*
Monday, July 22, 2024
spot_img

Latest Posts

සුළුතර ලිංගික ප්‍රජාවන්ට නිදහසේ ජීවත් වෙන්න මේ රටේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ – ඉසුරු චාමර සෝමවීර

සයුරෙන් එහා ඔහු හෝ ඈ සිටින්නී. නව තාක්ෂණයේ මහිමයෙන් මා හා සංවාදයේ යෙදෙන්නී. නමුත් කියා ගත නොහැකි මහා හිස්කමක් මහ මුහුද වැනි අනන්ත ආදරයක් ඉදිරිපිට ශේෂ වී තිබේ. මෙකී කුඩා වාක්‍යය කිහිපය අපේ කාලයේ විශේෂ කවියෙකු වන ඉසුරු චාමර සෝමවීරයන්ගේ ‘අප දෙදෙන මැද මහ මුහුද’ නම් වූ කව වෙනුවෙන් අප විසින් ලියන ලද්දකි. ඔබ එකී කවිය තවමත් රස විඳ නොමැති නම් පහතින් පළ වෙන එම කවිය මුලින්ම රසවිඳ බලන්න….

අප දෙදෙන මැද මහ මුහුද

මම

ගල් මල් අතර
නිල් රතු මාළු පීනන
පොඩි මුහුදකින් වටවුණ
පොල් ගස් කොදෙව්වේ
සුදුවට හිනා වෙන
ඔබේ කළු කොල්ලා මං

තෙත කළු මිදි දෑස්
ගත පුරා කළු මවිල් ගස්
නටන නලියන කළු මස්
මිස මගේ ඩා බිඳක ගඳක් සුවඳක්
නොපෙන්වයි ඔබට මා
පෙන්වන තිරය හතරුස්

තද රතු වද මලක්
රන්වන් මුහුදු වෙරළක්
බිලිඳු තේ දළුවක්
කළුම කළු තුණු සිරුරක්
ඔබට මා අන් කවරක්?

ඔබ

සිගරට් දුම් වලා මැද
සුවඳින්ම තේරූ
ඉපැරණි වයින් විත
සිසිරයෙ දිගු රුයක
අතරමං මේපල් පත

මා නිවන දල්වන ළා නිල් ඇස්
අතගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්

සුදු පටු කුඩා කුටියක
දුඹුරු බලු පැටියෙකු සමඟ
කුඩා කවුළුවකින් එබෙන
ඔබය අත දිග මදි වුණ

ඇත්තටම මම

අලුතින් නගී සුදු කෙස්
එක දෙක හිස මතට
වෙහෙසෙයි හිඳගනිමි
හිස මඳක් පහත් කොට

ඇත්තටම ඔබ

???????

අප දෙදෙන මැද මහ මුහුද

දශකයකට අධික කාලයක් පුරාවට නිර්මාණකරණයේ යෙදෙමින් සිටින ‘සෝමවීරයන්’ මේ වන විට ‘සුද, තාණ්ඩව , මමත්වතා,අප දෙදෙන මැද මහ මුහුද’ නමින් කවි පොත් හතරක් ද ‘මලක් කතා කරයි’ හා ‘ගැහැණු පිරිමි මල් පළතුරු’ නමින් කෙටිකතා සංග්‍රහ ද්විත්වයක් ජනගත කොට තිබේ. මෙරට කාව්‍ය කේෂ්ත්‍රයේ තමන්ටම ආවේණික වූ සන්නාමයක් සහිත ලේඛකයෙකු වන ඔහු සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය සිදු කරන ලද සාකච්ඡාව සිදු වූයේ මෙසේය.

ප්‍ර. අපි අපේ සංවාදය බොහොම සරළ තැනකින් පටන් ගමු ඉසුරු සහෝදරයා. ඔබ දන්නවද ගූගල් එකට අනුව කවිය කියන්නෙ මළ භාවිතාවක්. නමුත් අපේ රටේ වසරකට වැඩි වශයෙන්ම පළ වෙන්නෙ කවි පොත්. ෆේස්බුක් එකේ වුණත් වැඩිපුරම කට්ටිය ලියන්නෙ කවි. මේ ප්‍රවණතාවය අත්දැකීම් බහුල කවියෙක් විඳියට ඔබ දකින්නෙ කොහොමද? ඒ කියන්නෙ ඇත්තටම කොහොමද ඔබ ඒක විග්‍රහ කරගන්නෙ…..

පි. මං අත්දැකීම් බහුල කවියෙක් ද කියන්න නම් මං දන්නෙ නැහැ. මනුස්සයෙක් හැටියට නම් අත්දැකීම් බහුල කෙනෙක් කියලා මටම කියාගන්න පුළුවන් ජීවිතේ පහු කරන් ආපු දේවල් එක්ක. ඒත් කවිය කියන ප්‍රකාශන මාධ්‍යයට අනුව මං නවකයෙක් කියලයි මට හිතෙන්නෙ. කොහොම නමුත් ඔබේ ප්‍රශ්නය ගැන මම මට හිතෙන දේ කියන්නම්. කවිය කියන්නෙ විවිධත්වය උපරිමයෙන් තියෙන බොහෝ ශාඛා අනුශාඛා තියෙන කලා ප්‍රකාශන මාදිලියක්. රජ කාලයේදී කවිය තිබුණෙ භික්ෂූන් සහ ප්‍රභූන් අතයි. මොකෝ භාෂාව ඉගෙන ගන්න හැමෝටම අවස්ථාවක් තිබුණෙ නැති නිසා.

නමුත් සාමාන්‍යය ජනතාව අතර කවිය වාචිකව තිබුණා. අපිට ලොකු ජන කවි සාහිත්‍යයක් තියෙනවා. අධ්‍යාපනය පන්සලේ ඉඳන් පාසලට මාරු වෙනවා. මුද්‍රිත මාධ්‍ය එනවා. ඒ එක්ක මුල් කාලේ ඉඳලම කවිය තිබුණ බව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉරිදා පත්තරවල කවි පිටු කියන්නේ අදටත් තියෙන දශක බොහෝ ගණනක් තිස්සේ ආපු දෙයක්. කවි කොළ, කවි සඟරා තිබ්බ යුග අපි පහු කරන් ආවා. කවිය කියන්නේ අපේ සාමූහික ජන විඤ්ඤාණය එක්කම තිබ්බ දෙයක්. ඊට පසු කාලීනව කවි පොත් වලට අමතරව ෆේස් බුක් කවිය බ්ලොග් කවිය වගේ අළුත් මාධ්‍ය බිහිවෙමින් යනවා.

අපි මේ කවි කියලා කියන හැම දෙයක්ම කවිය යනු කුමක්ද වගේ ප්‍රශ්නයක් ඉදිරියේ සාපේක්ෂ බව පේනවා. රසය අරුත නිෂ්ඨාව සෞන්දර්ය භාෂාව තාලය වගේ දේවල් මත එක එක පුද්ගලයා දකින කවිය වෙන්න පුළුවන්. කවියේ දිශානතිය තීරණය කරන්නේ අන්න ඒ විවිධත්වයයි. අපේ භාෂාව සහ සංස්කෘතිය ඇතුළේ කවිය කියන්නේ අපි එක්කම ඉන්න දෙයක්. දරු නැලවිල්ලෙ ඉඳන්ම කවිය අප සමඟ සිටිනවා. මට අනුව මං ආකර්ශනය වෙන රසවිඳින කවි තියෙනවා. නමුත් මං ඒකම අනෙකා කැමති විය යුතු යැයි කියා හිතන්නේ නැහැ. කවිය කියන්නෙ බහු උපයෝගීතා සහිත සුවිශේෂී බුද්ධි මෙවලමක්. ඉතිං ෆේස් බුක් කවිය හොඳයි හෝ නරකයි කියන තැනට ලඝු වෙන්න මං කැමති නැහැ.

