*
Thursday, July 4, 2024
spot_img

Latest Posts

දිනන්නේ කවුද? ජනාධිපතිවරණයට ළංවෙද්දී පිල්මාරු රැසක්? ජාතික ආණ්ඩුවෙන් රැලි ජනාධිපතිවරණයට? උතුරෙන් දෙමළ අපේක්ෂක යෝජනාවට ඉන්දියාව විරුද්ධද? හකීම්-රිෂාඩ් කොහාටද – චීනයේදී මහින්දට ලැබුණු උපදෙස් – රාජ්‍ය ආයතන බරෙන් ආණ්ඩුව නිදහස් – අරගලය වෙනුවට රට ගොඩනඟන මග

  • දිනන්නේ කවුද?
  • ජනාධිපතිවරණයට ළංවෙද්දී පිල්මාරු රැසක්?
  • ජාතික ආණ්ඩුවෙන් රැලි ජනාධිපතිවරණයට?
  • උතුරෙන් දෙමළ අපේක්ෂක යෝජනාවට ඉන්දියාව විරුද්ධද?
  • හකීම්-රිෂාඩ් කොහාටද
  • චීනයේදී මහින්දට ලැබුණු උපදෙස්
  • රාජ්‍ය ආයතන බරෙන් ආණ්ඩුව නිදහස්
  • අරගලය වෙනුවට රට ගොඩනඟන මඟ

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණයට දින ලංවෙමින් තිබේ. ජුලි 17 වැනිදාට පසුව මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය කැඳවන්නට ව්‍යවස්ථානුකූල බලය ලැබේ. මැතිවරණ කොමිසම පවසන්නේ ජුලි 15 වැනිදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයා යම් කිසි ලෙසකින් කටයුතු කළහොත් ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වීමට වුවද සුදානම් බවය. එහෙත් මේ මොහොතේ කුමක් වේදැයි කවුරුත්ම දන්නේ නැත. සාමාන්‍යයෙන් මෙවැනි අවිනිශ්චිත කාලයක් මේ රටේ කිසිදු කලෙක පැවතියේද නැත. ඉන්දීය විදේශ ඇමති ජයිෂන්කර් ගේ ශ්‍රීලංකා ගමන දේශපාලන තලයේ දැඩි අවධානයක් යොමුවූයේ ඉදිරි ජනාධිපතිවරනයේදී ඉන්දීය සහය තීරණාත්මක නිසාය. එහෙත් ඒ සහය කාටදැයි තවමත් පැහැදිලි නැත. එහෙත් ඔහු ප්‍රධාන පාර්ශව ගණනාවක් සමගම සාකච්ඡා කල අතර මෙරට ඉන්දීය ව්‍යාපෘති සම්බන්ධයෙන්ද තීරණාත්මක කතාබහක නිරතවූ බව සඳහන්ය. ඒ සමගම පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේම චීනයේ සංචාරය කල අතර ඔහු චීන ජනාධිපතිවරයා ද හමුවිය. මෙය මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වන්නේ පොහොට්ටුවේ අවසන් තීරකයා මහින්ද නිසාය. මේ සියල්ල අතරේ ජාතික ආණ්ඩුවක් ඉදිරි දින කීපය තුල බිහිවන බවද පැවසේ. ඒ සඳහා සජබ කොටසක්ද සමග හකීම්හ රිෂාඩ් ඇතුළු පිරිස්ද දෙමල පක්ෂ කීපයක්ද එක්වන බව පැවසේ. ඇතැම් විට රනිල් මේ ජාතික ආණ්ඩුව හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමටද ඉඩ තිබේ.

