*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

(VIDEO):රනිල් ඉන්නේ ජන්ද මැඩවිල්ලකද?

කොළඹ LNW:සතිය උණුසුම් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සමෙන්. එම අර්ථ නිරුපණය ලැබෙන තෙක් පැවැත්වීමට නියමිත එළඹෙන ජනාධිපතිවරණය කල්දමන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ පාර්ශවය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් යලි යළිත් මත ගැටුම් ගොඩ නැගුණු අතර රංගේ බණ්ඩාරගෙන් එළියට ආපු එම උත්සාහය හැඟි හැංගි විවිධ වෙස් මුහුණුවලින් කරළියට පැමිණෙමින් තිබෙන බවටයි මේ ගැන මතුවූ සංවාදයන්හි අඩංගු වුණේ. කෙසේවෙතත් පෙත්සම ගොණු කළ වේගයට වඩා වැඩි වේගයකින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටින බවයි.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුවත් ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එසේ තිබියදී නැවත වරක් රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් ගොඩනැගීමට ආණ්ඩු පාර්ශවය උත්සහ ගන්නා බවට තමයි තවත් පැත්තකින් චෝදනා එල්ල වුණේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය වන බව එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා. කොහොමින් කොහොම හරි ජන්දය පස්සට ඇදගන්න හදන කුරුමානමේ නම් ඉවරයක් නැති බවත් වික්‍රමසිංහගේ සට කපට ඥානය හෙට කුමන උත්සහයක් ගනීද දන්නේ නැහැ යන්න තමයි මේ ගැන කතා වෙන බොහෝ දෙනා තවදුරටත් පවසමින් තිබෙන්නේ.

කොහොමත් මේ පෙත්සම අධිකරණ ක්‍රියාවලිය තුළම පරාජය කරන බවට තමයි විපක්ෂය අවධාරණය කරලා තියෙන්නේ. මේ වෙද්දී පෙත්සම විභාගයට ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලකුත් පත් කරල තියෙනවා.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත් තාමත් මේ ගැන සමාජයට තිබෙන්නේ යම් දෙගිඩියාවක්. IMF කොන්දේසි අනුව ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාධනීය පියවරක් තබා තිබෙන හෙයින් තවදුරටත් රට ගොඩ ගැනීමේ මෙහෙයුමට එක්වන ලෙස වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් දිගින් දිගටම විරුද්ධ පාර්ශව වෙතින් ඉල්ලා සිටිනවා. ණය ගෙවන්න තියෙන එක ටිකක් පස්සට ඇද ගන්න හැකි වුණ එක සුබ පණිවිඩයක් විදිහට සමාජයට ඒත්තු ගන්වන්න කැම්පේන් එකකුත් කරලා කිරිබතුත් කාලා රතිඤ්ඤාත් පත්තු කරලා පොඩි පහේ සොමියක් නෙවෙයි ගත්තේ.

ඒ සොමිය අස්සෙම තමන්ට භාර වුණ ටයිටැනික් නැව දැන් මේ වන විට තමන් වරායට රැගෙනවිත් තිබෙන බවත් හිටපු කපිතාන්වරු සියලු දෙනා පැන ගිය බවත් තමයි වික්‍රමසිංහ මහත්තා පවසන්නේ. දැන් කරන්න තියෙන්නේ ඒ නැව අලුතෙන් හදල ඊළඟ අවුරුදු 50 ට 100ට හදාගෙන යනවද නැත්නම් ඔහොම තියාගෙන නැව පැනල ගිය කපිතාන් කෙනෙකුට දෙනවද කියලත් තීරණය කරන්න ඕනේ කියල තමයි දැන් වික්‍රමසිංහ මහත්තයත් කැම්පේන් කරමින් ඉන්නේ.

මෙතන ප්‍රශ්නය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් නෙවෙයි 48 නිදහසින් පසු මේ රට පාලනය කළ කොයි කාගේත් වපසරියන්. ගොඩයන්නට තිබුණු අවස්ථා මඟහරවා ගනිමින් අවසානයේ ඩොලර් බිලියන 100ක පමණ ණය බරකුත් කරපින්නාගෙන සංවර්ධිත රාජ්‍යයක සිහින ඒ වපසරියන් තුළම ගොඩ දාන බව පැවසීමයි. අලුත් හැඩයකින් එන්න හැදුවට හිටපු ගැන්සියම නේද කියල සිහියට එද්දී සාමාන්‍ය ජනතාව වන අපි හිරවෙන්නේ උභතෝකෝටිකයක. ඒ නිසාම තමයි මේදා පාර සාමාන්‍ය මිනිහ හිතන විදිහත් වෙනස් කරගන්න ඕනේ කියන අදහස ගොඩනැගිලා තියෙන්නේ.

2028 වෙනකම් ණය නොගෙවා ඉන්න සහන කාලයක් ලැබුණ සුබ පණිවිඩය තවත් සුබ කරගන්න ඕනේ නම් වික්‍රමසිංහ මහත්තයා එක්ක නැව් නගින්න ඕනේ කියල තමයි ඒ පාර්ටියේ අය දිගින් දිගටම කියමින් ඉන්නේ. විපක්ෂය නම් කියන්නේ අලුත් කතා කියා කියා එන්නේ මේ පරණ සෙට් එකම තමයි කියල. වීදුරුව අලුත් වුණාට වයින් පරණ වයින්ම තමයි කියලයි ඔවුන් නම් පවසන්නේ. කොහොම වෙතත් දැන් නම් ජන්ද සටන හොඳ හැටි ඇවිලිලා තියෙන බව පේන්න තියෙනවා. බලය අත්පත්කරගැනීම ගැන වුණත් තදබල තක්සේරුවක් ආණ්ඩු පාර්ශවයටත් නැති බව තමයි පේන්න තියෙන්නේ. මාතරදී පැවැත්වුණු එක්ව ජයගමු රැළිය වුණත් අපේක්ෂා කළ මට්ටමේ වෙනසක් නොවුණු බවට තමයි කසු කුසුව ගියේ. කොයි හැටි වෙතත් ගෝඨා ගෝ හෝම් අරගලයෙන් පස්සේ සමාජ දේශපාලන හැසිරීම වෙනද වගේ කවුන්ට් කරගන්න බැරි අවිනිශ්චිත තැනකට ගිහින් තියෙන බව නම් පෙනෙන්න තියෙනවා. ඒ නිසා කොයි කාටත් දන්නා දහම් ගැට කෙළ කෝටියක් ගහන්න වෙන හැඩක් තියෙන්නේ. ඒ ඇතුළේ ඇතැමුන්ගේ එදිරිවාදිකම්, අමනාපකම්, ප්‍රතික්ෂේප කිරීම් වුණත් වෙනස් වෙන්නත් බැරි නැහැ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan