හිටපු ඇමතිවරුන් වන මහින්දානන්දට සහ නලින්ට තවත් නඩුවක්! 

0
361

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා,කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම තුළින් රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සදහන් කරමින් මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන් බව වාර්තා වේ.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණ අතර, මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ චෝදනා භාරදීම සිදුව ඇත. ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළ බව පැවසේ. ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇත.

චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවේට්ටි සහ සංජේ රාජරත්නම් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා වලට සමාන චෝදනා වලට සිය සේවා දායකයින් වෙනත් අධිකරණයකින් වරදකරු වී දඩුවම් නියම වී සිටින බව සඳහන් කර ඇත.

එබැවින් ඊට සමාන චෝදනාවලට මෙම විත්තිකරුවන්ට එරෙහිව යළි නිතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවත්, එබැවින් මෙම චෝදනාව නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන් බව සඳහන් වේ.

එකම චෝදනාවක් සම්බන්ධයෙන් දෙවතාවක් නඩු පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරු සඳහන් කර සිටි අතර, තුන්වන විත්තිකාර නන්ද මල්ලවාරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මේ හා සමාන තවත් නඩුවක සාක්ෂිකකරුවකු වශයෙන් සාක්ෂි ලබාදී තිබෙන බව සඳහන් කළ බව පැවසේ.

එසේ තිබියදී ඔහු මෙම නඩුවේ විත්තිකරුවකු කිරීම නීතියට පටහැනි බවත් ඒ අනුව මෙම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා ඇත.

එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම නඩුවට අදාළ සිද්ධමය කරුණු එකක් බව විත්තිය විසින් සඳහන් කල ද මෙම නඩුව තුළින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා වෙනස් බව කියා සිටි බව සඳහන් වේ.. විත්ති විසින් ඉදිරිපත් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් පසුව තමන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය හමුවේ පැහැදිලි කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසීය.

ඒ අනුව මෙම මූලික විරෝධතා සැප්තැම්බර් මස 4 වනදා ඉදිරිපත් කරන ලෙසත්ග විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත. කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට මෙම නඩුවට අදාළව ඇප නියම කළද ඔවුන් වෙනත් නඩුවකට සිර දඬුවම් ලබා සිටින බැවින් ඔවුන්ව මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළ බව පැවසේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එනම් 2014 වසරේ ඔක්තෝබර් මස 02 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 14 වනදා අතර කාලසීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කාර්යාල අතර බෙදාදීම සඳහා කැරම්බෝඩ් 14,000 සහ දාම්බෝඩ් 14,000 ක් මිලදී ගැනීම හරහා සතොස ආයතනයට අයත් රුපියල් 39,061,290.71 ක් මුදල් සාවද්‍ය පරිහරණය, ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ මෙම විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ,

මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස ලේඛන 11 ක් නම් කර තිබෙන අතර, සාක්ෂිකරුවන් සංඛ්‍යාව 42ක් බව පැවසේ.