුතුය. සියලු ස්වාධීන කොමිෂන් සභා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ව්‍යවස්ථාපිත කළ යුතුය. 
  7. විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් අනතුරුව පසුගිය මානව හිමිකම් කඩවීම් සහ හිංසන පිළිබඳ ඉල්ලීම් නැවත සලකා බැලෙන ආකාරයට නීතිය සහ නීතියේ ස්වාධිපත්‍යය ප්‍රතිස්ථාපනය කළ යුතුය. නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතන වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වන පරිදි 21වන සංශෝධනය මගින් පහසුකම් සපයා දිය යුතුය.‍
  8. විශේෂ වරප්‍රසාදිත පුද්ගලයන් සහ බහුතර නියෝජන වෙනුවට සියලු ජන කණ්ඩායම්වල සහභාගිත්වය තහවුරු කෙරෙන සාධාරණ සමාන මහජන නියෝජනයක් තහවුරු කෙරෙන ආකාරයට කේන්ද්‍රීය දෘෂ්ටිවාදමය ගැටලුවලට ආමන්ත්‍රණය කිරීම. ජනවාර්ගිකත්වය, ආගම, කුලය, ස්ත්‍රීපුරුෂභාවය, ආබාධිතබව වැනි කරුණු පදනම්ව සිදුවන විෂමතා නවතා දැමෙන යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. සියලු ජන වර්ගවල සහභාගිත්වයෙන් යුතු විවෘත සංවාදයක් ඇති කිරීම තුළින් නව ජාතික ඒකමතිකභාවයක් ගොඩනැගිය යුතුය.
  9. අනවශ්‍ය ආකාරයේ අතිරේක අමාත්‍යාංශ පිහිටුවීම මගින් ස්ථාපිත කෙරී ඇති අධික බල ව්‍යුහ අහෝසි කර බලය බෙදී යන ආකාරයේ පුළුල් මහජන නියෝජනයක් සහිත රාජ්‍ය පාලනයක් සඳහා උචිත යාන්ත්‍රණයක් ශක්තිමත් කළ යුතුය. එහිදී බලය කලාප, පළාත් සහ සුළුජන වර්ග නියෝජනය කෙරෙන ප්‍රාදේශීය පාලන ආයතන වෙත බෙදී යනු ඇත. එමගින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ජීවත් වන දිගුකාලීනව නොසලකා හැරුණු විවිධ ජන කණ්ඩායම්වලට අයත් ජනතවට දිගුකාලීනව බලපෑ සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටලුවලට සාධාරණව ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව උදා වේ.  

සමාලෝචනය

 විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ඉහත ප්‍රකාශිත සැලසුම් ඉදිරිපත් කරමින් විශේෂඥ කම්ටු සකස් කරනු ඇත. අප සංගමය නියෝජනය කරන විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් නිරතුරු උපදේශාත්මක මට්ටමේ හිඳිමින් විවිධ කණ්ඩායම් සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් සෙසු වෘත්තීය සමිති, සහෝදර නීතීඥ සංගම්, පරිපාලන සේවා සංගම්, ප්‍රාදේශීය පාලන ආයතන සහ අනෙකුත් ආයතන සමග මහජන හිතෛශී ක්‍රියාවලියකට අනුව කටයුතු කරනු ඇත. ප්‍රාදේශීය මට්ටමෙන් ජන කණ්ඩායම් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සිය සම්බන්ධතා ජාලය පුළුල් කරමින් රට පුරා විසිරී ක්‍රියාත්මක වන සෙසු සහෝදර වෘත්තීය සමිති ද ඒකරාශි කරනු ඇත.

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.