කවි පොත් බහුල වීම මං හොඳ දෙයක් හැටියට දකිනවා. ඒත් අපේ අධ්‍යාපන ක්‍රම ඇතුලේ කවිය සම්බන්ධ හැදෑරීම ගැන මට තියෙන්නේ විවේචනයක්. එය ඉතා පටු අතීතකාමයක හිර වෙලා ඉන්න බවක් පේනවා. සමහර අලුත් කවියෝ අලුත්ම කවියක් අත්හදා බලමින් ඉන්නවා. අපේ ජීවන විලාසය සහ භාෂාව එක්ක කවිය පරිණාමය වෙමින් යනවා.

ප්‍ර. කෙටි කතාව තුළත් ඔබ ඔබේ ලිවිසැරිය හසුරුවනවා. වර්තමානය වෙද්දි ප්‍රවණතාවයක් විඳියට විශ්ව සාහිත්‍යයට එකතු වෙන කෙටි කතා සමීප වෙන්නෙ කෙටි නවකතා වල ආකෘතියටයි. ඔබ මේ තත්වය දකින්නෙ කොහොමද???

පි. ඔබ කිව්ව කතාව එක්ක මං එකඟයි. ඒකීය ධාරණාවල ජිවිතේ පෙත්තක් අකුණක් හෝ ක්ෂණිකාලෝකයක් වගේ කෙටි කතාව සම්බන්ධ සමහර අර්ථ දැක්වීම් තව දුරටත් ඒ හැටියටම වලංගු නැහැ. නිර්මාණාත්මක ගද්‍ය සම්බන්ධයෙන් වන නවකතා කෙටි කතා වගේ අධ්‍යනය සඳහා වන බෙදා දැක්වීම් පුද්ගලිකව මට ගැටුළු සහගතයි. ලියන්නා ට කියන්න ඕනේ දේ සහ ඊට ක්‍රමයක් තියේ නම් එච්චරයි නේද වෙන්න ඕන.

ලෝක සාහිත්‍යය තුළ සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය සහ එහි ඉගැන්වීම් වලින් සිදුකල බලපෑම ඉතා විශාලයි. නවකතාව වගේ දෙයක් මේ වගේ කියලා හැඩයක් ගන්න සෑහෙන කලක් ගියා. ජපානයේ ‘The Tale Of Genji‘ ලියවෙනකොට මෙහෙ සමහර නිර්මාණාත්මක ගද්‍ය ඉන්දියාවේ මහාභාරතය සහ තවත් ලේඛන ඇසුරින් ලියවිලා යුරෝපය තුළ නවකතාව සහ කෙටි කතාව මෙසේ ය කියලා මතයක් ආවා. නමුත් ඉතාම ස්වාභාවික ලෙස ඒ ඒ කලා මාධ්‍ය තමන්ගේ ස්වරූප පරිණාමය කරගනිමින් ඉන්නවා. සමහර කතා ඉල්ලා සිටින ඉඩ සහ ආඛ්‍යාන ස්වරූපය එකිනෙකින් වෙනස්.

අනික ඉතා දිගු කෙටි කතා කියන්නෙත් අලුත්ම ප්‍රවණතාවයක් නෙමේ. රුසියානු කෙටි කතා කියලා නම දීපු ගද්‍ය මාදිලිය ඇතුලේ ඉතා දිගු කතා කීපයක් නම් මුණගැහෙනවාද?. සිංහල කෙටි කතාව ඇතුලේ නම් දිගට ලියන රචනා සුලබ නැහැ. ප්‍රභාත් ජයසිංහ වගේ කෙනෙක්ගේ කතා වුණත් කෙටි ම නැහැ. වචන ප්‍රමාණයෙන් විතරක් නෙමේ. ආඛ්‍යානය පැතිරෙන ඉඩ, එහි ලේයර සහ සංකීර්ණතා එක්කයි මං ඒ දේ කියන්නේ

ප්‍ර. දර්ශනය දේශපාලනය සෞන්දර්ය ආදී මේ දේවල් වලින් වියුක්තව කවියකට හෝ කිසියම් ගද්‍ය නිර්මාණයකට පැවැත්මක් තියෙන්න පුළුවන් කියලා ඔබ විස්වාස කරනවද?. කොටින්ම කියනවා නම් මං මේ ඔබෙන් අහන්නෙ කිසියම් හෝ නිර්මාණයක පැවැත්ම තීරණය වෙන්නෙ කවර සාධක මත කියලද ඔබ විස්වාස කරන්නෙ???

පි. මං එහෙම විශ්වාස කරන්නේ නැහැ. අපි මිනිස්සු හැටියට අධ්‍යනයකින් තොරව වුණත් දර්ශනය සහ දේශපාලනය කලාව තුළට ගලනවා. මනුෂ්‍ය ස්වභාවය තුළ ස්වයං ගවේෂණය සහ ප්‍රශ්න කිරීම තියනවා. අපි විශිෂ්ට සංජානන හැකියාවක් සහිත ජීවී කොටසක්. ඉතින් කොහොමත් දර්ශනය සහ දේශපාලනය කලාව තුළින් නිරුත්සාහිකව වහනය වෙනවා. සෞන්දර්ය කැටි කරගත්තු හයිකු කවියක් කෙතරම් දාර්ශනික විභවතා සහිතද?

දාර්ශනික හෝ දේශපාලනික බෝඩ් වගේ කලා කෘති තියනවා. ඒවයෙ පැවැත්ම කාලය තීරණය කරනවා. දර්ශනය හෝ දේශපාලනය තිබූ පමණින් යමක් කලා කෘතිය ක් වෙන්නෙත් නැහැ. මං කියන කලාපය පැහැදිලි කරන එක පහසු නැහැ. වන්දිබට්ට කවිත් කවිම තමා ඒත් ඒව කවිද? වගේ කාරණත් මේ එක්කම තියෙනවා. මිනිසා කොහොමත් දේශපාලනික සහ සංස්කෘතික සත්වයෙක් නිසා තමන්ගේ නිර්මාණ තුළ දර්ශනය සහ දේශපාලනය තියනවා. කලාව දාර්ශනික සහ දේශපාලනික මෙවලම් වෙන අවස්ථා වුණත් දුලබ නෑ

ප්‍ර. ඇත්තටම මේ සංවාදය තුළදි සාහිත්‍යය කාරණා වගේම මට ඔබව ප්‍රශ්න කළ යුතු තවත් ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි සමරිසි අයිතීන් පිළිබඳව කථිකාව. මං පුද්ගලිකව දන්න විඳියට ඔබ සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෙක්. නමුත් තවමත් අපේ රටේ මෙයට නීතිමය පසුබිමක් සකස් වෙලා නැහැ. අභාවප්‍රාප්ත වුණ මංගල සමරවීර ඇමතිවරයා විතරයි මේ ගැන සැළකිය යුතු මට්ටමකින් මැදිහත්වීමක් රජයට ඉදිරිපත් කළේ. අතිශය ලිබරල්වාදී පුද්ගලයෙක් වෙන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගේ පුද්ගලයෙක් පාලනයේ ඉන්න මේ අවස්ථාවෙදිත් ජීව විද්‍යාත්මකව සාධාරණ හේතු තියෙන සමරිසි පුද්ගලයන්ගේ අයිතීන් ඔවුන්ට ලබා ගන්න නොහැකි වෙලා තියෙන්නෙ ඇයි කියලා අපිට කියන්න ඔබට පුළුවන්ද???

මං රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිංගික නැමියාව හෝ අනන්‍යතාව දන්නේ නැහැ. තව කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය මට අදාළත් නැහැ. නමුත් ඔහුගේ දේශපාලන භාවිතය ඍජුව හෝ වක්‍රව අපි හැමෝටම අදාළ වෙනවා. ඒ දෙක දෙකක්.

සමරිසි පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් මං ලියලා නැහැ. නමුත් මගේ ලිවීම් ඇතුලේ මේ මොහොතේ ඔවුන්ට වෙන අවුල සහ ඔවුන් මුහුණ දෙමින් ඉන්න තත්ත්වය ගැන මම කතා කරලා තියෙනවා.. මගේ ලිවීම් මේ මොහොත වාර්තා කරමින් ඉන්න ආකාරයේ ඒවා ඒ සම්බන්ධවයි.

සමලිංගිකත්වය නිර්සාපරාධීකරනය ගැන අධිකරණ කටයුතු කිහිපයක් පහුගිය කාලෙ වුණා. ඒව ඉතාම හොදයි. සම වේවා විෂම ලිංගික වේවා මිනිස්සුන්ට අධ්‍යාපනය ලබන්න, සෞඛය පහසුකම් ලබා ගන්න, සතුටින් නිදහසේ ජීවත් වෙන්න, තමන් කැමති කෙනෙක්ට ආදරය කරන්න ආදරය ලබන්න අයිතියක් තියනවා කියලා මං කවදත් විශ්වාස කළා සහ කරමින් ඉන්නවා.

නමුත් සමරිසි පුද්ගලයන්ගේ හා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් ඇතුළු අනෙකුත් සුළුතර ලිංගික ප්‍රජාවන්ගේ අයිතීන් ඉතාම මිලේච්ඡ අයුරින් උල්ලංඝනය වෙනවා. නිවස, පාසල, රැකියා ස්ථානය තුළ ඔවුන් හිංසනයට ලක් වෙනවා. මේ ගැන කියන්න යන්න ඔවුන්ට තැනක් නැහැ. ඔවුන්ට ආදරය කරන්න ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්න වෙන්නේ හොරෙන් සහ බයෙන්. ඔවුන් අතර දිචිනසාගැනිම් බහුලයි. ඔවුන්ට සමාජානුයෝජනය සඳහා ක්‍රම නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් රට හැර යනවා. මේ ගැටලුව පෙනෙනවට වඩා බරපතලයි. මේක තහනම් මාතෘකාවක්. මේ ගැන කතා කරපු නිසා මගේ සමහර මිතුරන් මගෙත් එක්ක පින්තුරේකට ඉන්න අකමැති වෙච්චි අවස්ථා තිබුණා.

මේ සම්බන්ධව ජනතාව දැනුවත් විය යුතුයි. නැති බිල්ලො මවල මිනිස්සු බය කිරීම සහ දේශපාලන වාසි බලාගෙන ගොඩක් දෙනා වැඩ කරන්නේ.

මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය යු.එන්. එක මොකද කියන්නේ, මනෝ විද්‍යාව මොකද කියන්නේ කියලා පොඩ්ඩක් සාවධානව හොයා බලන්න. ඔබේ සමීපතමයින් ඔබ නොදැන මේ නිසා පීඩා විඳිනවා ඇති.

දේශපාලනිකව මේ ගැන අදාළ තීරණ ගන්න බලවත් මහජන කතිකාවක් සහ පෙලබවීමක් ඕනේ කරන කාලෙක අපි ඉන්නේ. ඒත් අපේ සමාජය අන්ධයි, ගොළුයි, බිහිරියි. අවාසනාවට.

ඔබ කිව්වා වගේ මංගල සමරවීර මේ සම්බන්ධව පල කරපු නිර්භීත බව සහ කැප කිරීම මං අගය කරනවා. නමුත් ඔහු දැන් නැහැනෙ. ගොඩක් දෙනා මේ මාතෘකාව පිළිකුල් කරනවා සහ අහේතුකව බය වෙනවා. ඒ කාරණය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ගැන මිනිස්සු දැනුවත් නැහැ. ඒකයි ප්‍රධාන හේතුව. ඒ දැනුම මාධ්‍ය ඔස්සේ හෝ අධ්‍යාපනය ඔස්සේ එන්නෙත් නැහැ. අපි ලිංගිකත්වය වහපු සමාජයක් නේ.

