සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු අමාත්ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා සැප්තැම්බර් මස 07 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියම කළේය.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත් අතර වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 07 වනදා දක්වා කල්තැබීමටයි විනිසුරුවරයා නියම කළේ.
2015 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී, හුණුපිටියේ පිහිටි පොහොර සමාගමේ ගබඩා පරිශ්රයේ කාපට් ඇතිරීමේ කොන්ත්රාත්තුව ලබාගත් පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්රසම්පාදන කටයුතු සිදුකිරීම තුළින් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත. අල්ලස් කොමිසම විසින් මෙසේ කුමාර ජයකොඩි හිටපු අමාත්යවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත්තේ අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දුෂණය’ නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙනි.
මෙම සිද්ධියට අදාළව 2016 වසරේදී ලංකා පොහොර සමාගම විසින් කරන ලද විනය පරීක්ෂණයකදී කුමාර ජයකොඩි වැරදිකරු වශයෙන් තීරණය කර ඔහුව තනතුරින් පහත හෙළා තිබූ අතර පසුව ඔහු එම සමාගමේ සේවයෙන් ඉවත්ව තිබිණි.
ඔහු වත්මන් රජයේ බලශක්ති අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හරහා විමර්ශනයක් ද ආරම්භ වූ පසු ඔහු එම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේය.


