සටහන – රුවන් නෙළුගොල්ල
පහසු ගෙවීමේ ක්‍රමයට රුපියල් ලක්ෂ 12ට විට්ස් වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමේ අදහසින් මාලිමාවට ඡන්දය දුන් රජයේ සේවකයින්ට අද සිදුව ඇත්තේ පහසු ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාගැනීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“ඡන්ද කාලෙ මේ අය කුඹුරට බැහැලා කිව්වා 150ක් දෙනවා කියලා වී කිලෝවකට. ඊටපස්සෙ කිව්වා 120ක් දෙනවායි කියලා. දැන් බොහෝ තැන්වල ගොයම් කැපෙන්න අරන්. වී කිලෝව යන්නේ රුපියල් 75 ට, 80 ට, 85 ට, 90 ට. ගොවි ජනතාව අනාථ වෙලා. කියපු මිල දෙන්නෙ නැතිව අද ගොවි ජනතාව පාරට බැස්සාම මොකද කියන්නෙ ? ඡන්දෙ දුන්න ගොවීන්ට කියනවා කසිප්පුකාරයො ලු. තවත් වෙලාවක කියනවා මේ ගොවියො නෙවෙයි ආටිෆිෂල් ගොවියො ලු. හැබැයි ඡන්දෙ ගන්නකල් කිව්වෙ ගොවියා දෙවියා, ගොවියා රජ කරනවා කියලා.
දැන් ඊයෙ පෙරේදා නිවේදනයක් නිකුත් වෙනවා පඩියෙන් කපාගන්න විදියට හාල් කිලෝ 20ක් දෙන්නම් ලු රජයේ නිලධාරීන්ට. හැබැයි රජයේ නිලධාරීන් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටියේ පඩියෙන් කැපෙන්න අර ලක්ෂ 12 විට්ස් කාර් එක ගන්න. ඒත් දැන් පඩියෙන් කැපෙන්න යන්නෙ ඔය ලබාදෙනවායි කියන සහල් කිලෝ 20 ට. විශෙෂයෙන්ම මැතිවරණ සමයේදී අර මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල් පදයත් රකින්නට ඕනෙ”
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන තිස්සමහාරාම යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයේ පරිභෝජනය සඳහා රු. 1,280,000ක් වටිනා RO plant-ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ (28) එක්වෙමිනි.


