සෝමවංශ වංශකතාව ….

Date:

88 – 89 සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූ පසු පක්ෂ දේශපාලන මණ්ඩලයේ ඉතිරිවූ එකම සාමාජිකයා වූයේ සෝමවංශ සහෝදරයාය..

පක්ෂයේ නායකයා ඇතුලු සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයන් කිසිවෙකුටවත් දිවිබේරා ගැනීමට නොහැකිවූ සන්දර්භයක් තුල දිවි බේරාගෙන රටින් පැනගත් එකම පුද්ගලයා වශයෙන් වීර වික්‍රමාන්විත බුද්ධිමත් නායකයෙකු ලෙස එවකට ඔහුව වර්ණ ගැන්වී තිබින..

නමුත් ඔහු ලංකාවට පැමිනි පසු ප්‍රසිද්ධ වේදිකාවේ ඔහු පැවැත්වූ දේශපාලන ආමන්ත්‍රණයන් තුලින් පමණක් නොව ඔහුගේ සියළු දේශපාලන භාවිතාවන් හරහා ද එතෙක් ඔහු ගැන ලියවී තිබූ සියලු කුසලතා වර්ණ දිනපතා සේදී යන්නට විය..

ඇත්තෙන්ම 94දී මර්දනයේ ටයර් දුම පහව යන්නත් මත්තෙන් ජ.වි.පෙ.නැවත කෙසේ හෝ කරළියට ගෙන ඒමට ඔහුට අනවශ්‍ය කලබලයක් තිබුන ද ඉන් ඔබ්බට පක්ෂය රැගෙන යායුතු මග සම්බන්ධව ඔහුට දැක්මක් තිබුනේ නැත.

සැබැවින්ම ගත් කල බාලම ජාතිකවාදය මිස වෙනත් දියුණු මතවාදයක් හෝ බිමේ දේශපාලන අනාගතය කල් තබා හඳුනාගත හැකි සියුම් දේශපාලන බුද්ධියක් හෝ ඔහු සතුව කිසිදා තිබුනේ නැත. එය මුල් වරට පැහැදිලිව හෙලිවූයේ 94 මහමැතිවරණය සඳහා ජ.වි.පෙ. සාදාගත් දේශපාලන පෙරමුණ “ජාතිය ගලවාගැනීමේ පෙරමුණ” ලෙස ඔහු මැදිහත්ව නම තැබීමෙනි.

පක්ෂයක බලවත් පුත්ගලයෙක් මෙවන් නොගැඹුරු චරිතයක් වීමට බලපෑ හේතුව කුමක්ද ?

මෙසේ වීමට හේතුව 89 සහ ඊට පෙර ජ.වි.පෙ. දේශපාලනය මණ්ඩලයට තෝරා ගනු ලැබුනේ ජනවාර්ගික ගැටලුව හෝ මොනම මතයක් සම්බන්දව හෝ පක්ෂ නායකයාට පිටින් ස්වාධීන අදහස් නැති සහ නායකයාගේ ඕනෑම මතයක් ප්‍රශ්න නොකර පිළිගන්නා සුවචකීකරු චරිත වීමයි.( තනි පුද්ගල මතයක් රජයන ඕනෑම දේශපාලන බලවේගයක පොදු හැඩය මෙයයි)

ජ.වි.පෙ. තුල ස්වාධීන දේශපාලන මතයන් දැරූ ලයනල් බෝපගේ වැන්නන්ට ජ.වි.පෙ. අතහැර යෑමට සිදුවූයේද මේ පසුබිම නිසාය..

විජේවීරයන් යට සිටියදී මේ විජේවීරවාදී සෙවනැලි නායකයන්ගේ ස්වරූපය විජේවීර ප්‍රතිරූපයෙන් වැසී තිබුන ද ඔවුන් සමාජය හමුවේ තනිව පෙනෙන යුගය පැමිණි විට ඔවුන්ගේ සියලු දුර්වලතා නිරාවරණය වෙයි..

කෙසේ හෝ මේ තත්වය තුල 93න් පසු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයට පසුව පැමිණි ඇතැම් දක්ෂයින් හමුවේ සෝමවංශයන් ජ.වි.පෙ. තුලම පසුතලයකට විසි විනි.. ඔහු ජ.වි.පෙ. තුල සිටි අවසාන කාලයේ ඔහුට ඒ තුල හිමිව තිබුනේද විජේවීරයන් සමඟ එකට දේශපාලන මණ්ඩලයේ සිටී අතීත සංකේත වටිනාකම පමණි.

අවසානයේ ඔහුම මැදිහත්වී දෙවනවර ගොඩ නැගූ ජ.වි.පෙ. පෙරටම ගිය අතර ඔහු ඉන් එලියටම විසිවී ගියේය..

අවසානයේ ඔහු මතවාදයෙන් ද හද්දා නන්නත්තාර වී දේශපාලන අනාතයෙක් ලෙස තද හිත් වේදනාවකින් මියගියේය..

(සෝමවංශ අමරසිංහයන් මියගොස් වසර නමයක් පිරීම වෙනුවෙන් ලියූ සටහනකි)

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් බාලිහි ගුවන් ගමන් ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස්...

Volker Turk ලඟදීම දිවයිනට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : තෙදින නිල සංචාරයක්...