ලංකාවේ දික්කසාද වලට සුලබ හේතුවක් තමයි දෙන්නගෙන් එක්කෙනෙක් සමරිසි වීම. මේ වගේ කාරණා මං හිතන්නේ සමාජ විද්‍යාඥයන් විසින් හොයා බලනවා නම් වටිනවා. සුළුතර ලිංගික ප්‍රජාවන්වල පුද්ගලයන් ට තව පරම්පරා කීපයකින් හරි නිදහස් විදියට ජීවත් වෙන්න රටේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒකට දැන්ම හණමිටි නීති වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ජන මතයක් හැදෙන්න ඕනේ.

ප්‍ර. හරි දැන් අපි ආයිත් සාහිත්‍යමය කාරණාවකට එමුකො. එකම රේඛීය මෘතෘකා ඔස්සේ කතා කරනවට වඩා මේ සාකච්ඡාවේ තේමාවන් මාරු වෙවී කතාබහට ලක් වෙද්දි මේ වැඩේ තරමක වෙනසක් පාඨක මනස තුළ ඇති කරාවි කියලා මං හිතනවා. හරි එහෙනම් දැන් මට කියන්න ගැහැණු පිරිමි මල් පළතුරු කියන ඔබේ කෙටි කතා එකතුවේ එම නාමයෙන් යුතු කතාවෙන්ම ඔබට අවශ්‍යය වුණේ පුද්ගල දෙබිඩි භාවය ඒ කියන්නෙ අපි අර කතාවට කියන්නෙ “ලෝකෙට පරකාසි ගෙදරට මරගාතේ වගේ කියලා”. අන්න ඒ වගේ මේ සමාජයේම දෙබිඩි බව පෙන්වන්න නේද??? ඒ වගේම අනන්‍යයතා අර්බුදයත් ඔබට කතා කරන්න ඕන වුණා කියලා මට ඒක කියෙව්වම හිතුනා. මම වැරදි වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔබ ඒ ගැන යමක් කියනවා නම් ඔබේ පාඨකයන්ට…..

බාසුරු මං මගේ කතා මෙහෙමයි කියලා විස්තර කරන්න නම් ආස නැහැ. ඒ කතාව ඔයාලට ඔයාලගේ අත්දැකීම් එක්ක කියව ගන්න පුළුවන්. හැබැයි මං මෙහෙම කියන්නම්…. අපි හැමෝටම අතීතයක් තියනවා. ඒ අතීතය විශේෂයෙන් ළමා කාලයේ ලබන අත්දැකීම් අවිඥානය තුළ තැන්පත් වෙලා ජීවිත කාලය පුරා බලපෑම් කරනවා ෆ්‍රොයිඩ් ගේ මනෝවිශ්ලේෂණ වාදයට අනුව. අනික ඔයත් මමත් අපි කව්රු වුණත් අපේ හැම දෙයක්ම ඒ හැටියටම ලෝකෙට පෙන්නනවද??

ඒ කතාවේ තල කිපයක් තියනවා. ඉතින් කියවන්නාට පුළුවන් තමන්ගේ අත්දැකීම් තුළින් ඊට ඇතුළු වෙන්න. මේ මොහොතේ ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය, එහි චරිත එක්ක මේ කතාව කියවා ගන්න කියලා විතරක් යෝජනා කරන්න මං කැමතියි. ඒකත් අනිවාර්ය නැහැ.

ප්‍ර. ඉසුරු සහෝදරයා ඔබේ කවි වල ඉතාම අධිතාත්වික උපමා රූපක අන්තර්ගත වෙන බවක් මට දැනෙනවා. හරියට අර ප්‍රංශ ආකෘතිකවාදීන් වගේ ඔබ කවියෙදි පාඨකයාව අමතක කරලා කවියේ අධිතාත්වික බවට මුල් තැනක් දෙන බවක් අපිට පේනවා. ‘අප දෙදෙන මැද මහ මුහුද’ වගේ කවියක් මේකට උදාහරණයක් විඳියට ගන්න මං කැමතියි. ඇත්තටම ඔබ ඒ වගේ නිර්මාණකරණයක් තුළින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද???

පි. මං නිර්මාණයක් තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?? ඔයා මරු ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම මං කාටද ලියන්නේ කියලා මට මතක් වෙන්න කලින් මං ලියන්නේ මටමයි. ඒක ඉතා සුලබ උත්තරයක් වුණත් ඒක තමයි ඇත්ත. මට මං ලියන දේ එක්ක තමයි නිර්මාණය එන්නේ. ලිවීම බහුවිධ උපයෝගිතා සහිත වැඩක්. එක පාරක් මංජුල වෙඩිවර්ධන අයියත් මගෙන් ඕක අගපු වෙලේ එක පාරට මගේ ඔළුවට ආපු උත්තරේ මට මං කියන ප්‍රපංචය ගැන තියන හැගීම, ආශාවල අවුල මං අකාලික අවකාශයක ප්‍රතිනිර්මාණය කරන්න කරන උත්සාහයක් වගේ දෙයක්.

මං එ්කේ මං එක්ක වගේම වත්මන් සහ අනාගත කියවන්නා එක්කත් කරන කතා බහක්. මං මගේ චිත්තවේග පෙරලා හළලා තලලා යම් ආකෘතියක සංරචනය කරනවා මං ආස වයනයක් හිටින හැටියකට. මේක හෙන ආත්මාර්ථකාමී තමයි. ඒත් මං ගැන ඇත්ත ඒක. ඒක මහ ලොකු අමුතු දෙයක් නෙමේ. මං මටම කරගන්න දෙයක්. ඕකත් එක්ක යම් සිවිල් බලයක්, වගේ ජාති එනවා තමයි. ඒත් මගේ වැඩ එක්ක එහෙම එනවා ගොඩක්ම අඩුයි. එක්කෝ මං ලියන ජාති කියවන කෙනාට ෆිට් හෝ රසවත් නැද්ද මන්දා. මං මාව ඒ සම්බන්ධයෙන් නඩත්තු කරනවත් අඩුයි. අධිතාත්වික උපමා ගැන ඔබේ අදහස ගැන ඉතින් කියන්න තියෙන්නේ මට එහෙම හිතෙන්නේ නෑ. ඒව මට කිට්ටු ඒව. ඒත් ඒ ඔබේ කියවා ගැන්මට මං අත දාන්න එන්නේ නෑ. ඒ ලස්සන ප්‍රශ්ණෙට ආයෙම ස්තූතියි බාසුරු…

ප්‍ර. අවසාන ප්‍රශ්නය වශයෙන් සාම්ප්‍රදායිකව අහන ප්‍රශ්නය අහලම එහෙනම් අපි මේ කතා බහ අවසන් කරමු. ඉදිරියෙදි එන ඔබේ නිර්මාණ මොනවද??? නවකතාවකට යන්න අදහසක් එහෙම නැද්ද??? කවිය සහ කෙටි කතාව ඇතුළෙ විතරමද ඔබේ පෑන හැසිරවෙන්නෙ???

පි. නැහැ. මං පින්තූර ගන්නවා. චිත්‍ර අඳිනවා. ගස් වවනවා. ඒවත් කලාවන් සහ ප්‍රකාශන මාධ්‍යයයි. නමුත් මං ඒ දේවල් වලට ගොඩක් ආධුනික කෙනෙක්. නමුත් ඒවයෙන් මං විශාල සතුටක් ලබනවා. ඒව එළියට දාන්න තරම් හොඳට කරන්නේ නෑ. මං නවකතාවක් ලිව්වා මං සහ මගේ මහ පවුල ගැන. ඒත් මගේ පවුල තුළ වුණු සිදුවීම් සහ ඒ කතාව මට ඕනේ හැඩයට රසයට කර ගන්න බැරි වුණා. ඒක දුර්වල අසාර්ථක එකක්. ඉතින් මං ඒක පැත්තකට දැම්මා. කෙටි කතා ටිකක් නම් ලියවිලා තියනවා. බලමු… මං දිගට ලියන හොඳ පුරුද්ද ඇති කෙනෙක් නෙමේ. හරිම කම්මැලි කෙනෙක්. ඉතිං බලමු ඉස්සරහට කෙටි කතා ටිකකින් මුණ ගැහෙන්න.

සටහන හා සාකච්ඡාව
බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan