සිම්බාබ්වේට වෙච්චි දේ ගැන කම්පා වෙන, අපට වෙන දේ නොතේරෙන ක්‍රිකට්

0
310

දේශපාලනය සීමාව ඉක්මවා මැදිහත් වී විනාශ කරන ලද ක්‍රිකට් ක්‍රීඩාවක් තිබෙන රට වන්නේ සිම්බාබ්වේ දේශයයි.සිම්බාබ්වේ සමස්ත කඩා වැටීම දේශපාලනයේ බල වියරුව සහ අඥාණ පියවර බව ලෝකයම පිලිගන්නා ඇත්තයි.දැඩි ගෝත්‍රිකවාදී තැනකට තල්ලු වෙමින් සිම්බාබ්වේ වෙත වසන්තය ළඟා කළ පුද්ගලයා ලෙස ගෞරවයට පාත්‍ර වූ රොබට් මුගාබේ තමන් තුළ ඇති බලය පළල් කර ගැනීමේ ආශාවෙන් වියරුව සිම්බාබ්වේ විනාශ කළ වියරුවාදී නරුම පාළකයා බවට පත් වී බලයෙන් වීසි විය.

කෙනෙක් තමන්ගේ බලය පළල් කර ගැනීමට පටු අදහස් වපුරමින්,ඒ මත සිය අණසකට සියලු මානවීය ගුණාංග යටත් කරගෙන පවත්වාගෙන යන්නට උත්සාහ දරයිනම් එය තාවකාලික වින්දනයක් පමණක් වනු ඇත.ජනතාවට ඒ බලය නැවත ලබා ගන්නටත් තමන්ගේ අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදය කරා පිවිසෙන්නටත් තවත් මාර්ග ඇති බව පාළකයාට කියා දෙනු ඇත.ශ්‍රී ලංකාවේදි පසුගිය කාලයේ සිදු වූයේ එයයි.

ක්‍රිඩාවට මේ යාන්ත්‍රණය වැදගත් නැති බව බොහෝ ක්‍රීඩකයන්ට හැඟෙනු ඇත.ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තත්ත්වයද එය විය හැකිය.ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ අඩියට පය තබනවාත් සමඟම බොහෝ ක්‍රිඩකයින්ට හමුවන කළමණාකරුවන් ඔවුන්ව අල්ලා ගන්නේ මොළය මිරිකෙන්නටය.ඔවුන්ගේ සීමාවේ දී සියල්ල වානිජමය වන අතර මාධ්‍ය සහ මාධ්‍යකරුවා පවා තීරණය වන්නේ ගණු-දෙනුවල ස්වභාවයෙන්ය.ඒ නිසා විකිණීම හැරෙන්නට ක්‍රිඩකයාට මහ පොළවේ හුස්ම දැනෙන්නේ අඩුවෙන්ය.ව්‍යාපාරිකව ක්‍රීඩකයාව මෙහෙයවීම,තමන්ට ද අයත්වන ලාභය ආදියත්,ඒවා සඳහා කරනු ලබන ඕනෑම වැරද්දකදී ඔවා දෙනු වෙනුවට ඒවා සාධාරණය කරන්නට පෙනී හිටීමට මුදල් වීසි කිරීමත් පදනම් කරගත් සංස්කෘතිය ඇතුළත තමන්වද අයත් සමාජය දිය වෙමින් නාය යන බව තමන්ට නොදැනෙන ආකාරයටම ක්‍රීඩකයාට ද නොදැනෙන සේ සිහිය විසන්ධි කර තැබීම අද දකින්නට ලැබෙන ඛේදවාචකයකි.

සිමිබාබ්වේ භූමියේ සිදු වු ව්‍යසනය ද ක්‍රිකට්වලට දැනෙන විට රටේ හුස්ම හොඳටම හිර වී තිබුණු අතර,ක්‍රිකට් ඉපැයීම් පාන් රාත්තල් සීයකට හිලව් වන තරමට රටේ මුදල් ඒකකය පිරිහී තිබිණ.සිම්බාබ්වේ යැයි කියන්න බැරි තරමට රට දූෂණය වී,මානව හිමිකම් අතින් විනාශ වි සිය පුරවැසිකම ලෝකය ඉදිරියේ අවඥාවට පිරිහීමට භාජනය වි තිබිණ.

මේ වෙනුවෙන් සටන් කිරිමට හෝ එරෙහිව පෙනී සිටිමට කල්පනා කළ නොකළ ක්‍රිඩකයෝ ඒ වන විටත් තමන්ට අයිති අනෙත් පුරවැසියන්ට අහිමි කුමාර ජීවිත නඩත්තු කරමින් උන්හ.එහෙත් කාලය සියල්ල දේශපාලනිකයි යන්න තීරණය කරන විට තමන්ගේ ධනයේ වටිනාකම අවලංගු වෙමින් තිබිණ.ලෝකයක් නොබලන,නොසළකන රටක් බවට පත් වී තිබිණ.කළු පටියක් පැළද සිය ජාත්‍යන්තර පිළිගැනීම ඉදිරියේ රට පත් වී ඇති ව්‍යසනයෙන් මුදවා ගන්නට සංඛේතාත්මකව දායක වූ ග්‍රාන්ට් ෆ්ලවර්,හෙන්රි ඔලොන්ගා වැනි අය ද්‍රෝහීන් සේ සළකා මරා දමන්නට කුමන්ත්‍රණ කරද්දී ඔවුන් රටෙන් පළා ගියහ.කාලය විසින් ඔවුන් ලෝකයට ද සිම්බාබ්වේ දේශයටද වීරයන් වූහ.විනාශය දරා සිටි සැවොම මර්ධනයට,දූෂණයට නිහඬව සිටි එහි හවුල්කරුවෝ බවට පත් වූහ.තුච්ඡ ග්‍රෝත්‍රික උවමනාවන් වෙනුවෙන් ක්‍රීඩාව බිලි දෙන තත්ත්වය,දූෂණය,මර්ධනය,ප්‍රජාතන්ත්‍රවාදය නොසළකා හැරීම වැනි කරුණු පදනම් කරගෙන සිම්බාව්වේ ලෝකයෙන් කොන්වන තත්ත්වයකට පත් වූ අතර ඒ මහා විනාශය ලෝකය ඉදිරියේ හෙළිදරව් කරමින් ජාත්‍යන්තර අවධානය සිය ජනතාවට දිනා දීමට හැකියාව තිබුණ ක්‍රිඩකයින්ගේ හෘද සාක්ෂිය ඔවුන්ව වදයක් වන්නට ඇත.

අපි ක්‍රිකට් ගහනවා ඒකෙන් උපයනවා.රටට කීර්තිය ගේනවා අපේ ඩියුටිය ඒකයි වැනි පටු තැනෙක බොහෝ ක්‍රීඩකයෝ සිරවී සිටිති.මේ සියල්ලටම පදනම් වන කාරණය රට බව ඔවුන්ට අමතක වෙති.සමහර විට ඔවුන්ගේ මනසින් අමතක කරවති.මේ අලුත් තත්ත්වය පාරිභෝගික ව්‍යවහාරය විසින් ක්‍රිකට් වෙත ළඟා කර ඇත.එහෙත් එහි තිබෙන අවිනිශ්චිත භාවය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බුලවායෝ වෙත ළඟා වූ පළමු තත්පරයේම දැනෙන්නට ඇත.ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වන කණ්ඩායමකට හෝටල් අගුපිල්වල ලගින්න වීම ඒ රටට අත් වී ඇති ඉරණමේ ප්‍රතිපලයක් ලෙස හෝටලයට සීමා වූ නොසැළකිල්ල හෝ උද්ධච්චකම ලෙස අරුත් ගන්වන්නට ගියහොත් එය ඇත්ත නොවේය.

සිම්බාබ්වේ විදේශ කණ්ඩායම්වලට සැළකූ ආකාරය ප්‍රවීන ක්‍රිඩකයෝ අවංකනම් වර්ථමාන ක්‍රිඩකයින්ට පවසනු ඇත.තනිකරම බලලෝභි දේශපාලනය විසින් බලය වෙනුවෙන් නඩත්තු කරන ලද ජාතිවාදය,වර්ගවාදය වර්නවාදය වැනි පහත් චින්තනයන් විසින් අද වන විට සිම්බාබ්වේ පත් කර ඇති තත්ත්වයේ ප්‍රතිපල මත ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වැටී සිටින බව ඔවුන් නොදනිති.
ශ්‍රී ලංකාවේ මෑතම ඉතිහාසයේ ඉතාම දුෂ්කර අවස්ථාවකත්,තමන්ගේ රටට සතුටු වෙන්නට තිබුණු ඉඩක් හැටියට ක්‍රිකට් හඳුණාගත් ජනතාව පෝලීම්වල පැය ගණන් ගෙවද්දිත් ඒ සතුටට ප්‍රමුඛත්වය දීමට ඉදිරිපත් වූ අවස්ථා අපි දුටුවෙමු.එසේම ආර්ථික අර්බූදයේ එක පියවරකදී ක්‍රිකට්වලට එය වෙනස් කරන්නට ඇති හයිය ගැන විශ්වාස කරන අතරේම මිනිස්සු පාරට බැස විරෝධය ප්‍රකාශ කරමින්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලංකාවට පැමිණීම ගැන සුබ පැතුම් එක් කළහ.පිටියට රොක් වූහ. ඒ ක්‍රිකට්වල හුස්ම වැටෙන්නේ මේ රටේ මිනිස්සු නිසාය.
ඒ නිසා සිම්බාබ්වේ හි දී ක්‍රිකට් විතරක් ක්‍රිකට් නොවන බව ක්‍රිඩකයින්ට ගැඹුරින් සිතුවොත් තේරුම් ගන්නට අපහසු නැත.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද මේ වන විට ඒ ආකාරයේ දේශපාලන බලපෑමකට නතු වෙමින් තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් සැක කරන්නේය.තවත් සිම්බාබ්වේ භූමියක් වන්නට පෙර ඔවුන් ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට අවවාද කරන්නට ආවේ ඒ නිසාය.මේවා දැඩිව දැනෙන තත්පරයක ක්‍රීඩකයෝ ඒ බව ලෝකයට පවසා ක්‍රිකට් රැක ගැනීමට මූලිකත්වය ගත යුතුව ඇත.

අර්ජුන රණතුංග ලෝක කුසලානය දිනා දුන් නායකයා ලෙස එම ලෝක කුසලානයේ සමස්ත කීර්තියේ උරුමය භුක්ති විදින්නේය.ඇත්ත එබඳුය.නමුත් එම කුසලානය දිනන්නට පෙර පැවති තත්ත්වය ක්‍රමිකව වෙනස් කරන්නට දායක වූ තැනත්තා ඩේව් වටිමෝර් ය.කණ්ඩායම මානසිකව ශක්තිමත් වීමට මුරලිට එරෙහි වීම තුළ අර්ජුනගේ හැසිරීම හේතු විය.අපේ එකෙක් වෙන රටක එකෙක්ට ක්‍රීඩා කෞශල්‍යයෙන් පහර දෙනවාට වඩා අතින් පයින් පහර දි බැන වැදී සටන් කරන එක ආතල් දෙගුණ තෙගුණ කරන තත්ත්වයක්ය.සමහර විට ඒ අපි යටත් විජිත ලෙස වෙන අයගෙන් පීඩාවට ලක්වීමේ ඇරියස් ලේවලට මුසු වී තිබෙන නිසා විය හැකිය.ගෝටාභයට එකතු වූවේත් – පත් කළේත්, ඒ වෙනුවෙන් සහයට පත් කර එවිය යුතු නියෝජිතයින් තීරණය කළේත් ඒ ලේ කැලත්තුණ මිනිසුන්ය.

අපටනම් එදා මුරලි සිදුවීමෙදී ද අර්ජුන යම් ආකාරයකට සීමාව ඉක්මවා ගොස් ක්‍රීඩකයාට ඇති ඉඩ අතික්‍රමණය කර බව දැණුනේය.දැණුනා පමණක් නොව ඒ ගැන ලිව්වේය.ඒත් ඇත්තටම ඒ සිදුවීමෙන් පසුව මුරලි වෙනුවෙන් කළමණාකරණය පැත්තෙන් කරපු වැඩ මත මුරලි නිදහස් වූවා හැරෙන්නට අයිසිසි ය ගණු දෙනු කරේ පිටියේ හරඹ පෑ අර්ජුන එක්ක නොවේය.නමුත් මාධයවල සිට සියල්ල ඒ වෙනුවෙන් කාර්යාලීය මට්ටමෙන් වැඩ කර මිනිස්සු පස්සට දැම්මේය.අර්ජුන චරිතය විය.වට්මෝර් කැපුණේය.ආනා පුංචි හේවා ගෙදර ගියේය.ධම්මික රණතුංග වැන්නන් ක්‍රිකට් ආයතනයේ විධායක විය.ලෝක කුසලානයෙන් අනතුරුව බලය සහ ධනය සමඟ ක්‍රිකට්වල හැසිරීම වෙනස් වන්නට ගන්නේ අර්ජුනගේද ආශිර්වාදය යටතේය.ශ්‍රි ලංකා කණ්ඩායම අර්ජුන රණතුංගගේ කණ්ඩායම බවට පත්වන බව එදා තිලංගට ද වැරදීමකින් කියවිණ.ඒ එක පිලේ සිටියදීය.
හැබැයි අර ලේ කැලත්තිමේ ලක්ෂණ මිස ඊට වඩා ඥාණාන්විතව ප්‍රශ්න දෙස බලන්නට පරිචයක් නැති රොෂාන් රණසිංහ අර්ජුන පත්කරන මොහොතේ වැඩිපුර වර්ණනා කරන්නේම අර්ජුනගේ ක්‍රිඩක චරිතය ඉක්මවා ගිය හැසිරීමය.සුද්දන්ට චණ්ඩියෙක් වීමේ ආසාව විසින් රොෂාන් රණසිංහ තමන්ට මඟ පෙන්වන ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව අර්ජුනට පිරිනමන්නේම චණ්ඩිකමට සළකා ය.

නමුත් අමාත්‍යවරයාගේ ක්‍රිකට් නියෝජිතයා සේ තමන්ගේ හිතවත් උපදේශකයා පත් කරනු විනා අර්ජුන පත් නොකරන්නේ කෙතරම් උද්ධච්ඡ සහ මුග්ධ හැසිරීම් පෙන්නුම් කරත් රොෂාන් රණසිංහ නයි සහ මුගටි එක තැන තැබීමට අකමැති බව දන්නා නිසාය.ඒත් ඇමති හිතන හැටියට හැම ක්‍රීඩාවම හැසිරිය යුතු බව සිතා මේ වන විට ක්‍රීඩා දෙකකටම ඇන තිබෙන ඇමතිගේ ක්‍රිකට්වලට ඇනීමේ උවමනාවේදී අං පිරිමදින්නා බවට පත් වී සිටින්නේ අර්ජුන ය.

ක්‍රීඩකයෝ මේ ගැන අවදියෙන් සිටිය යුතුය.96 දි සියලුම කීර්කිය නැතත් ඔහුගේ නායකත්ව හැකියාවට එම ජයග්‍රහණයෙන් විශාල කොටසක් දායාද කරන්නට අපි මැලි නොවෙමු.ඔහුගේ එම නායකත්වයට මෙන්ම ක්‍රීඩක හැකියාව ද ශ්‍රි ලංකාවේ ක්‍රිකට් පවතින තුරුම ගෞරවයට පාත්‍ර විය යුතු බව ද ඇත්තය.නමුත් දරුවෙකුට හැඩට අන්දවා පුයර දමා ප්‍රියමනාප ආකාරයට තැබීමට දායක වූවා කියා ඔහුව නිරුවත් කර තලන්නට දිය නොහැකිය.ක්‍රිඩකයින් මේ ගැන අවදියෙන් සිට ලෝකයට කතා කරන පීඨිකාවට ගොඩ විය යුතුය.නැත්නම් 96 දී උපත සහ මැත දිනක විපත සේ සඳහන් කරන්නට විශාල ඉඩක් ඇති බව අපි දකිමු.

ගැහව්වා,සල්ලි ගත්තා ඒවයෙ අඩුපාඩු කතා කරා,ඉඩමක් ගත්තා,ව්‍යාපාර පටන් ගත්තා අපට ඒ ඇති කියා සිතනවානම් සිම්බාබ්වේ සමස්ත කඩා වැටීමේ අවසාන හරියේදී සිඳු වූ ක්‍රිකට් කඩා වැටීම,සමස්ත කඩා වැටීම ආරම්භ කරන තැන හැටියට සිඳු විය හැකිය.අඩුම තරමේ දේශපාලනිකව ලෝකය කියවා ගැනීමේ ඉඩ පළල් කර ගතහොත්,නොහැකියාව සහ නොදැනුවත්කම මත යැපෙන මිනිසුන් බහුතරය ආගම් මක පැටලී දෙවිවරු සමඟ එල්ලී සිටින්නේ ස්වීය ආත්මීය නොහැකියාවන් සහ පරාජයන් වසා ගන්නට බව තේරුම් ගැනීම වැදගත්ය.එය මේ වේලාවේම අවබෝධ කරගෙන ඕනෑවට වඩා ඇදහීම මත යැපෙන ඕනෑම එකෙක් අදහන්නේ විශ්වාස කරන්නේ කවුරු වුව ඒ තමන්ගේ නොහැකියාවේ පළල වසා ගන්නට ආත්ම විශ්වාසයේ පටු බව පළල් කර ගන්නට දරන වැයමක් මිස නොපෙනෙන බලවේගවලට තමන්ට ක්‍රිකට් ගස්සන්නට බැරි බව අවබෝධ කර ගැනීම ද වැදගත්ය.ආගමික ශාස්තෘවරු විසින් ප්‍රකාට කර ඇත්තේ අනෙකාට බාධාවක් නොවන ජීවිතයක් ගත කිරීමට ඇති දර්ශනයක් මිස අනෙකාව යට කොට තමාට ජය ගැනීමට හැකි සූදු පිටියක් නොවන බව ද එවිට ඔබට වැටහෙනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