අශෝක ජයතුංග ජූලි 14 වොෂින්ටන් LNW :
🍎තානාපති මහින්දගේ මැදිහත්වීම ඵලදරයි…!
පසුගිය බදාදා රාත්‍රියේ ධවල මන්දිරයේ නිල වෙබ් අඩවියේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් පළකල ලිපියක වැදගත් සිදුවීමක් වාර්තා විය. එම ලිපියේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම ‘අරුණ කුමාර දිසානායක’ ලෙස වැරදි ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.
රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන්ට අනුව, රාජ්‍ය නායකයෙකුගේ නිවැරදි නම සඳහන් කිරීම මූලික ගෞරවනීය අංගයක් ලෙස සැලකෙතත් ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල සන්නිවේදනයේ ජනාධිපතිවරයාගේ නම වැරදි ලෙස සටහන් වී තිබුණි.
මෙම දෝෂය මුලින්ම හඳුනාගනු ලැබුවේ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසිනි. වැරැද්ද දුටු විගස, තානාපති සමරසිංහ මහතා වහාම ධවල මන්දිරය හා සම්බන්ධ වී, මෙවැනි දෝෂයක් බරපතල රාජ්‍ය තාන්ත්‍රික වැරැද්දක් මෙන්ම රාජ්‍ය නායකයෙකුට සිදුවිය හැකි අපහාසයක් බව අවධාරණය කළේය.
වැදගත් සිදුවීම වන්නේ ධවල මන්දිර නිලධාරීන් නිහතමානීව වැරැද්ද පිළිගෙන ක්ෂණිකව ප්‍රතිචාර දැක්වා ප්‍රමාදයකින් තොරව එය නිවැරදි කිරීමය. ජනාධිපතිවරයාගේ නිවැරදි නම සඳහන් කරමින් එම ලිපිය ධවල මන්දිර වෙබ් අඩවියේ නැවත ප්‍රකාශයට පත් කරන ලද අතර, නිල ලෙස නිවැරදි කරන ලද මුල් පිටපතක් තානාපති මහින්ද සමරසිංහ මහතාටද ලබා දෙන ලදී.
මෙම සිදුවීම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයේ නිරවද්‍යතාවයේ සහ ගෞරවයේ වැදගත්කම අවධාරණය කරන අතර, ක්ෂණික නිවැරදි කිරීම ධවල මන්දිරයේ රාජ්‍ය තාන්ත්‍රික විනීතභාවය පවත්වාගෙන යාමේ කැපවීම පිළිබිඹු කරයි.
මෙවැනි සිද්ධීන් සුළු කොට නොතකා මැදිහත්වී තම රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් හරහා ක්‍රියාත්මක වූ තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මැදිහත්වීම සෙසු තානාපතීන්ට ද ආදර්ශයක් බව බොහෝ දෙනාගේ මතය වේ..
