අශෝක ජයතුංග
අගෝස්තු 01 වොෂින්ටන් LNW :
ලංකාව බංකොලොත් වී යන්තමට හිස ඔසවමින් සිටින අවදියක ඇමෙරිකාවෙන් වැදුන 44% ක අධික තීරු බද්ද හෙණ පතයක් වුවා නියතය.ඊට පෙර තිබුණේ 12% ක සුළු බද්දකි.එය පසුව 30% දක්වා අවම කරගන්නට සමත් විය. එහෙත් ආසියානු කලාපයේ සමහර රටවල් එය ඉතා පහළ තලයකට ගෙන ඒමට සමත් වු පසුබිමක ලංකාව මුහුණ පෑවේ දැඩි තරගකාරී අභියෝගයකටය.
එහෙත් ජනපති අනුර හා විදේශ ඇමති විජිත මෙන්ම මුදල් අමාත්‍යාංශය මහබැංකුව මෙන්ම මහින්ද සමරසිංහ ප්‍රමුඛ වොෂින්ටන් තානාපති නඩය වැඩේ අත හැරියේ නැත.කොළඔ සමග නිරන්තර සංවාදය දියත් කරමින් උපදෙස් ලබාගනිමින් ගැටලුව කළමනාකරණය කරගැනීමට තානාපති මහින්ද කල කැපවීම තිරෙන් පිටුපස සිදුවූ නොපෙනුන දැවැන්ත මෙහෙයුමක් විය.
බොහෝ රටවල් ඇමෙරිකාවට කප්පම් ගෙවා හෝ බදු අඩුකර ගැනීමේ මෙහෙයුම් දියත් කළහ. ඩොලර් බිලියන 04 කට ආසන්නව ඇමෙරිකානු ගුවන්යානා ලබා ගැනීමේ එකගතාව මත ඉන්දුනීසියාව තම බද්ද 19% දක්වා අවම කරගත්තේය. ඩොලර් බිලියන 05 ක විශාල ආයෝජන ඇමෙරිකාවට ලබා දෙන බව පවසා ජපානය එය 15% ට අඩු කරගත්තේය. එහෙත් ලංකාව වැනි දුප්පත් රටකට ඇමෙරිකාවට වාසි සපයන ක්‍රියාමාර්ග වලට යාමේ ආර්ථික ශක්තියක් තිබුණේ නැත.
ලංකාවට කල හැකිව තිබූ එකම දේ ඇමෙරිකාව සමග සාකච්ඡා කර කරුණු වටහාදීමෙන් හා බිදලිය නොහැකි තර්ක ඉදිරිපත් කිරීමෙන් හා ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික ව්‍යසනය වටහාදීමෙන් ජයග්‍රහණ ලබා ගැනීම පමණි. එහෙත් තමන්ට ප්‍රතිලාභ නැතිනම් අනෙකාට ද ඇමෙරිකානු ප්‍රතිලාභ ලබාදිය නෙහෙැකි බවට වන ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරයට අභියෝග කිරීම ඉතා අසීරු කටයුත්තක් විය.
එහෙත් ආණ්ඩුවේ නිළ නියෝජිත පිරිස් දෙකක් වොෂින්ටන් පැමිණ විවිධ අංශ සමග සාකච්ඡා කළේය. මහින්ද සමරසිංහ ඒවා සම්බන්ධීකරණය කරමින් ඊට සහභාගීවෙමින් කල කැපවීම අතිමහත් විය. ඔහුගේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීමි වසර 40 තුළ ලෝකයේ ගොඩනැගූ සබදතා මෙන්ම වසර 03 ක් පුරා ඇමෙරිකාව තුළ ගොඩනැගූ රාජ්‍ය තාන්ත්‍රික සබදතා හා සුහදත්වය ලංකාවට එහිදී විශාල ශක්තියක් වුහ.
ජනපති අනුර ගේ උපදෙස් හා එකගතා ලබාගනිමින් විදේශ ඇමති හා එම අමාත්‍යාංශ මෙන්ම මුදල් හා ආර්ථික කටයුතු වලට අදළ වගකිවයුත්තන් හා අදහස් හුවමාරු කරගනමින් තානාපති මහින්ද ඉටුකල කාර්ය භාරය සුළු පටු නොවෙන බව ඒකාන්තය.අවසන ඇමෙරිකානු බදු කාර්යංශ ප්‍රධානියා හා නිළධාරීන් සමග ජනපති අනුර ගේ සූම් සාකච්ඡාවක් ද වොෂින්ටනයෙන් සංවිධානය කෙරිණ. එහිදී ජනපතිවරයා කල කරුණු දැක්වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය. එහෙත් එහිදීද ලංකාවට බුරුලක් ලැබුණේ නැත. තානාපති මහින්ද ඉන් අනතුරුව ද අදාළ සියලු අංශ සමග කල සාකච්ඡා හා සංවාද මෙන්ම කොළඔ තානාපතිනි ජූලි චංග් ලබාදුන් සහාය ද මත අවසානයේ ඇමෙරිකානු ඉබ්බාගෙන් පිහාටු ලබා ගැනීමට ලංකාව සමත් විය.
මෙය මුලික වශයෙන් රට ලැබූ දැවැන්ත විජයග්‍රහණයකි.තානාපති මහින්ද සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හරහා ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ලන්ඩන් පොදු රාජ්‍ය සමුළු වලදී එදා රටට ගෙනා දැවැන්ත වාසි ද ඉක්මවන්නකි.රනිල් ආණ්ඩුව ලංකවෙට අහිමිව තිබූ GSP ප්ලස් 2017 දී ලබා ගැනීමේදී ද මහින්ද සමරසිංහ කල කාර්යභාරය සුළුපටු නොවේ.
ඒ තුළ ඇමෙරිකානු තීරු බදු අඩුකර අපගේ ඩො බිලියන 03 ක දැවැන්තම අපනයන වෙළෙද පොළ රැක ගැනීමට ජනපති හා ආණ්ඩුව මෙන්ම තානපති මහින්ද හා කී නොකී සියලු දෙනා සිදුකල මෙහෙයුම ඓතිහාසික වැඩකි. කඩා වැටෙන්නට ආසන්න අවසන් තත්පරයේදී රටේ සියලු අපනයනකරුවන් හා අපනයන ආර්ථිකය රැක ගැනීමකි.
තවද හැම අතින්ම චෝදනා හා වැඩ බැරි බවට ජනපති හා ආණ්ඩුවට එල්ලවන චෝදනා හා අපවාද යටපත්වීමකි. මෙය ආණ්ඩුවක් ලෙස මෙතෙක් ලැබූ දැවැන්ත හා සුවිශේෂම දේශපාලන විජයග්‍රහණයක් ද වන බව අමුතුවෙන් කවයුතු නොවේ.
