අජටාකාශයට ඇස් දෙක විදාගෙන
චක්‍රවාට දූවිලි රස උරාගෙන
උල්කාපාත වරුසාවක තෙමීගෙන
සුනිමල් සිටී සක්වල දෙස බලාගෙන
විද්‍යාඥයෙකි සුනිමල් වැඩ බහුල
අභ්‍යවකාශයයි ඔහුගේ වැලි මිදුල
අමතක කරයි නිතරම ගේ දොර පවුල
මන්දාකිණිය තරමට දිගුවෙයි රැවුල
ඔහු පිය බිරිඳ කටකාරය සුරංගනී
ලිස්සන ගහක පීදුණ තලමලක් වැනී
ගස්සා උකුල කෝපෙන් ඔහු ළඟට පනී
විද්‍යාවටද ඉඳහිට වැලමිටෙන් අනී
දෑස් අගින් එනකොට තරු පුළිඟු රටා
සාස්පාන් ඉගිලෙයි ඔහු කුටිය වටා
නාස් කුහර රතුවෙනකොට විදුලි කොටා
මේස් බැනියමක් පාවෙයි සිකුරු වටා
මීර ගලන චුම්බක බල ළයට තියා
සූර සිතින් සුනිමල් තරු ළඟට ගියා
පාර භෞතිකය හිරමණ තලෙන් ලියා
ක්ෂීරපථය උඩ පොල්කිරි ගලා ගියා
ළූණු සිවියකින් පුන්සඳ මඬල වසා
පාන් පෙත්ත උඩ ඕ බඩ පිණුම් ගසා
පාරජම්බුලද ලෙවකා බලන නිසා
ගෝරනාඩුවෙන් රසවත් කරයි මුසා
වල්ගා තරුවක වල්ගය කපාගෙන
කිල්ලොටයට හිම වර්ෂා පෙරාගෙන
පොල් බෑයට සඳකත් මිණි පුරෝගෙන
තොල් විදහා බක බක ගා සිනාසෙන
වෙට්ටු දමා පෘථිවිය යන වේගයට
කිට්ටු නොවී විද්‍යාවේ උණුහුමට
තට්ටු දමා දුරදක්නය ගෙන අතට
පිට්ටු බම්බුවක් හැදුවා ඈ යසට
~ කුමාර හෙට්ටිආරච්චි


