සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ රජය විසින් හඳුන්වා දුන් ඩිජිටල් පෞද්ගලිකත්ව නීතියේ ඇතැම් විධිවිධාන අභියෝගයට ලක් කරමින් ප්රධාන මාධ්ය ආයතන ඇතුළු ප්රවෘත්ති ප්රකාශකයන් 21 දෙනකු ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පිරිසට ඉන්දියාවේ ප්රකෝටිපතියන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි සතු මාධ්ය ආයතන ද ඇතුළත්වන අතර අම්බානිගේ Network18 සහ අදානිගේ NDTV ඇතුළු මාධ්ය ආයතන මෙම නීතිය සම්බන්ධයෙන් මතු කර ඇති විරෝධතා අතර ප්රධාන වන්නේ ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයට ඇති විය හැකි බලපෑමයි.
ඩිජිටල් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් මෙම නීතිය යටතේ, මාධ්යවේදීන්ට තම විමර්ශනවලට අදාළ පුද්ගලයන්ගෙන් පූර්ව අනුමැතිය ලබාගැනීමට සිදුවිය හැකි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. එමගින් විමර්ශනයට ලක්වන පුද්ගලයන්ට සාක්ෂි විනාශ කිරීමට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාව සැලසිය හැකි බව ද ඔවුහු තර්ක කරති.
එමෙන්ම, පෞද්ගලික දත්ත මකා දමන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ හැකියාව සහ රජයට තොරතුරු ඉල්ලා සිටීමට ලබාදී ඇති බලතල හේතුවෙන් පළ කර ඇති පුවත් ඉවත් කිරීමට සිදුවිය හැකි බවත්, මාධ්යවේදීන්ගේ රහස්ය තොරතුරු මූලාශ්ර අනාවරණය වීමේ අවදානමක් ඇති බවත් පෙත්සම්කරුවෝ අවධාරණය කරති.
ඉන්දීය ඩිජිටල් ප්රවෘත්ති ප්රකාශකයන්ගේ සංගමය (DNPA) ඇතුළු මෙම මාධ්ය කණ්ඩායම් ඉල්ලා සිටින්නේ නීතියේ මතභේදයට තුඩු දී ඇති ප්රධාන විධිවිධාන අවලංගු කරන ලෙසයි.
මෙම විධිවිධාන බොහොමයක් 2027 මැයි මාසයේ සිට ක්රියාත්මක වීමට නියමිතයවන අතර ඉන්දීය රජය මාධ්ය නිදහසට ගරු කරන බව පවසන අතර, නව නීතිය සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව රජයේ ස්ථාවරය ද සැලකිල්ලට ගත යුතු බවයි.

