ජූලි 15, (LNW) කොළඹ : විෂ්ණුවාසු අපූරු රචකයෙකි. ලෝක රස්තියාදුකාරයෙක් කියන වචනය ඔහුට හරියටම ගැලපෙන්නේය. ඔහු රස්තියාදුවේ නොයන තැනක් නැත.යනවාටත් වඩා හපන් ඔහු යන තැන්වල නොසොයන දෙයක් නැතිකමය.හැමදේම සොයා රහට ලියා අපට පිළිගන්වන විෂ්ණු වාසු කාවාඩි ගැන ලියූ සටහනකි මේ ( නිශ්මං රණසිංහ)
ලෝකයේ දේව කථා ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිවයනවා. වර්ථමානයේ අප වන්දනාමාන කරන දේව සභාවේ බලවත්ම චරිතය ශිව දෙවියන් ලෙස නිර්වචනය වෙනවා. ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී. ශිව – පාර්වතීට දාව දරුවන් දෙදෙනෙකු උපදිනවා. එක් අයෙක් ගණදෙවියෝ. අනිත් එක්කෙනා කතරගම දෙවියෝ. කතරගම දෙවියන්ට මුරුගන්, ස්කන්ධා, කාර්තිකේයා, සුබ්‍රමනියා, ආත්මභවා ආදී වශයෙන් නම් 108 ක් තියෙනවා. ඒ අතරේ වඩාත් ප්‍රකට නාමය මුරුගන් ලෙස හැඳින්වීම නිවැරදියි.
ශිව – පාර්වතීට දෙපලට දාව උපදින මේ දරු දෙදෙනා අතරින් ඥාණයට අධිපතියා ලෙස සැළකෙන්නේ ගණදෙවියෝ. මුරුගන් ප්‍රසිද්ධ වෙන්නේ රණශූරයෙකු ලෙස. මුරුගන්ට මුහුණු හයක් තියෙනවා. අත් දොළහක්. මේ මුහුණු හයෙන්, මුරුගන්ගේ සුවිශේෂ කල්‍යාණ ගුණදම් හයක් විස්තර වෙනවා. මුරුගන් දෙවියන් වෙනුවෙන් කැපවුණු පුද පූජා, කැපකිරීම්, උත්සව ආදිය වසර පුරාම පැවැත්වෙනවා. ඒ අතරේ ප්‍රධානතම උත්සවයක් ලෙස තෛපූසම් උත්සවය මුලට එනවා.
ද්‍රවිඩ කැලන්ඩරයට අනුව, ජනවාරි පහලොස්වැනිදායින් ආරම්භව පෙබරවාරි පහලොස් වැනිදායින් අවසන් වන අවුරුද්දේ පළමු මාසය තෛ මාසය ලෙස හැඳින්වෙනවා. තෛ මාසයේ යෙදෙන පුන්සඳ පායන පසළොස්වක පෝය දිනය මුරුගන් වෙනුවෙන් කැපවෙනවා. ස්කන්ධ පුරාණයේ ලියැවී ඇති ආකාරයට, මුරුගන් විසින් සුරපද්මන් නැමැති අසුරයා ව පැරදවීමේ නිමිත්තයි තෛපූසම් උත්සවය දා සමරන්නේ. සිය මව් පාර්වතී දේවිය විසින් ලබාදුන් වේල් නැමැති හෙල්ලයයි අසුරයා මර්ධනයට යොදාගන්නේ. ඒ නිසාම තෛපූසම් උත්සවය අරභයා පවත්වන පුද පූජා සඳහා සංකේතයක් වශයෙන් හෙල්ලය යොදා ගැනෙනවා.
මුරුගන් වෙනුවෙන් කැපවෙන පුද පූජා පැවැත්වීමේදී කාවාඩියටත් සුවිශේෂ ස්ථානයක් හිමිවෙනවා. කාවාඩිය කියන ද්‍රවිඩ වචනය බර ලෙස නිර්වචනය වෙනවා. නමුත් මුරුගන් වෙනුවෙන් කර තබාගන්නා කාවාඩියේ බර, තමන්ගේ සිතේ පවතින දුක් කම්කටොළු, රෝග පීඩා, මානසික ආතතීන් වැනි අභ්‍යන්තර හෝ ආධ්‍යාත්මික ව්‍යාදීන් සංකේතවත් කරනවා. කාවාඩියක් උරහිස මත සමබරව දරා, කිසියම් නිශ්චිත දුරක් ගමන් කර, මුරුගන් දේව ප්‍රතිමාව ඉදිරියේ එය තැන්පත් කර ආශිර්වාද අයැද සිටිනවා.
කාවාඩි වන්දනාකරුවෙක් තෛපුසම් උත්සවයට දින 48 කට පෙර බ්‍රහ්මචාරී ජීවිතයකට අවතීර්ණ වෙනවා. මේ කාලය තුල බැතිමතුන් සකල විධ මානසික හා කායික අපවිත්‍රතා වලින් මිදෙනවා. ඔවුන් දිනකට එක් නිර්මාංශ ආහාර වේලක් පමණක් අනුභව කරන අතර සුරාපානයෙන් සහ මෛතුන්‍ය ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන්ම මිදෙනවා. දැඩි පවිත්‍රතා සීලයක පිහිටන බැතිමතුන් නිරන්තරයෙන්ම මුරුගන් ගේ ආශිර්වාදය පතා යාඥා කරනවා. තෛපුසමට පැය 24කට පෙර ඔවුන් සම්පූර්ණ නිරාහාර වෙන්න ඕනේ.
කාවාඩි වර්ග හතක් තියෙනවා, පාල් කවාඩි. තොල් කාවාඩි, අලවු කාවාඩි, කූඩම් මුල්ලේ කාවාඩි, මයිල් කාවාඩි, වෙට්ටේ කාවාඩි සහ කරුඹු කාවාඩි වශයෙන්. පෙරහැර සමය තුළ අපට බහුලවම දකින්නට ලැබෙන ජනප්‍රියම කාවඩි වර්ගය වන්නේ පාල් කාවාඩියයි. නැවුම් එළකිරි වලින් කළ ගෙඩියක් පුරවා හිස මත තබාගෙන මුරුගන් සිද්ධස්ථානය වෙත පෙරහරින් යනවා. දේවාලය තුලදී ඒ කිරි දෙවියන්ට පූජා කරනවා.
නැමුණු අර්ධ වෘත්තාකාර ලී කැබලි දෙකකින් සාදා මල් හෝ මොනර පිහාටු වලින් සැරසූ කාවාඩිය තොල් කාවාඩිය ලෙස හැඳින්වෙනවා. මුරුගන් දෙවියන්ගේ වාහනය වන මොණරා සංකේතවත් කරන්නටයි මේ කාවාඩිය නිමවන්නට මොණර පිහාටු යොදා ගන්නේ. මේ කාවාඩිය බරින් අඩු නිසා දරුවන් සහ කාන්තාවන් මේ කාවාඩිය ඔසවා යන්නට ප්‍රිය කරනවා.
පාර්වතී දේවිය තම පුත් මුරුගන්ට, සුරපද්මන් නැමැති අසුරයා ව පැරදවීම සඳහා ආයුධයක් ලෙස ප්‍රධානය කරන්නේ වේල් නැමැත් හෙල්ලයයි. සාමාන්‍යයෙන් තඹ හෝ පිත්තල වලින් හැදූ කුඩා හෙල්ලයකින් දිව, තොල් හෝ කම්මුල විදීම අලවු කාවාඩි ලෙස හැඳින් වෙනවා. සාමාන්‍යයෙන් මේ වර්ගයේ කාවාඩි දකින්නට හැකිවෙන්නේ වේල් කරත්තයක් සහිත පෙරහැර අවස්ථාවන්හිදී පමණයි.
පිටේ කොකු ගහලා, කණුවක රඳවලා පෙරහැරවල යනවා ඔබ අනන්තවත් දැකලා ඇති. මෙයත් කාවඩි අංගයක්. ඒ චාරිත්‍රය හඳුන්වන්නේ කූඩම් මුල්ලෙ කාවාඩි නමින්.
මොනර පිහාටු වලින් පමණක් වර්ණවත් කළ කාවාඩිය මයිල් කාවාඩි ලෙස හැඳින්වෙනවා. ද්‍රවිඩ භාෂාවෙන් මයිල් කියන්නේ මොණරාට. වෙට්ට මුල්ලේ කාවාඩියත් සුලභයි. බැතිමතුන්ගේ පිට කොකුවලින් සිදුරු කරනවා. පසුව ඒවාට ලණු සවි කරනවා. මේ ලණු වෙනත් පුද්ගලයෙකු විසින් ඇදගෙන යනවා. ඇතැම් විට මේ ලණු රථයකට සවි කිරීමත් කරනවා.
විවාහවී බොහෝ කල් ගතවීත් දරුඵල නොමැති අය, මුරුගන් දෙවියන්ට භාර වෙනවා තම ප්‍රාර්ථනය ඉෂ්ට වූ දිනෙක කාවාඩියක් කරේ තබාගන්නවා කියා. යාපනය අර්ධද්වීපයේ තොන්ඩමනාරු හි සෙල්ව සනිධි මුරුගන් කෝවිල මේ සඳහාම කැපවූ කෝවිලක් ලෙස හැඳින්වීම නිවැරදියි. දරුඵල ලැබූ දෙමවුපියන් ඒ සඳහා එක් අතකින් උක් දඬුද අනිත් අතින් දරුවාද වඩාගෙනතම භක්තිය දෙවියන්ට ප්‍රකාශ කිරීම කරඹු කාවාඩි ලෙස සැලකෙනවා.
ඉතා සරළව කියනවා නම් තමන් විඳිමින් සිටින වේදනාවන් දෙවියන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමයි කාවාඩියෙන් සංකේතවත් වෙන්නේ. තම තමන්ගේ ඇදහිල්ලේ සහ කැපවීමේ පමණට තමන් දරාගන්නා කාවාඩිය තීරණය වෙනවා.
වර්ථමාන ශ්‍රී ලංකාවේ පංසල්, දේවාල සහ කෝවිල් මුල්කරගෙන පැවැත්වෙන පෙරහැර උත්සව වලදී කාවාඩිය නැතිවම බැරි අංගයක් වෙලා. තෛපූසම් උත්සවය, නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය ආදී හින්දු භක්තිකයින් වෙනුවෙන්ම කැපවූ පුද පූජා අවස්ථාවන්ට සහභාගී වෙන අය, ඒ වෙනුවෙන් කැපවීම් කළ යුතු සියළු කැපවීම් කරනවා. එහෙත් රට වට, රට මැද විවිධ පෙරහැර සරසන කාවාඩිකරුවන්ට එය හුදු නර්ථනාංගයක් ම පමණයි.
විෂ්ණු වාසු
Vishnu Väsu