සටහන – රුවන් නෙළුගොල්ල
ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19ක වාර්තා කැඳවීමට අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා ඊයේ (19) පොලීසියට අවසර ලබාදී තිබේ.
ඒ, පියුමි හංසමාලි සැකසහිත ලෙස විශාල ධනයක් උපයාගෙන ඇති බවට සංජය මහවත්ත නම් අයෙකු විසින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදී ය.
ඇය විසින් ප්‍රධාන බැංකු 08ක ගිණුම් 19ක් පවත්වාගෙන යන බව පැවසූ විමර්ශන නිලධාරීන් එම ගිණුම්වල වාර්තා කැඳවීමට අදාළ බැංකුවලට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබාදුන්නේය.
එසේම ඇය සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස පවසා ඇති සම පැහැපත් කිරීමට භාවිතා කරන ආලේපන වර්ගයක් අලෙවි කරන පෞද්ගලික සමාගමක් ගැන ද විමර්ශන ආරම්භ කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කළ රේන්ජ් රෝවර් වර්ගයේ අධි සුඛෝපභෝගී ජීප් රථය 2023 වසරේදී රුපියල් ලක්ෂ 780 කට එහි හිමිකරුගෙන් මිලදී ගැනීමට ද පියුමි හංසමාලි කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ හිමිකරුගෙන් සහ ෆිනෑන්ස් ආයතනයක අලෙවි විධායකවරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම 2023 වසරේදී ඇය කොළඹ 07 වෝඩ් පෙදෙසේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් ද රුපියල් ලක්ෂ 1480ක් වටිනා නිවසක් ද වාරික 15කින් මුදල් ගෙවමින් මිලදී ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ නිවාස ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරීවරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් නිලධාරීහු අධිකරණයට වාර්තා කළහ.
ඒ අනුව මෙම තැනැත්තිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩුව බහා තැබීමට නියෝග කළේය.