කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඊයේ (31) පස්වරුවේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බහුතර තීන්දුව මත මරණ දඬුවම නියම විය.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වූ අතර නඩුවේ අවසන් තීන්දුව බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් විය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් දේපළ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා චෝදනා 855න 854කට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කළ අතර විනිසුරු විරාජ් වීරසූරිය පැමිණිලි පාර්ශවය විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා සනාථ නොකිරීම යන කාරණය මත චූදිතයින් දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
බහුතර තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරුවරයා පැවසුවේ,
“පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට විදේශීය බුද්ධි සේවයකින් එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත තොරතුරු ලැබී තිබුණා. ඔහු එම තොරතුරු විත්තිකරුට දැනුම් දී තිබුණා. 2019 අප්‍රෙල් මස 20 වනදා සවස 5.53ට පමණ සහ සහරාන් හශීම් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් ඉදිරි පැය 24 තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මරාගෙන මැරෙන ප්‍රහාර අටක් එල්ල කිරීමට සූදානම් වන බවට නිලන්ත ජයවර්ධන වෙත තොරතුරු ලැබී තිබුණා. එම තොරතුර ද නිලන්ත ජයවර්ධන වහාම මේ විත්තිකරු වෙත ලබාදෙනු ලැබුවා. එම තොරතුර ලැබුණු පසු ඔහු පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ “ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරගෙන යන්න” කීම පමණයි. ප්‍රහාරයට පෙර දින සවස ලබාදුන් තොරතුර විශ්වසනීය දැයි මේ විත්තිකරු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් විමසා තිබෙනවා. “ඔව් සර් මේක විශ්වාස කරන්න පුළුවන් තොරතුරක්. ඒ අයගෙන් මීට පෙරත් මේ වගේ තොරතුරු ලැබිලා තිබෙනවා” යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඊට පිළිතුරු දෙමින් සඳහන් කළ බව සාක්ෂි වලින් අනාවරණය වුණා.” එවැනි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට විත්තිකරු ක්‍රියාකර නැති බවත් ඉන් ඔහුගේ රාජකාරීමය නොකර හැරීම මනාව ඔප්පු වන බවත්ය.
කෙසේවෙතත් දඬුවම ප්‍රකාශයට පත් කිරීමට පෙර අවසාන ප්‍රකාශය කිරීමට ලබා දෙන අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ එල්ල කර තිබෙන චෝදනාවලට තමන් එකඟ නොවන අතර ඉතිහාසය කවදා හෝ තමන්ව නිදොස් කොට නිදහස් කරනු ඇති බවයි.
”සභාපති විනිසුරුතුමා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මම එකඟ වෙන්නේ නෑ. ස්වාමීනී… ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. මම කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ අනිත් අමාත්‍යාංශවල ලේකම්ලා වගේමයි. විශේෂ බලතල නෑ. අමාත්‍යවරයාගේ අනුදැනුම මතයි මම කටයුතු කරන්නේ. එවක ආරක්ෂක අමාත්‍යවරයා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශගතව සිටියා. එහි වැඩ බැලීමට ඇමතිවරයකු ඔහු පත් කළේ නෑ. ඇමතිවරයා නැති විටෙක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කටයුතු අක්‍රිය වෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එවක ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළා. මා ආරක්ෂක ලේකම් ලෙස පත්වුණාට පස්සේ මම ජනාධිපතිගෙන් ඇහුවා බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා. එහිදී ජනාධිපතිවරයා පැවසුවා බුද්ධි තොරතුරු මට නිලන්ත ජයවර්ධන දැනුම් දෙනවා. ඔයා පරිපාලන වැඩ ටික කරගෙන ඉන්න කියලා. මම කළේ අමාත්‍යාංශයේ පරිපාලන රාජකාරි පමණයි. ඒ අනුව අවුරුදු හතරක කාල සීමාව තුළ බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීම සිදු කළේ නිලන්ත ජයවර්ධන. ප්‍රහාරයට පෙර දා නිලන්ත ජයවර්ධන ගෙන් මට කිසිදු ලේඛනයක් ලැබුණේ තිබුණේ නෑ. whatsapp පණිවිඩ දෙකක් පමණයි ලැබුනේ. අප්‍රෙල් මස 9 වනදා බුද්ධි සමාලෝචන රැස්වීම තිබුණා. එහිදී නිලන්ත ජයවර්ධන මේ ප්‍රහාරය ගැන කිසිම තොරතුරක් රැස්වීමට ඉදිරිපත් කළේ නෑ. ඉදිරිපත් කළා නම් එතන යුද හමුදාව, නාවික හමුදාව වගේ ආයතනවල බුද්ධි ප්‍රධානීනුත් හිටියා. අප්‍රෙල් මස 16 වනදා කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීමක් ගැන නිලන්ත මට ඡායාරූප එවලා තිබුණා. අපේ ටීම් එකක් නැගෙනහිරට ගිහිල්ලා පරීක්ෂණ කරනවා කියලත් ඔහු දැනුම් දුන්නා. මෙම තොරතුරු ලැබී තිබු අප්‍රෙල් මස 01 වනදා හා 16 වන දා අතර කාලසීමාව තුළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හිටියා. නමුත් නිලන්ත ජයවර්ධන එම තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීමට හැකියාව තිබුණා. ඔහු ඒක හිතාමතාම සැඟෙව්වා. ඔහු මේ තොරතුරු හත් වතාවක් සැඟවීමට කටයුතු කළා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් මට එහි වගකීම දාන්නේ කොහොමද? ප්‍රහාරයට පෙර දින සවස නිලන්ත ජයවර්ධන මට කතා කරලා එල්ලවීමට නියමිතව තිබූ ප්‍රහාර පිළිබඳ තොරතුරු දැනුම් දුන්නා. මං ඇහුවා විශ්වාසද කියලා. ඔහු පැවසුවා මේ ගැන අපි හොයාගෙන යනවා වාර්තා කරන්නම් කියලා. නිලන්ත ජයවර්ධන යටතේ රට පුරා බුද්ධි නිලධාරීන් 1500ක් පමණ සිටිනවා. ඔවුන් ලවා මේක ගැන පරීක්ෂා කරලා තහවුරු කරගන්න තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. ස්වාමීනි… මට හමුදාව කැඳවන්න බලය නෑ. ඇඳිරි නීතිය දාන්නවත් බලයක් තිබුණේ නෑ. සභාපති විනිසුරුතුමා මගේ තනතුරේ හිටියනම් ඔබතුමත් මේ ටිකම තමයි කරන්නේ.
” ස්වාමීනී. .. මේ ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිවරයා විනිසුරු විජිත් මළල්ගොඩ කමිටුව පත් කළා. මේ කමිටුව නිලධාරීන් 14 ක් ගැන චෝදනා කරලා තිබුණා. ජනාධිපතිවරයා නීතිපතිවරයාට කියලා තිබුණා අනිත් අයව අතෑරලා මටයි පොලිස්පතිටයි පමණක් පියවර ගන්න කියලා. ප්‍රහාරයෙන් පසුව අප්‍රෙල් මස 22 ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසුවා මේ ප්‍රහාරයට මමයි පොලිස්පතියි වගකිවයුතු බවට. උපරිම දඬුවම් දෙනවා කියලත් ජනාධිපතිවරයා කිව්වා. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි මේ නඩු තීන්දුව. මේ නඩු තීන්දුව ගැන සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිලන්ත ජයවර්ධන. අනිත් කෙනා තමයි මෛත්‍රිපාල සිරිසේන. නීතිපති දෙපාර්තමේන්තුව මුල සිට නිලන්ත ජයවර්ධන ආරක්ෂා කළා. මේ ගැන සතුටු වෙන්න පුළුවන් ඕලෙවල් පාස් නැති මිනිහෙකුට විතරයි ස්වාමීනී.
මම මෑතකදී සැත්කමක් කළා. එහි තුවාල හොඳ වෙලා නෑ. ස්වාමීනී… මම වයස අවුරුදු 76 ක තැනැත්තෙක්. මාව බන්ධනාගාරගත කළත් ලැබෙන්න ඕන ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද? එල්ලන්නත් මං ජීවත් වෙලා ඉන්න එපායැ. ඉතිහාසය කවදා හරි මාව නිදහස් කරයි. ” යනුවෙන් ඔහු සිය අවසාන ප්‍රකාශය සිදුකර තිබේ.
අනතුරුව අධිකරණයේ විදුලි පහන් නිවා දමා සියලු දෙනා ආන වලින් නැගිට දඬුවම ප්‍රකාශයට පත්විය.