පිල්මාරු එක්ක ජාතික ආණ්ඩුවක්

ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේවන විට කොටස් ගණනාවකට කැඩී ගොස් තිබේ. ඒ බහුතරයකගේ උත්සාහය මීළඟ මහමැතිවරණයෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමය. ඒ සඳහා ඕනෑම කැපකිරීමකට බහුතරයක් ලැහැස්තිය. මේ වන විට පිල්මාරු ගණනාවකට සියල්ල සුදානම්ය. දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැත. එදා චන්ද්‍රිකාගේ ගුණ ගයනා කරමින් සිටි පිරිස් මහින්ද රාජපක්ෂ වෙතද ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන වෙතද ගියහ.රනිල්ට මහබැංකුව ගැන චෝදනා එල්ල කල පිරිස් අද රනිල් වික්‍රමසිංහ ගේ ගුණ ගයමින් රට වටේ යති. රාජපක්ෂවරුන් වන්දනා කල රාජපක්ෂවරු නිසා දේශපාලනයට පැමිණ ඔවුන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පවා පැමිණි ඇතැමුන්ට අද රාජපක්ෂලා වහකදුරු වී තිබේ. රනිල් අත්හැර සජිත් වෙත ගිය ඇතැම් පිරිස් අද යලිත් රනිල්වෙත පැමිණ තිබේ. පක්ෂ දේශපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තුල මේවා අරුමයන් ද නොවේ. අනෙක් අතට කවර හෝ පක්ෂයකින් පාර්ලිමේන්තුවට පැමිණීමට ඒ අයට ඇති අයිතිය අප පිළිගත යුත්තේ ඒ අයගේ රැකියාව දේශපාලනය නිසාය. දේශපාලනය කරන්නට
පාර්ලිමේන්තුවට පැමිණීම අවශ්‍යවේ.

ජනාධිපතිගේ සුභ ආරංචිය

රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගත් පියවර ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට ප්‍රකාශ කලේ ජාතිය අමතමිනි. ඉන්පසු ජනාධිපතිවරයා මතරදීද රට අමතමින් තම සිදු කල කාර්යභාරය විස්තර කර දුන්නේය. එහෙත් තවමත් තමන් මෙවර ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.
මේ අතර ගුරුවරුන් විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කර පලවා හැරීමද ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ප්‍රකාශ කල දිනයේම සිදු විය. එය හිතාමතාම එදිනට යොදවා ගත බවට රජය පවසතත් ඊට පොලීසිය පහර නොදී සාමකාමී විරෝධයකට ඉඩ දුන්නේ නම් ජනතාවගේ වැඩි අවධානයට එය ලක්නොවන්නටද තිබුණි. කෙසේ වෙතත් යම් යම් පාර්ශව වලට වැටුප් වැඩි නොකර පොදුවේ අඩුවටුප් ලාභීන්ට පමණක් ජීවත්වීමට සරිලන වැටුපක් ලබාදීමට පියවර ගත යුතුව තිබේ. එහෙත් මේ වන විට දීමනා හෝ වැඩිවන්නේ ඉහලම වැටුප් ලභීන්ටය. රජයේ වෛද්‍යවරුන්ට හා විධායක නිලධාරීන්ට දීමනා වැඩි කිරීම පසුගිය දිනවල සිදුව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් කවුරුන්දැයි තවමත් රට තුල පවතින්නේ දැඩි කුතුහලයකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරග කරන බව ඔහු විසින් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ඔහු වටා සිටින පිරිස් පවසන්නේ ඔහු ස්ථිර ලෙසම තරග කරන බවය. ඔහු දේශපාලන සන්ධානයක් මේ වන විට නිර්මාණය කරමින් පවතින අතර ජාතික මැතිවරණ ලේකම්වරයා ලෙස රවී කරුනානයකද පත්කර ඇත්තේ එම සන්ධානය ගොඩනැගීමේ සියලු බලතලද ඔහුට ලබා දෙමිනි.

රනිල්ට සහය දෙන පිරිස්

රනිල් නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයද ආණ්ඩු පක්ෂය වන පොහොට්ටුවේ පිරිසක්ද ජනාධිපතිවරයාට සහය පළකරමින් එක්ව සිටින අතර නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම්ද ඒ අතර වේ. සමගි ජනබලවේගයේ කීපදෙනකුද ඉදිරි දින කීපයතුල ජනාධිපතිවරයා සමග එක්වීමට නියමිතය. මේ අතර රටේ ආර්ථිකය නිසි මගට ගෙන එම සඳහා රනිල් ගත් ක්‍රියාමාර්ග මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා ඉහල මධ්‍යම පන්තිය අගය කරති. රනිල් වටා සිටින සමහරුන් පොහොට්ටුව නොමැතිව ඉදිරි ගමන ගැන කතා කලද පොහොට්ටුව නොමැති ඉදිරි ගමනක් රනිල්ට නොමැති බව පවසන පිරිස ඔහු වටා බොහෝය.

සජිත් රට පුරා

විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට සිය ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සඳහා සමගි ජන සන්ධානයද නිර්ණය වෙමින් පවතී. එසේම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සජිත් සමග ඉදිරි දිනවලදී එක්වීමට සුදානම්වෙමින් සිටින බව පැවසේ. ආණ්ඩුබලය නොමැති වුවද රටපුර පාසල් දරුවන් වෙත සුයුරු පන්තිකාමර ලබා දෙමින් පාසල් සඳහ බස් රථ ලබාදෙමින් ඔහු කරන සමාජ මෙහෙය බොහෝදෙනා අගය කරන අතරේම දුප්පත් කම තුරන් කිරීම සඳහා ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිදු කල මෙහෙවර සජිත් විසින්ද සිදුකරනු ඇතැයි මෙරට සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව වී තිබේ.

පොහොට්ටුවෙන් ධම්මික ද?

ආණ්ඩු බලය හිමි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු තරග කරවන බවට මේ වන විට විශාල කතාබහක් පවතී. එසේ නම් ඒ සඳහා ඉදිරිපත් කරන්නට යන බව පැවසෙන්නේ මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාය. ඔහු දැනටත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. DP එඩුයුකේෂන් හරහා රටේ දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් ඔහු රට පුරා දැනටත් යමින් සිටී. පසුගිය සතියේ උතුරු පළාතේද ඔහු සංචාරය කළේය. කෙසේ වෙතත් ජනාධිපති රනිල් තරග නොකරන්නේ නම් පමණක් තමන් තරග කරන බව ධම්මික කලින් පවසා තිබේ. එහෙත් පක්ෂයේ තීරණය කුමක්දැයි තවමත් පැහැදිලි නොමැත. යම්කිසි ලෙසකින් ධම්මික තරග නොකරන්නේ නම් නාමල් රාජපක්ෂ ඒ සඳහා තරග කරන්නට සුදානමින් සිටින බව පැවසේ. ඒ අතරේ සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු විස්සක් රනිල්ට සහයෝගය දෙන්නේ නම් පොහොට්ටුවද රනිල්ට සහයෝගය දෙන බවට රනිල් හා පොහොට්ටුව අතර වාචික එකගතාවයක්ද ඇති බව පැවසේ.

අනුර වටේ තරුණ පිරිස්

ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට සුදානම්වුයේ කලක සිටය. රට තුල මෙන්ම ජාත්‍යන්තරය වෙතද නිරන්තරයෙන් ගමන් කරමින් ඔහු ඒ සඳහා වැඩපිළිවෙල සකස් කර තිබේ. විශේෂයෙන්ම රටේ තරුණ පරපුර තුල අනුර කුමාර දිසානායක කිසියම් අලුත් දෙයක් කරනු ඇතැයි විශ්වාසයක් පවතී. එහෙත් වැඩිහිටි පරම්පරාව තවමත් ජනතා විමුක්ති පෙරමුණ දෙස බලන කෝණය වෙනස්ය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂක හමුදා හා පොලීසියේ විශ්‍රාමිකයන් එක්කරමින් නව දේශපාලන ගමනක් අනුර විසින් නිර්මාණය කර තිබේ. ගෝඨාභයට වියත්මග හරහා සහයෝගය දුන් බොහෝදෙනා අද සිටින්නේ අනුර සමගය. ගෝඨාභයගේ වැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේද එම වියත්මගම නිසා අනුර කුමාර ඒ සම්බන්ධයෙන් බොහෝ ප්‍රවේශම් විය යුතුය.

මේ අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෛත්‍රීපාල පාර්ශවය විසින් පත්කලද මේ වන විට එහි අයිතිය අධිකරණය ඉදිරියේ විභාගවන නඩුවක තීන්දුව මත රඳා පවතී. එම නිසා ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස හෝ තරග කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

විමල් – දිලිත් – ගම්මන්පිල සන්ධානය කොහාටද ?

මේ අතර මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන තවත් අපේක්ෂකයෙකි. දැන්වීම්කරණයේ ප්‍රමුඛයෙකු වුවද දේශපාලනයට නවක අපේක්ෂකයකු ලෙස ඔහු කෙටි කාලයක් තුල ජනතා අවධානයක් දිනාගෙන ඇත. මේ වන විට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල සිටින්නේද ඔහු සමග එකම කණ්ඩායමකය.

විශේෂයෙන්ම ඉන්දියානු විරෝධය විමල් වීරවංශ ප්‍රමුඛ පිරිසක් විසින් මේ වන විට අතට ගෙන ඇති නිසා දේශීයත්වය හා සිංහල බෞද්ධ පදනම සමග පෞද්ගලීකරණයට හා රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව මේ පිරිසට සැලකිය යුතු ජනපදනමක් බිහිකර ගැනීම අසීරු නැත. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව සිටින්නේද මේ මතයේ නිසා මෙම දෙපාර්ශවය එක්වුවද එහි පුදුමයක්ද නැත. විශේෂයෙන්ම මහින්දගේ චීන සංචාරය මත මේ බොහෝ දේ එක්ව පවතින බව බොහෝදෙනා පවසති. එහෙත් දේශපාලනයේ හෙට දිනයේ සිදුවන දේ දැන් පවතින තත්වය අනුව අතිශය අවිනිශ්චිතය.

ඡන්ද බෙදෙන හැටි

මේ අතර පවතින තත්වය මත රනිල්- සජිත් -අනුර-ධම්මික -දිලිත් -විජේදාස ආදී සියලුදෙනා තරග කළහොත් මේ පිරිස අතර ඡන්ද කෙසේ බෙදී යාවිද යන්න සැකසහිතය. ලක්ෂ එකසිය හැත්තෑවක් වන මෙරට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට අසුවක් ඡන්දය ප්‍රකාශ කළහොත් ලක්ෂ 140 ක පමණ පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරනු ඇත. එසේම සැලකිය යුතු පිරිසක් විදේශ ගතවී ඇත. එසේම සුළුජාතික ඡන්දය ප්‍රතිශතය සියයට 31 කි. මේ සියයට 31 ක ප්‍රතිශතය ප්‍රධාන වශයෙන් රනිල් හා සජිත් අතර බෙදී යනු ඇත. හකීම් හා රිෂාඩ් රනිල් සමග ජාතික ආණ්ඩුවට එක්වුවහොත් මුස්ලිම් ඡන්ද රනිල් වෙතද ගමන් කරනු ඇතත් සජිත් සමගද මුස්ලිම් ඡන්ද සැලකිය යුතු ප්‍රතිශතයක් ගමන් කරනු ඇත. මේ සියල්ල අතරේ තවමත් සියයට 25 ත් 30 ත් අතර ඡන්ද දායකයන් පිරිසක් කාට ඡන්දය දෙන්නේදැයි තීරණය කර නොමැත. එම නිසා තීරණාත්මක සාධකය එය වීමටද ඇති ඉඩකඩ විශාලය. එසේම උතුරෙන් දෙමල අපේක්ෂකයෙක් ජනාධිපතිවරනයට ඉදිරිපත් කිරීමේ සුදනමක්ද පවතින බව පැවසේ. මේ අතර ඊට ඉන්දියාව විසින් දෙමල පක්ෂ වෙත විරෝධය පළකර ඇති බවටද නිලනොවන ආරංචිමාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල බරෙන් ආණ්ඩුව නිදහස්අ නෙක් අතට කවුරුන් ජයග්‍රහණය කලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ඇති නිසා ණය ගෙවන්නට වසර කීපයක් යනතුරු අවශ්‍ය නොමැත. විදුලි බල මණ්ඩලයේ ගාස්තු ඉතාම ඉහල නිසා රජයට එහි බරක් නොමැත.ඛනිජ තෙල් මිල ගණන්ද ඉතා ඉහල නිසා රජයට එම බාරද නැත. ශ්‍රීලංකන් ගුවන් සේවයද කෙසේ හෝ හොඳ ආයෝජකයකුට පවරන්නේ නම් රජයට එම බරෙන්ද නිදහස් විය හැක. එම නිසා කවුරුන් හෝ ජයග්‍රහණය කරන අපේක්ෂකයාට වසර දෙකක් හෝ තුනක් යනතුරු තමන්ට සිත්සේ ජනතා සහන සුභසාධනය ලබාදීමට හැකියාව තිබේ. එහෙත් ඒ සියල්ල ණය ගෙවීම ආරම්භ කරන්න තුරු පමණි. යම් ලෙසකින් ආයෝජකයන් පැමිණ රටතුල ව්‍යාපාර ආරම්භකර රැකියා ඇතිකර මේ තත්වය සුභදායී ප්‍රවේශයකට ගෙනයාමේ හැකියාවක්ද පවතී. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර නිෂ්පාදන ක්‍රියාවලිය ගම්මට්ටමින් හා ජාතික මට්ටමින් දියුනුකළහොත් යලිත් මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත්වීම වැළක්විය නොහැක. ඒ සඳහා ග්‍රාමීය නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යවේ. දේශීය නිෂ්පාදන හා දේශීය ව්‍යාපාරිකය ශක්තිමත් කිරීම කල යුත්තේ අසාධාරණ ලෙස පාර්භෝගිකයා සූරා කන්නට දේශීය ව්‍යාපාරිකයන්ට ඉඩනොදෙන සාධාරණ ක්‍රමවේදයකටය.

අරගලය ඇති නොකර දේශීය ආර්ථිකය ගොඩනගන මග

මේ සියල්ල අතරේ කවුරුන්හෝ මීළඟට පත්වන ජනාධිපතිවරයා අරගලය වැනි තත්වයක් නිර්මාණය නොවන්නට මුල සිටම වගබලාගත යුතුය. ඒ මර්දනයෙන් නොව ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නිර්මාණය කරමිනි. අරගලය තනිකරම නිර්මාණයකි. තෙල් පෝලිම් ,ගෑස් පෝලිම් හා විදුලිය කප්පාදුව තනිකරම නිර්මාණයන්ය. එම නිසා මීළඟ ජනාධිපතිවරයාට ඒ සඳහා මුල සිටම පියවර ගන්නට සිදුවේ. විදෙස් බලවේග වලට රට පාලනය නොවන ස්ථානයකට රට ගෙනයාමත් ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමත් මීළඟ ජනාධිපතිවරයාට ඇති වගකීම් වනු ඇත. පුද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද ශක්තිමත් කර ගැනීම අපවැනි කුඩාරටක කලයුත්තේ සියයට සියයක්ම පුද්ගලික අංශයට ඉඩ දුනහොත් සියයට හැටකට වැඩි සහනාධාර මත යැපෙන පිරිස් වලට අත්‍යවශය භාඳහා සේවා මිල දරාගත නොහැකි මට්ටමට ඉහල යන නිසාය. ලෝකයේ අනි සියලු රටවල ක්‍රමවේද ගෙන ආවද අපේ රටේ ඇති කල යුත්තේ රටටම ගැලපෙන නව ක්‍රමවේද මිස වෙනත් රටවල කොපි නොවේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan