සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානය 1945 දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ප්‍රථම වරට සියලුම ආරක්ෂක සහ බුද්ධි තොරතුරු එක් මධ්‍යස්ථානයකින් සම්බන්ධීකරණය කරන මධ්‍යගත ජාතික බුද්ධි අංශයක් (Central Intelligence Agency) පිහිටුවීමට තීරණය කර තිබේ.
මෙවැනි ආයතනයක් මෙතෙක් ජපානයට නොතිබුණේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු රටේ හමුදා සහ බුද්ධි බලය අධික ලෙස මධ්‍යගත වීම වැළැක්වීම සඳහායි.
යුද්ධ සමයේ ජපානයේ හමුදා බුද්ධි අංශ දේශපාලනයට සහ සිවිල් පාලනයට දැඩි බලපෑමක් කළ බවට තිබූ අත්දැකීම් හේතුවෙන්, යුද්ධයෙන් පසු සකස් කළ නව ව්‍යවස්ථාව යටතේ බුද්ධි සේවාවන් වෙන වෙනම ආයතන කිහිපයකට බෙදා පවත්වාගෙන ගියේය.
ඒ අනුව ජපානයේ පොලිසිය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහලේකම් කාර්යාලය යන ආයතන වෙන වෙනම බුද්ධි තොරතුරු රැස් කළද, ඒවා එකම ආයතනයක් මඟින් සම්බන්ධීකරණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබුණි.
කෙසේ වෙතත්, චීනයේ වර්ධනය වන හමුදා බලය, උතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික වැඩසටහන්, සයිබර් ප්‍රහාර, සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක අභියෝග ඉහළ යාම හේතුවෙන්, ජපානය දැන් බුද්ධි තොරතුරු ඉක්මනින් විශ්ලේෂණය කර තීරණ ගැනීම සඳහා එක් මධ්‍යගත ආයතනයක් අවශ්‍ය බවට තීරණය කර ඇත.
නව ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රජයේ සියලු බුද්ධි ආයතනවලින් ලැබෙන තොරතුරු එක්රැස් කර විශ්ලේෂණය කිරීම, ජාතික ආරක්ෂක අවදානම් කල්තියා හඳුනා ගැනීම සහ අගමැති ඇතුළු රජයේ ඉහළ නායකත්වයට කාලෝචිත බුද්ධි වාර්තා සැපයීමයි.
මෙම පියවර ජපානයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ දශක ගණනාවකට පසු සිදුවන විශාලතම ව්‍යුහාත්මක වෙනස්කම්වලින් එකක් ලෙස සැලකේ.

