සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලක් ලෙස දේශපාලන අර්බුදයකුත් ඇති වූ බවත්, මෙහි ප්‍රතිඵලය විදිහට රට තුළ අසංවිධානාත්මක එහෙත් බලවත් ජන නැඟිටීමක් ඇති වූ බවත් පසුව ජන නැඟිටීමේ ප්‍රතිඵල ලෙස මුලින්ම අගමැති මහින්ද රාජපක්ෂට ධුරය අතහරින්න සිදු වූ බවද ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසයි. ඉන්පසු ජනාධිපති ගෝඨාභයට ධුරය අතහරින්න සිදු වු බවත්, එහෙත්, අරගලය පැත්තෙන් විකල්ප මතුව ආවේ නොමැති බවද පැවසීය. නමුත් ඒ මොහොතේ රට අති විශාල අර්බුදයකයි තිබුණු බවත්, එය රාජ්‍යයේ පැවැත්මට බලවත් අභියෝගයක් වුණ බවද ඒ මහතා අවධාරණය කළේය.
නමුත් ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මුලින් අගමැති ධුරයත්, පසුව ජනාධිපති ධුරයත් භාර ගත් බවත්, ඒ මොහොතේ සිටි පලපුරුදු සහ ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයා ඔහු බවත් කියා සිටී. ඔහු රට භාර ගැනීමෙන් පසු ක්‍රමානුකූලව අර්බුදය විසඳීම සඳහා ක්‍රමයක් සකස් කළ බවද පැවසීය.
ජනපති ජාතිය අමතා කළ ප්‍රකාශය, හෙට දින පාර්ලිමේන්තුව අමතා කිරීමට නියමිත ප්‍රකාශය, ජාතික වශයෙන් වැදගත් කරුණක් වන ණය ගැටලුව සඳහා ලබා දෙන විසඳුම් සහ උදා වී තිබෙන තත්ත්වය තුළ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු සහ ජනතාව සතු වගකීම කුමක්දැයි යනාදී කරුණු කාරණා ගැන ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
- පුළුල් ආයෝජනවලට රට විවර කරන්න ඕනෑ
- දීර්ඝකාලීන බදු දීමේ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි
- අර්බුද සඳහා ස්ථිර විසඳුමක් ඕනෑ
අපේ රට පසුගිය අවුරුදු කිහිපය තුළ විශාල ආර්ථික අර්බුදයක සිර වුණේ ණය ගෙවීමට අසමත් වීම සහ සංචිත හිඟය නිසයි. ඒ ගැන පසුගිය දා ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එදා සහ අද තත්ත්වය පිළිබඳ ඔබේ අදහස මොන වගේ ද ?
ඇත්තෙන්ම රට බංකොලොත් කියන වචනය එතරම් සුදුසු වචනයක් නොවෙයි. 2022 අප්‍රේල් මාසයේදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ඒ අවස්ථාව වන විට රට ලබා ගත් ණය ගෙවන්න තරම් හැකියාවක් අප රට සතුව නැති බවයි. ඒ ප්‍රකාශය සමඟ තමයි අපේ රට බංකොලොත් කියන අදහස මතුව ආවේ. මේ වචනය ඇත්තෙන්ම එතරම් සුදුසු වචනයක් නොවෙයි. මේ නිසා අපේ රටට තිබූ අවාසිය තවත් වැඩි වුණා. ඇත්තෙන්ම ඇති වූ මේ තත්ත්වයට හේතු වුණේ රටේ ආදායම් සම්පූර්ණයෙන්ම වාගේ ඇහිරී යාමයි.
ඒක බංකොලොත් වීමක් විදිහට හැඳින්වීම නිසා රටේ ප්‍රතිරූපය තවදුරටත් විනාශ වුණා. ඇත්තෙන්ම අද මතුපිටින් බලන අය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත රට අසාර්ථක වීමේ චෝදනාව එල්ල කරනවා. එහෙත්, ඒක සාධාරණ චෝදනාවක් නොවෙයි. 1977 දී රටට නව ආර්ථික ක්‍රමයක් ආරම්භ වුණා. ඒ සමඟ එතෙක් වැසී තිබූ ආර්ථිකය පූර්ණ ලෙස විවර වුණා. එතැනදි අප කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියල අපට තේරුම් ගන්න බැරි වුණා. අපි රටක් විදිහට ණය මතම යැපෙන තැනකට වැටුණා. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කර ගෙන ලබා ගත් ණය ගෙවීමේ ක්‍රමය වෙනුවට පැමිණි සියලු පාලකයන් ණය අරන් කාලා බීලා ආයේමත් ණය ගන්න ක්රමයකුයි ක්‍රියාත්මක කළේ. එහි කූටප්‍රාප්තිය තමයි, 2022 දී අප විශාල ණය උගුලක සිරවීම. අය වැය හිඩැස් පුරවනු ලැබුවේ තවත් ණයක් අරගෙනයි. අපට ආදරයට නොවෙයි. තව තවත් පොලී ලබා ගන්න පුළුවන් නිසා ලෝක ණය දෙන ආයතනත් අපට දිගින් දිගටම ණය ලබා දුන්නා. අපත් 2022 වන තුරු කොහොම හරි ණය වාරික ගෙවනු ලැබුවා. කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය වැනි අර්බුදය නිසා මෙරටට සංචාරකයන් පැමිණීම ඇන හිටියා. ලෝකයේ සිටින අපේ ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය අඩු වුණා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ අප ආර්ථික ලෙස ලොකු උගුලක පැටලීමයි. ඒ වගේම මේ කාලය තුළ විශාල කම්හල් ප්‍රමාණයක් වැසුණා. මේ සියල්ලේම ප්‍රතිඵලය තමයි ලොකු ආර්ථික අර්බුදයක් ඇතිවීම.
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල ලෙස දේශපාලන අර්බුදයකුත් ඇති වුණා නේද?
ඔව්. මෙහි ප්‍රතිඵලය විදිහට රට තුළ අසංවිධානාත්මක එහෙත් බලවත් ජන නැඟිටීමක් ඇති වුණා. ඒ ජන නැඟිටීමේ ප්‍රතිඵල ලෙස මුලින්ම අගමැති මහින්ද රාජපක්ෂට ධුරය අතහරින්න සිදු වුණා. ඉන්පසු ජනාධිපති ගෝඨාභයට ධුරය අතහරින්න සිදු වුණා. එහෙත්, අරගලය පැත්තෙන් විකල්ප නායකයෙක් මතුව ආවේ නැහැ. ඒත්, ඒ මොහොතේ රට අති විශාල අර්බුදයකයි තිබුණේ. එය රාජ්‍යයේ පැවැත්මට බලවත් අභියෝගයක් වුණා. ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මහතා මුලින් අගමැති ධුරයත්, පසුව ජනාධිපති ධුරයත් භාර ගත්තේ. ඇත්තෙන්ම ඔහු තමයි ඒ මොහොතේ සිටි පලපුරුදු සහ ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයා. ඔහු රට භාර ගැනීමෙන් පසු ක්‍රමානුකූලව අර්බුදය විසඳීම සඳහා ක්‍රමයක් සකස් කළා.
අයි. එම්. එෆ්. එක අපිට විතරක් වාසි විදිහට වැඩ කරන්නෙ නෑ. අගතියේ සිටින පාර්ශ්වය වුණේ අපයි. ඒ නිසා අප රජයක් විදිහට සාකච්ඡා කර යම් අතරමැද තැනකට පැමිණියා.
එසේ පැමිණි විසඳුම් පිළිබඳ සමාජයේ නොයෙක් විවේචන ඇති වුණා නේද ?
මූලිකවම එය සිදු වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණි විගසයි. ආණ්ඩුවට ආදායම ලැබෙන බදු ක්‍රම ඉවත් කිරීමයි. එවක සිටි මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සඳහා වගකිවයුතුව තිබෙනවා. සීනි බදු ඉවත් කිරීම වගේ දේවල් නිසා රජයට හිමි විය යුතු ආදායම ලොකු පංගුවක් අහිමි වුණා. මේ තත්ත්වය තුළ මූල්‍ය අරමුදලේ ඉල්ලීම වුණේ බදු ප්‍රතිපත්තිය නිසි විදිහට ක්‍රියාත්මක කරන ලෙසයි. එදා නිසි විදිහට බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම්, සාමාන්‍ය ජනතාව මත මෙතරම් අපහසුතාවක් ඇති වෙන්නෙ නෑ.
අදත් බදු පැහැර හරින පිරිසක් ඉන්නවා. එවැනි කණ්ඩායම් සොයා බදු අය කර ගැනීමෙන් ජනතාව අපහසුතාවට පත්වීම් වළක්වා ගන්න පුළුවන්. හිසරදයට කොට්ට මාරු කරන ක්‍රමයක් තවදුරටත් නඩත්තු කළ යුතු නෑ. දැන් කළ යුත්තේ ඇති වෙන්න පුළුවන් නව අර්බුද සඳහා ස්ථිර විසඳුමක් ඇති කිරීමයි. ජනාධිපතිතුමාගේ කතාවෙන් පවා ඒ පිළිබඳ ඉඟියක් පළ වුණා. ඔහු පවා විශ්වාස කරනවා නැවත අයි එම්. එෆ්. නොයන්න නම් මෙරට තුළ නව නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවට.
ණය අර්බුදය කළමනාකරණය කිරීම පිළිබඳ දොස් නඟන පාර්ශ්ව එසේ නොවන්නේ නම් කරන්න ඕනෑ කුමක්ද කියල ප්‍රකාශ කරන්නෙ නැහැ.?
ඔව්. අපි රටක් විදිහට මේ වගේ අර්බුදකාරී අවස්ථාවක යන්න පුළුවන් සුදුසුම මාර්ගයේ තමයි මේ ගමන් කරනු ලබන්නෙ. අපි කැමැති වුණත්, අකැමැති වුණත් මෙයින් එහා විකල්ප මාර්ගයක් නෑ. ඒ නිසා මේ මොහොතේදී සියලු දෙනා යම් කාලයක් හෝ එක්ව කටයුතු කරන්න ඕනෑ. නව ආර්ථික පනත මඟිනුත් ඒ පිළිබඳව තමයි අවධානය යොමු කරනු ලබන්නෙ. ඒ වගේම නැවත රාජ්‍ය සම්පත් විකිණීමේ විකල්පය වෙනුවට පුළුල් ආයෝජනවලට රට විවර කරන්න ඕනෑ. විකිණීම වෙනුවට දීර්ඝකාලීන බදු දීමේ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. එවැනි දුර දිග බලන ප්‍රතිපත්ති මඟින් රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පුළුවන්කම ලැබෙනවා. දැන් කළ යුත්තේ කෙටිකාලීන බල ව්‍යාපෘති නොව රට ගැන සිතා වැඩ කළ හැකි ක්‍රමයක් වෙත සියල්ලන් යොමු වීමයි. මෙහිදී විපක්ෂයට පමණක් නොවෙයි, ආණ්ඩුවටත්, රාජ්‍ය නිලධාරීන් වෙතත් ලොකු වගකීමක් තියෙනවා.
රාජ්‍ය නිලධාරීන් වෙත තිබෙන්නේ මොන විදිහේ වගකීමක් ද?
රාජ්‍ය නිලධාරීන් බහුතරයක් වගකීම් තේරුම් අරන් වැඩ කරනු ලබනවා. සුළුතර පිරිසක් උකටලී, නැත්නම් තම වගකීම් නොතකමින් කටයුතු කරනවා. ඔවුනටත් ලොකු වගකීමක් තියෙනවා.
ඒත්, මේ වන විට විකල්ප අදහස් ඇති කණ්ඩායම් ණය යෝජනා පිළිබඳ විවිධ අදහස් පළ කරනවා. මේ අදහස් කෙතරම් දුරට යථාර්ථවාදී ඒවා ද?
ලබන ජනාධිපතිවරණයෙන් කවුරුන් ජනාධිපති වුණත්, අපේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට වෙනත් මාර්ගයක් නැහැ. කෙතරම් උඩඟු කතා කීවද අයි. එම්.එෆ්. සමඟ සාකච්ඡාවේදී ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ මොහොත අත්හදා බැලීම් කරන්නට සුදුසු වෙලාවක් නොවෙයි දැන් අපි අයි. එම්. එෆ්. ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාණයක් ඉදිරියට ඇවිත්. දැන් ආපසු හැරෙන්න බෑ. ඒ වාගේම වෙනත් සුදුසු විකල්ප මාර්ගයකුත් නෑ. අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම් කරන අතරතුර සියල්ලන් අවංකව රට වෙනුවෙන් කැප වෙන්න ඕනෑ. වංචාව, දූෂණය, අල්ලස් වැනි වැරදි මාර්ග ඇහිරිය යුතුයි. අයි.එම්.එෆ්. මේ ගැන අපට මාර්ගෝපදේශයක් ද ලබා දී තිබෙන අතර ජනාධිපතිවරයා අයි.එම්.එෆ්. කළමනාකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙන්නේ හෙට දිනයේදීයි. මෙම දැනුම් දීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ තිබෙනවා.
මේ යෝජනාව පිළිබඳ මන්ත්‍රී ප්‍රතිචාරය කුමක් වෙන්න පුළුවන් ද?
අයි. එම්. එෆ්. යෝජනා සියයට සියයක් හොඳයි සාර්ථකයි කියල කියන්න තරම් මා ඉක්මන් වෙන්නෙ නෑ. කොහොමත් සියයට සියයක් හොඳ දෙයක් ඉදිරිපත් වෙනවා යැයි කවුරු හරි හිතනවා නම්, ඒක ලොකු වැරැද්දක් විදිහටයි මම නම් සිතන්නේ. මේ ජනාධිපති කතාව පාර්ලිමේන්තුව තුළ පරාජය වුණා යැයි සිතමු. එහෙත්, එයින් අයි. එම්. එෆ්. යෝජනාවලට කිසිදු හානියක් වෙන්නෙ නෑ.
එහෙත්, එහෙම වුණාම අප රට කිසිම ඒකමතිකභාවයක් නැති රටක් විදිහට අන්තර් ජාතික ප්‍රජාව ඉදිරියේ හෑල්ලුවට ලක් වෙනවා. ඒ වගේම සුළු, සුළු අඩුපාඩු තිබුණත් මේ වගේ ජාතික වශයෙන් වැදගත් කාරණයකට එරෙහි වන්නේ අවස්ථාවාදීන් පිරිසක් පමණයි. අද ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙක විදිහට ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අයි.එම්.එෆ්. යෝජනාවට විරුද්ධ බව කියන්නෙ නැහැ. ඔවුන් ක්‍රමවේදයක් විදිහට ජනාධිපති ගත් ක්‍රියාමාර්ගයට එකඟයි. ඔවුන් එහි තිබෙන තාක්ෂණික කරුණු ගැනයි, සඳහන් කරන්නෙ. අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණියත්, සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් ආවත් ඔවුනට ජනාධිපති රනිල් ගත් මේ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම පිටුදකින්න බැහැ.