*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

නිදහස් ලෝකයක් පිණිස සිහින දකින්නී : ලොලිටා ….

ස්නේහයම මිස අන් කිසිවක් නොපැතූ, මිතුරු යෞවනයෙකු ගේ හිස මත දිය දහරා වස්සමින්, ගුවන් නැවක් බඳුව පාවී යමින්, නිදහස් සමුදුරු දිය මත කඩා පිනූ දැවැන්ත ඔර්කාවෙකු එකල කුඩා අපගේ මතකයන් තුළ නිදහස පිළිබඳ යම් සිහිවටනයක් ඉතිරිකර තැබී ය. මයිකල් ජැක්සන් හඬ දායකත්වය ලබාදුන්, Free Willy නම් ජනකාන්ත සිනමා සිත්තමේ තේමා ගීය සැරසූ කාල ධවල වර්ණ සංකලනයෙන් සුසැදි දැවැන්තයා වූයේ කීකෝ නමැති ලෝ ප්‍රකට ඔර්කා තල්මසා ය.

1979 වසරේ දී, අයිස්ලන්තය අසල අත්ලාන්තික් සාගරයෙන් අල්ලා ගනු ලැබූ පිරිමි ඔර්කා සත්වයා පළමුව අයිස්ලන්ත මින්මැදුරු තටාකයකටත්, පසුව නයගරා ඇල්ල ආසන්නයෙන් වූ කැනේඩියානු මින්මැඳුරකටත් ආදී ලෙස වරින් වර විකුණා දැමුණු අතර, අවසානයේ දී මෙක්සිකෝ සිටි ජල උද්‍යානයේ සිරගත කෙරී, වන සතුන් ලවා මානව චර්යාවන් නිරූපණය කරවීමෙන් තෘප්තිමත් වන විපරීත ආත්මයන් සුවපත් කරවීම සඳහා වසර ගණනාවක් දුක්ඛිත වහල් මෙහෙවරේ යෙදවිණි. ටොන් හයක් බරැති, අඩි තිස්පහක් දිගැති තල්මස් දැවැන්තයා, බොක්ස් ඔෆිස් වාර්තා බිඳලූ, Warner Brothers නිෂ්පාදනය විසින් අවුලන ලද ජන අරගලයේ ප්‍රතිපලයක් ලෙස ඩොලර් මිලියන විස්සකට අධික පිරිවැයක් දැරූ මෙහෙයුමක් අනුව 1998 වසරේ දී ගුවන් මඟින් නැවත අයිස්ලන්තය වෙත රැගෙන යන ගොස් මුදා හරින ලද නමුත්, සිව් වසරක පුනරුත්ථාපන කාලය ගෙවා, ඉන් වසරකට පසුව නිව්මෝනියා තත්වයක් උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ ය.

ගෘහස්ථ ඔර්කාවන් පිළිබඳ කතිකාවේ තීරණාත්මක සලකුණක් වූ කීකෝ පිළිබඳ අනුවේදනීය කතාන්දරය, වසර පනස් තුනක් ෆ්ලොරිඩා හි Miami Seaquarium සමුද්‍ර ජීවී තටාකයේ හුදෙකලාව දිවි ගෙවන ලොලීටා නමින් යළි ඇරඹෙයි. ලොව වඩාත් දුක්ඛිත සිරකරුවෙකු ලෙස සැලකෙන ලොලිටා, යළි දියඹට මුදා හැරීම සඳහා වූ සාකච්ඡා වට කිහිපයක්ම සාර්ථක අවසන් කළ බව සී ඇක්වේරියම් නව කළමනාකාරිත්වය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. සංදර්ශන නාමය වූ ලොලිටා ලෙස නම් කිරීමට මත්තෙන්, ටොකිටේ ලෙස හඳුන්වන ලද ඔර්කා ධේනුව නිදහස් කරගැනීම සඳහා දශක ගණනක් සටන් වැදුණු පැසිෆික් වෙරළබද ස්වදේශිකයන්ට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දල්වන ප්‍රවෘත්තිය දන්වමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ලොලිටා නිදහස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් “Friends of Lolita” නමැති සංවිධානය සමඟ විධිමත් සහ විශ්වාසනීය ගිවිසුමකට එළඹි බවයි.

1970 දී, වොෂින්ටන් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු තීරයක පිහිටි විඩ්බේ දූපත් ආසන්නයේ දී සිදුකෙරුණු අමානුෂික ඔර්කා දඩයමක දී, දිග හෙලි සහ ගිනි අවි රැගත් පිරිසක් විසින් ඉතා කුඩා පැටවුන් සහ මවුවරුන්ගෙන් සමන්විත ඔර්කා රෑනක් වටකරගන්නා ලද අතර, එම මෙහෙයුමේදී වැඩුණු සතුන් සහ පැටවුන් දොලොස්දෙනෙකු පමණ මරාදමා, තවත් පනස්දෙනෙකු පමණ පණපිටින් අල්ලාගන්නා ලදී. ඉන් එක් පැටවෙක් එවකට වයස අවුරුදු හතරක් පමණ වූ ටොකිටේ ය. සාලිෂ් නමින් හඳුවනු ලබන එම මුහුදු තීරයේ වෙසෙන ස්වදේශිකයන් ඔර්කාවුන් සිය පාරම්පරික උරුමයක් සේ සලකනු ලබන හෙයින්, ටොකිටේ මුදා ගැනීම සඳහා වූ සටන ඇරඹුනේ එතැන් පටන් ය.

සර්කස් තාරකාවක් ලෙස ලොලිටා යැයි නම් තබා, ගතවූ වසර පනහකට අධික කාලය පුරා දැඩි වෙහෙසකර සහ පීඩාකාරී සංදර්ශන ක්‍රියාවලියක බලහත්කාරයෙන් යොදවන ලද ඔර්කා ධේනුව අඩි අසූවක් දිගින් හා අඩි තිස්පහක් පළලැති කරදිය තටාකයක සිරකර තැබූ අතර, එය ලොව පවතින කුඩාම තල්මස් තටාකය ලෙස ද සැලකෙයි. අඩි විස්සක් පමණ දිගැති යෝධ ශරීරයට සාපේක්ෂව, අඩි විස්සක් ගැඹුරැති තටාකය කුඩා දිය බඳුනක් මෙන් වූයෙන්, ශාරීරිකව මෙන්ම මානසිකවද පිරිහීමට පත් සත්වයාට එය නරකාදි සිරගෙයක් වූයේ ය.

Miami Seaquarium තටාකයේ ගෙවූ පළමු වසර දහය හියුගෝ නමැති තවත් පිරිමි ඔර්කාවෙකු සමඟ බෙදාගත් නමුත්, දැඩි මානසික ආතතියකින් පෙලුණු හියුගෝ සිය වහල් දිවිය කෙරෙහි දැක්වූ ආවේගශීලී ප්‍රතිරෝධය ශෝකජනක දිවිනසාගැනීමකින් කෙළවර කරගත්තේ ය. කිසිදා පහව නොගිය ආතතිය හේතුවෙන් තටාකයේ බඳ මත නොනවත්වාම හිස වද්දාගැනීමෙන් සිදුවූ මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් හියුගෝ ගේ මරණයට හේතුව වශයෙන් සොයා ගැනිණි. එක්දහස් නමසිය අසූව වසරේ දී සිදුවූ එම මරණයෙන් පසු ගතවූ වසර හතලිස් තුන පුරා තම වර්ගයාගේ කිසිවෙකුත් ඇස නොගැටුණු ලොලිටා සදාකාලිකව හුදෙකලා වූවාය.

2021 වසරේ දී, The Dolphin Company විසින් Miami Seaquarium සමුද්‍ර ජීවී සංදර්ශනාගාරය මිලදී ගත් අතර, එක්සත් ජනපද බලධාරීන් ඔවුන් වෙත ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වූයේ ලොලිටා සේවයෙන් විශ්‍රාම ගැන්විය යුතු බව ය. USDA ආයතනය විසින් සිදුකළ පරීක්ෂනයකින් හෙළිවූ කරුණු අනුව, දැඩි සේ පිරිහුණු කායික හා මානසික සෞඛ්‍යයෙන් ලොලිටා පීඩා විඳි අතර, ඈ විසින් දිනකට උපයා දුන් අති විශාල ධනස්කන්දය පවා නොතකා හරිමින් අපිරිසිදු සහ කල් ඉකුත්වූ ආහාර ඈට ලබා දීමට මියාමි බලධාරීන් කටයුතු කර තිබිණි. ඒ අනුව යම් නම්‍යශීලී පියවරක් අනුගමනය කල නව පාලනාධිකාරිය විසින් ලොලිටා, පසුගිය 2022 වසරේ පටන් Seaquarium සංදර්ශනයන්ගෙන් විශ්‍රාම ගන්වන ලදී.

ලොලිටා, තම විශ්‍රාම දිවිය ආරම්භයේ පටන්ම තරමක සෞඛ්‍යසම්පන්න වර්ධනයක් පෙන්වූ අතර, ඇගේ රැකවරණය සුදුසුකම් ලත් සමුද්‍ර ජීවී වෛද්‍ය කණ්ඩායමක් විසින් භාරගනු ලැබිණි. නිදහස් ජීවිතයක් උදෙසා සපුරාලිය යුතු සුදුසුකම් ක්‍රමිකව පෙන්නුම් කළ ඔර්කා ධේනුව යළි නිදහස් සාගරයට මුදා හැරීමට තමන් සූදානම් බව Seaquarium නව හිමිකරුවන් විසින් පසුගිය මාර්තු මාසයේ දී නිවේදනය කළේ ඒ අනුව ය.

“නිදහස් ලෝකයක් පිණිස වූ සිහින වලින් ලොලිටා ගේ සිතිවිලි අතර පිරී ඇති බව මා හොඳින්ම දන්නවා. අන් අයගේ උපදෙස් හෝ මතවාදයන් කිසිසේත්ම මට පලක් නැහැ. මේ අවස්ථාව එනතුරු ඈ බොහෝ කල් මඟ බලා සිටියා. ඊට සහය දැක්වීම මගේ ජීවිතයේ දැන් පවතින එකම අධිෂ්ඨානයයි. “

ප්‍රකට Indianapolis Colts ඇමරිකානු පාපන්දු කණ්ඩායමේ හිමිකරු ජිම් ඉර්සේ එසේ පවසා සිටියි. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ, ඒ සඳහා දරන්නට සිදුවන පිරිවැය අති මහත්, බොහෝ විට එය “අංක අටක් පමණ” වූ විශාල මුදලක් වීමට බොහෝ ඉඩකඩ ඇති බව ය. කෙසේ වුවත් මාස 18 ත් 24 ත් අතර වූ කාලයක් ගතවන දීර්ඝ කාලයක් තුළ ස්වභාවික ලෝකයට යළි අවතීර්ණ වීම සඳහා අප්‍රමාණ වූ අභ්‍යාසයන් සහ ව්‍යායාමයන් හට මුහුණ දීමට ලොලිටාට සිදුවනු ඇති. සිය පරම්පරාගත හිතෛශියාගේ ගේ නිදහස පිණිස දශක පහක් පුරා අරගලයේ නියුතු ස්වදේශික ජන කණ්ඩායම් පවා ලොලිටා යළි තම පවුල සමඟ එක්වනු ඇතැයි විශ්වාසය පළ නොකරන නමුත්, සුවිශාල සාගර අභය භූමියක තවත් ඔර්කා සාමාජික පිරිසක් සමඟ ඈට ඉදිරි ජීවිත කාලය ගත කිරීමේ හැකියාව දැන් පවතින්නේ ප්‍රායෝගික යථාර්තයට සමීපව ය.

ලොලිටා කේන්ද්‍ර වූ ඔර්කාවන් පිළිබඳ කතාන්දරය, වඩා සිත්ගන්නාසුළු ඉමකට රැගෙන යමින් මේ දීර්ඝ සටහන එහි සමාප්තියට ක්‍රමයෙන් ආසන්න වෙයි. ලොව වඳවී යාමේ තර්ජනයට මුහුණ දී හිඳින මේ අතිශය සුන්දර වූත්, බුද්ධිමත් වූත් සමුද්‍ර ක්ෂීරපායී සත්වයින් රැකගැනීම සඳහා පර්යේෂණ පවත්වන කණ්ඩායම් විසින්, දකුණුදිග පැසිෆික් සාගරයේ සාලිෂ් මුහුදු තීරයේ වෙසෙන ඔර්කා ප්‍රජාව වර්ගීකරණය කර ඇත්තේ L-pod යනුවෙනි. 1970 දී සිදුකෙරුණු පැහැරගැනීමෙන් ගැලවී ගත් ලොලිටා ගේ මව යැයි සැලකෙන L-25, නැතහොත් Ocean Sun නමින් හඳුන්වනු ලබන අනූ වියැති ඔර්කා ධේනුව තවමත් එහි නිදහසේ දිවි ගෙවන්නී ය. ඔර්කාවෙකුට හිමි පරමායුෂ කරා එළඹී හිඳින වයෝවෘද්ධ මිත්තණිය, පසුගිය වර්ෂයේ දී ද සමුද්‍ර පර්යේෂක කණ්ඩායම් වල නෙත ගැටී තිබේ. ලොලිටා යළි තම නෑ සියන් සමඟ එක්වීම තර්ජනයට ලක්වී හිඳින සත්ව ප්‍රජාවක ගේ සෞඛ්‍යයට ආගන්තුක තර්ජනයක් ලෙස බැහැර නොකළ හැකි බැවින් මේ දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන ඉදිරි මාස කිහිපය නිමක් නැති බලපත්‍ර සහ නීත්‍යානුකූල ලියකියවිලි හා බැඳී පවතිනු ඇති.

තමා සම්බන්ධ වූ ලෝක කතිකාවත පිළිබඳ කිසිත් නොදත් ලොලිටා, මේ මොහොතේත් කෘතිම කරදිය කඩිත්තක, අලසව පාවෙමින් හිඳින්නී ය. ඇගේ එක් ඇසක ආබාධයකි. දැඩි සූර්ය තාපයෙන් හානියට පත් දැවැන්ත ශරීරය පුරා ඉරි තැළුම් සලකුණු ය. වසර පනස් හතක දිගු ජීවිත කාලය පුරා දඩයමට හුරු නොකෙරූ ඇගේ තියුණු දත් හානියට පත්වී තිබේ.

තටාකය පත්ලෙන් මන්ද්‍රර ස්වරයෙන් නැඟෙන ශෝකී ගායනාවක් ඇසෙන්නට හැකි වුවත් ඒ සඳහා අප සාමාන්‍ය තත්වයන් ඉක්මවූ ඉවසිලිමත් බවකින් සවන් දී සිටිය යුතු ය. සිඳු වෙරළෙන් ඇහිඳ ගත් ශංඛයක් සවනත තැබූවිට නැඟෙන සමුද්‍ර ගීතය ඔබට මතකද. එය, මියාමි හි, දුක්ඛිත තටාකයෙන් නැඟෙන ශෝකී ගී රාවය නොවන්නට ඉඩ ඇති ද ?

~ හිරාන් ද සේරම්

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan