කණ්ඩායම වෙනස් වෙන්න ඕනි කියා කියන කණ්ඩම්බිගේ කතාවට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ තවත් උදාහරණයක් දෙති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 31, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු අපූරු කතාවක් කීවේය.ඒ ඉන්දියාට එරෙහිව දෙවන තරගය පරාජය වීමෙන් අනතුරුවය.අලුත් පිරිසක් ගැන සිතීමේ උවමනාව එහි තදින්ම බැදී තිබිණ.මැද පෙළක් නැති තරමට වැඩේ අවුල් බව ඊයේ නැවතත් ඔප්පු කර පෙන් වූවේය.එසේම අලුත් පිරිසක් එළියේ ඉන්න බවට තිළිණ කණ්ඩම්බි කියූ කතාවට උදාහරණ සැපයූ චමිදු වික්‍රමසිංහ ද තමන්ට ලැබුණු පළමුවන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය පරාජිත එකක් වුව ද,තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්නට සමත් වූවේය.


කණ්ඩායමේ අංක එකේ සිට තුන දක්වා පිතිකරුවන් ඉලක්කම් දෙකේ ලකුණු ගණන්වලට ගියත් එතනින් පසු අංක 10 වෙන තුරු කිසිඳු පිතිකරුවෙක් ඉලක්කම් දෙකේ ගණන් ලබාගෙන නැත.එවැනි ලකුණු පූවරුවක වැඩිම ලකුණු ගණන වූ නොදැවී 4 පැමිණියේ චමිඳු මුහුණ දුන් පන්දු දෙකකින්ය.එම ලකුණු 4 නො’ආවේනම් ඉන්දියාව ලබා ගත් ලකුණු 138 සම කරන්නට ද නොලැබෙන්නේය.එසේම චමිඳු පන්දු යැවීමේදී ද පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 17 ක් පමණක් දී එක් කඩුල්ලක් ලබා ගෙනය.ඒ මේ තරගාවලියේ කණ්ඩායම් සංචිතයේ සිටියත්,අවස්ථාවක් නොදී සඟවාගෙන සිටි චමිදු දුන් අවස්ථාවේ දුන් පිළිතුරය.


ඒ ආකාරයටම මොහොතට අනුව තීරණය වී නම් රොමේෂ් මෙණ්ඩිස් සහ කමිඳු මෙණ්ඩිස් වෙනුවට සංචිතය නම් කරන මොහොතේ සිටම අවසන් වූ එල්පීඑල් හරහා අවධානය යොමු කරන්න ක්‍රීඩකයෝ සිටියහ.පිතිකරුවෙක් වශයෙන් කමිඳු කණ්ඩායමට කැඳවා අසාර්ථක වෙද්දී ඔහුගේ පන්දු යැවීම ද යොදා ගෙන තුන් ඉරියව් බව පෙන්නීමට උත්සාහ ගත්ත ද,ඒ ඉඩ දිනේෂ් චන්දිමාල් හෝ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවෙන් වෙන් වුණේ නම් වැදගත් වන්නට තිබිණ.


කෙසේ වුවත්,පරණ හිතවත්කම් සම්බන්ධයෙන්,ඥාතීත්වයන් සම්බන්ධයෙන් කණ්ඩායම් තේරීමේදී නායකයින් මුල් තැනක් දෙන බවට එල්පීඑල් සිටම සිඳු කරන විවේචනවල හෙවනැලි මේ කණ්ඩායම් සංයුති සළකා බැලීමේදී සැක සහිතව තිබෙන බව පැහැදිළිය.ඒ දක්ෂතා පමණක්ම යොදා ගන්නේ ද යන්නෙහි සැකයක් පැන නැඟෙන බැවිනි.එසේම කණ්ඩායමේ කාර්යයන්ට සම්බන්ධ වී සිටියදී සම්බන්ධ නොවි කරන විවේචනවල අතාර්කික බව සහ අපහසුකම් මේ වන විට සනත් ජයසූරියට වුව දැනෙනවා ඇත.තිළිණ කණ්ඩම්බි මාධය හමුවේ ප්‍රකාශ කර සිටින කරුණු සියයට සියයක් ඇත්තය.ප්‍රවීන විස්තර විචාරක රසල් ආනල්ඩ් දක්වන අදහස් ද තිළිණ ගේ අදහස් එක්ක සමීපය,සමානය.


තරගයේ ලකුණු 137 ට ඉන්දීය කණ්ඩායම සිමා වීම තුළින් ලැබෙන එක් පණිවිඩයක් වන්නේ මේ තණතීරුවේ ලකුණු ඒම පහසුවෙන් සිඳු නොවන බවකි.ප්‍රහාරය අතින් ලොව සිටින දැවන්තම පිතිකරු නාමාවලියක් 127 දක්වා යන්නෙත් අවාසාන මොහොතේදී රියාන් පරාග් (26) සහ වොෂින්ටන් සුන්දර් (25) විසින් ලබා ගන්නා ලකුණු නිසාය.සුබ්මන් ගිල් වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 39 ක් ලබා ගන්නේය.පන්දු යැවීමේදි කඩුලු ලැබීමෙන් සාර්ථක වන මහේෂ් තීක්ෂණ ලකුණු 28 ට කඩුලු 3 ක් ලබා ගන්නේය.මතීශ පන්දු යැවීමට කැඳවන්නේම නැති අතර ඒ වෙනුවට රොමේෂ් මෙණ්ඩිස් සහ කමිඳු මෙණ්ඩිස් පන්දු ඕවර් 3 බැඟින් යවන්නේය.රොමේෂ් ලකුණු 26 ක් ද,කමිඳු ලකුණු 24 ක් ද එම පන්දු ඕවර් තුළ ලබා දෙමින් ඔවුන් පන්දු යැවීමටද ඇති හැකියාව සළකා කණ්ඩායමට ගෙන ආ බවට සහතිකයක් ලබා ගන්නේය.


පිළිතුරු ඉණිමට පිවිසි මුල් අංක තුනේ පිිතිකරුවන් යළිත් සාර්ථක වන්නේය.විශේෂයෙන් තරගයේ ගෙවෙන මොහොත කියවා ගැනීමට ඔවුන් ඥාණාන්විත වන්නේය.සංජු සැම්සන්ගේ පන්දු රැකීමේ දුර්වලකමකින් ද කුසල් මෙණ්ඩිස්ට සහයක් ලැබුණත්,පැතුම් නිශ්ශංක,කුසල් මෙණ්ඩිස් සහ කුසල් පෙරේරා තරගයේ පැවත්වෙන ස්වභාවයට අනුගතව පහර දුන්හ.පැතුම් 26,කුසල් මෙණ්ඩිස් 43 සහ කුසල් පෙරේරා 46 ලෙස ලකුණු එක් කළහ.එහෙත් තෙවන කඩුල්ල ලෙස 17 වන ඕවරයේ තෙවන පන්දුවේදී වනිඳු හසරංග දැවී යන්නේ ලකුණු පූවරුව 117 ක් ව තිබියදී ය.එතැන් සිටි පන්දු 21 දී ලකුණු 18 ක් ලබන්නට අවශ්‍යය විය.එහෙත් ලකුණු 137 ට කඩුලු 9 ක් ලෙස ඉණිම නිමා වන්නේය.වගකිව යුතු පිතිකරුවන් කිසිවෙක් අංක 10 වෙන තෙක්ම කණ්ඩායමේ නැද්ද යන්න මතුවන ගැටළුව සාධාරණය.පිතිකරුවන් ඇත.වගකීමක් නැත.


විශේෂයෙන්ම වනිඳු හසරංග පන්දු යවන්නෙක් ලෙස කරන කාර්යයට අමතරව පිතිකරුවෙක් ලෙස ඉද හිට දක්වන ප්‍රාතිහාර්ය මත පිතිකරණ නාමාවලියේ උඩට ඔසවා තබමින් කරන විකාරය තේරුම් ගැනිමට අපහසුය.මීට පෙර තරගයේදී පළමු පන්දුවටම කිසිඳු වගකීමක් නොපෙනෙන පහරක් එල්ල කර කඩුලුල දුන් වනිදු පිතිකරුවෙක් බව පෙන්වීමට කුසල් පෙරේරාගේ සෙවණේ තරගය නිමා කර වස් දොස් යවන්නට අංක හතරට උසස් කොට පිටියට තල්ලු කළේය.


අභිමානය සහ මාන්නය කියන්නේ දෙකක්ය.වනිඳු අභාමානය ලෙස සිතා නඩත්තු කරන්නේ මාන්නයය.ඔහුගේ හැකියාවට එන වටිනාකම අභිමානයෙන් භාවිතයට ගැනීම වෙනුවට වනිදු බොහෝ විට හැසිරෙන්නේ එය තමන්ට රිසි පරිදි කටයුතු කිරිමට ලැබුණු බලපත්‍රයක් ලෙස සිතා කටයුතු කිරීමය.එවැනි අවස්ථාවක දක්ෂතාවය පසෙකින් තබා කණ්ඩායම වෙනුවෙන් කළ යුතු හොඳම දේ නොසළකා හැරීම හෝ නොසැලඛිල්ලෙන් මඟ හැරීම කියන කරුණු පදනම් කර ගෙන එළියෙන් තැබීම වැදගත්ය.එසේත් නැතිනම් පිතිකරණ නාමාවලියේ ඉදහිට මතුවන නිලා කූරුවලට වඩා වගකීමෙන් කටයුතු කරන කෙනෙකුට ඉදිරිය පවරා වනිදු අංක 8 හෝ 9 දක්වා ගෙන එම තැන ස්ථාවර කර කාලයක් රඳවා තබා ගැනීම වැදගත්ය.


කමිඳු මෙණ්ඩිස් පන්දු 5 දී ලකුණු 6 ක් ඇවැසි මොහොතක ඉහළින් එල්ල කළ පහර ද ඒ මොහොත නිවැරදිව කියවා නොගැනීමෙන් එල්ල කළ පහරක්ය.එම පහර එල්ල නොකළානම් තරගය චමිඳුත් සමඟ අවසානය කරා රැඟෙන යන්නට තිබිණ.


ඉන්දියාව අවසාන මොහොතේදී උත්සාහ කළේ කඩුලු සහිත සහ ලකුණු අඩ බලක්කයක්ව පැවතීම නිසා ආවොත් ආවා,ගියොත් ගියා වැනි උපක්‍රම අත්හදා බලන්නටය.ඒ නිසා ඔවුන් අවසාන පන්දු ඕවර් දෙක සඳහා කැදෙව්වේ රින්කු සිං සහ සූරියකුමාර් යාදෙව් වැනි සාමාන්‍යයෙන් එවැනි මොහොතක කිසිසේත්ම පන්දු නොයවන ක්‍රීඩකයෝය.රින්කු ලකුණු 3 ට කඩුලු 2 ක් 19 වන ඕවරයේ දී ලබා ගත් අතර,සූරියකුමාර් ලකුණු 5 ට කඩුලු 2 ක් විසිවන පන්දු ඕවරයෙදී ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ලකුණු සම කරමින් සුපිරි ඕවරයට යමින්,ඉන්දියාව පවා නොසිතූ ජයකට මඟ පෑදීය.
තරගයේ ලකුණු පූවරුව → https://es.pn/4dkWg5h

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...