*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

සල්ලි ගෙවාගන්න බැරුව EPF එක හිරවෙයිද ? – පිළිතුරු

මේ සටහන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අසා තිබුණු නිශ්චිත ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස පළ කෙරෙන්නක්. මේ ගැන මීට පෙර ලිපියක් පළ කළ බව මතකයේ ඇතත් එය සොයා ගත හැකි වූයේ නැහැ.
අප දැනටමත් දන්නා පරිදි රජයේ රුපියල් ණය වලින් මහ බැංකුවෙන් ලබා ගෙන ඇති ණය සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර හැර වෙනත් රුපියල් ණය කිසිවක් ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ නැහැ. අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුව තුළද සම්මත වී අවසානයි.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර වඩා දිගුකාලීන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනවා. අලුතෙන් නිකුත් කරන බැඳුම්කර 2027-2038 අතර වසර දොළහක කාලය තුළ කල් පිරෙනවා. මෙම බැඳුම්කර වෙනුවෙන් 2025 වසර දක්වා 12%ක පොලියක් ලැබෙන අතර ඉන් පසුව දිගටම 9%ක පොලියක් ලැබෙනවා.

දැන් මෙහිදී මෙම අරමුදල් සතු මුදල් වලින් කොටසක් 2027 දක්වාත්, තවත් කොටසක් 2038 දක්වාත් “හිර වෙන” බව කෙනෙකුට පෙනී යනවා විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස යම් අවස්ථාවක මේ අරමුදල් වලට ආපසු ගෙවිය යුතු දායක මුදල් කලට වෙලාවට ගෙවාගන්න බැරි වෙන එකක් නැද්ද?

පහත තිබෙන්නේ 2022 වර්ෂය අවසානයේදී සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සංයුතිය එම ආයෝජන වල “පොත් අගය (book value)” පදනම මත.

භාණ්ඩාගාර බැඳුම්කර – රුපියල් බිලියන 3,184.2යි.

භාණ්ඩාගාර බිල්පත් – රුපියල් බිලියන 174.4යි.

ප්‍රතිවිකුණුම් ගිවිසුම් – රුපියල් බිලියන 23.6යි.

පෞද්ගලික සමාගම් වල බැඳුම්කර – රුපියල් බිලියන 3.4යි.

ලැයිස්තුගත සමාගම් කොටස් – රුපියල් බිලියන 71.8යි.

අනෙකුත් සමාගම් කොටස් – රුපියල් බිලියන 9.1යි.

එකතුව – රුපියල් බිලියන 3,466.5යි.

පහත තිබෙන්නේ ඉහත සඳහන් 2022 වර්ෂය අවසානයේදී සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සංයුතිය එම ආයෝජන වල “වෙළඳපොළ වටිනාකම (fair value)” පදනම මත.

භාණ්ඩාගාර බැඳුම්කර – රුපියල් බිලියන 1,914.4යි.

භාණ්ඩාගාර බිල්පත් – රුපියල් බිලියන 172.9යි.

ප්‍රතිවිකුණුම් ගිවිසුම් – රුපියල් බිලියන 22.4යි.

පෞද්ගලික සමාගම් වල බැඳුම්කර – රුපියල් බිලියන 3.4යි.

ලැයිස්තුගත සමාගම් කොටස් – රුපියල් බිලියන 71.8යි.

අනෙකුත් සමාගම් කොටස් – රුපියල් බිලියන 9.1යි.

එකතුව – රුපියල් බිලියන 2,194.1යි.

මේ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන වලින් පොත් අගය පදනම මත 92%ක්ද, වෙළඳපොළ වටිනාකම මත 87%ක්ද ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලයි. එම ආයෝජන සියල්ල මෙහිදී 2027-2038 අතර කල් පිරෙන බැඳුම්කර වල නැවත ආයෝජනය කෙරෙනවා.

මෙම පුනර්-ආයෝජනය අරමුදලේ ද්‍රවශීලතාවය කෙරෙහි බලපෑමක් නොකරන්නේ, එනම් සල්ලි ගෙවාගන්න බැරුව හිර වීමකට මග නොපාදන්නේ ඇයි?

මේ ලිපිය සමඟ පළ කෙරෙන වගුව දෙස බැලූ විට හේතුව පැහැදිලි වෙයි. සාමාන්‍යයෙන් සෑම වසරකදීම සේවක අර්ථසාධක අරමුදලට අලුතෙන් එකතු වන දායක මුදල් ප්‍රමාණය ආපසු ගෙවිය යුතු මුදල් ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා, මුදල් ආපසු ගෙවීම සඳහා දැනට අරමුදල සතු එක සතයකට හෝ අත තියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස පසුගිය 2022 වසරේදී රුපියල් බිලියන 163.0ක මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවද්දී දායක මුදල් ලෙස අලුතෙන් රුපියල් බිලියන 194.6ක් ලැබී තිබෙනවා. ඉහත තත්ත්වය තවත් කාලයකට වෙනස් වෙන්නේ නැහැ. ඒ ඇයි?

  1. ලංකාවේ ජනගහණය වර්ධනය වෙමින් තිබෙනවා. තවත් වසර 15-20ක් පමණ යන තුරු මෙම තත්ත්වය ආපසු හැරීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට නැහැ.
  2. ජනගහණය වර්ධනය වෙද්දී සාමාන්‍යයෙන් ඊට අනුපාතිකව ශ්‍රම බලකාය වර්ධනය වෙනවා. ජනගහණය වයස්ගත වීමේදී මෙම තත්ත්වයේ වෙනසක් විය හැකි වුවත් අනෙකුත් සාධක නිසා එම බලපෑම පහසුවෙන් නිශේධනය වෙනවා.
  3. රටේ ආර්ථිකය ක්‍රමයෙන් විධිමත් වෙද්දී ශ්‍රම බලකාය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් වන ශ්‍රමිකයින් ප්‍රමාණය වේගයෙන් ඉහළ යනවා. මෙය තවත් දශක කිහිපයක් යන තුරු වෙනස් නොවන ප්‍රවණතාවක්.
  4. අරමුදලේ සාමාජිකයින් ගණන නොවෙනස් වන සේ සැලකුවත්, ආර්ථිකය වර්ධනය වීම හා උද්ධමනය නිසා රටේ සාමාන්‍ය වැටුප් වසරින් වසර ඉහළ යද්දී ලැබෙන දායක මුදල් වසරින් වසර ඉහළ යනවා.

ඉහත හේතු නිසා අරමුදලට ලැබෙන දායක මුදල් හා ආපසු ගෙවිය යුතු මුදල් අතර පරතරය ඉක්මණින් දුරු වී යාමේ ඉඩක් පෙනෙන්න නැහැ.

කෙසේ වුවත්, යම් හෙයකින් ඉහත පරතරය දුරු වී ගියද ඒ හේතුවෙන් ද්‍රවශීලතා ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඊට හේතුව දැනට අරමුදල සතු මුදල් වෙනුවෙන් වාර්ෂිකව සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබීමයි. පසුගිය 2022 වසර තුළ මෙසේ ඉපැයූ ආදායම රුපියල් බිලියන 282ක්. මේ අනුව, 2022දී අරමුදලේ මුදල් අතිරික්තය රුපියල් බිලියන 314ක්.

අරමුදලේ බැඳුම්කර නැවත ආයෝජනය කිරීමෙන් පසුව එම මුදල් ආපසු ලැබෙන්නේ 2027-2038 අතර වුවත්, ඒ දක්වා සෑම වසරකදීම කූපන් පොලී ගෙවීම් ආපසු ලැබෙනවා. උදාහරණයක් ලෙස 2022 අවසානයේ අරමුදල සතු වූ බැඳුම්කර වල මුහුණත අගය රුපියල් බිලියන 3,174ක්. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙම මුදල් වෙනුවෙන් ඉදිරි දෙවසර තුළ වසරකට 12%ක පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ වසරකට කූපන් පොලී ලෙස රුපියල් බිලියන 381ක් ලැබෙනවා. ඉන් පසුව වසරකට රුපියල් බිලියන 286 බැගින්, එනම් 9%ක, කූපන් පොලී ආදායමක් දිගටම ලැබෙනවා.

මේ අනුව, බැඳුම්කර වල මුදල් ආපසු ලබා ගැනීම අපි පැත්තකින් තියමු.

  • සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන වලින් 8%ක් (පොත් අගය අනුව) හෝ 13%ක් (වෙළඳපොළ අගය අනුව) තිබෙන්නේ වෙනත් ආයෝජන වලයි. එම ආයෝජන කෙරෙහි හෝ එම ආයෝජන වල ප්‍රතිලාභ කෙරෙහි මෙහි බලපෑමක් නැහැ.
  • ඉදිරි වසර වලදී ලැබෙන දායක මුදල් හා ගෙවීම් අතර වෙනස කැමති පරිදි ආයෝජනය කළ හැකියි.
  • බැඳුම්කර වල කූපන් පොලී ලෙස ලැබෙන මුදල් අවශ්‍ය පරිදි ආයෝජනය කළ හැකියි. බැඳුම්කර ප්‍රතිශතය ආයෝජන වලින් 92%ක් බැවින් එයින් 12%ක් කියන්නේ අරමුදලේ ආයෝජන වලින් 11%කට සමාන මුදලක්.

මේ සියල්ලටම අමතරව, 2027-2038 අතර කල් පිරෙන බැඳුම්කර වල ආයෝජනය කරනවා කියන්නේ එම සල්ලි ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම එතෙක් කල් බලා සිටිය යුතු බව නෙමෙයි. කල් පිරීමේ කාලය කියා කියන්නේ මේ බැඳුම්කර එලෙසම තියාගෙන හිටියොත් මුදල් ආපසු ලැබෙන වසරයි. ඊට පෙර, ඕනෑම වෙලාවක මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළේ විකුණන්න පුළුවන්. එසේ විකුණා මුදල් ලබාගන්න පුළුවන්.

ලිපියේ අවසාන කොටසේදී වැඩි අවධානයක් යොමු කළේ සේවක අර්ථසාධක අරමුදල වෙත වුවත්, මෙම කරුණු අඩු වැඩි වශයෙන් ඕනෑම විශ්‍රාම වැටුප් අරමුදලකට වලංගුයි. එහෙත්, වාණිජ බැංකුවක හෝ වෙනත් ආයතනයක බැඳුම්කර මේ ආකාරයෙන් ප්‍රතිව්‍යුහගත කළේ නම් එවැනි ආයතන වලට කිසියම් ද්‍රවශීලතා අවදානමකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan