රෂිකා හෙන්නායක අගෝස්තු 04 , කොළඹ LNW :
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීය.
මහානායක හිමිවරුන් මෙම සංශෝධනයට විරුද්ධව ලිපියක් එවූ බවට පළවන වාර්තා අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම පියවරෙහි මූලික අරමුණ බව රජය පෙන්වා දෙයි.
මෙම වයස් සීමාව ඉහළ දැමීම එක් පුද්ගලයෙකු ඉලක්ක කරගත් එකක් නොව සමස්ත විනිසුරු මණ්ඩලයටම පොදුවේ බලපාන්නක් බව අමාත්‍යවරයා පැහැදිලි කරයි.
රජයේ මෙම ස්ථාවරය කරුණු සහිතව පැහැදිලි කිරීමෙන් අනතුරුව මහානායක හිමිවරුන් ඊට එකඟතාව පළ කළ බව ද සඳහන් වේ. අධිකරණ ක්ෂේත්රයේ සිදුකරන මෙම ප්‍රතිසංස්කරණ සඳහා ආගමික නායකයන්ගේ විරෝධයක් නොමැති බව රජය අවධාරණය කරයි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“මහානායක හිමිවරුන් එව්වා යැයි කියන ලිපියක් සම්බන්ධයෙන් මගේ දැනුවත්භාවයක් නෑ. ඊයේ උදේ වරුවේ මමත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත් මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් මුණගැසුණා. ඊට පසුව දහවල් කාලයේ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණා. අපිට ඊයේ කැබිනට් මණ්ඩලය තිබුණ නිසා අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණේ නෑ. අද සවස 5ට මමත් අධිකරණ ඇමතිතුමාත් අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණගැසෙනවා. ඇත්තටම ඒ සාකච්ඡා හැම එකක්ම වගේ පැයකට ආසන්න කාලයක් තිබුණා.
විශේෂයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් සමග අපි පැවැති සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කිරීමට යන 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනතට අදාළ සංශෝධන පිළිබඳව අපි සාකච්ඡා කළා. උන්වහන්සේලාට අපි ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දුන්නා. විශේෂයෙන් අපේ අරමුණ බවට පත්වෙලා තිබුණේ මේ රටේ ගොඩගැහිලා තිබෙන නඩු කටයුතු කාර්යක්ෂමව අවසන් කරලා ජනතාවට සහනයක් දෙන්න. මම හිතනවා ඒක මේ රටේ කවුරුත් හිතන සත්‍යයක්.
මල්වතු මහනායක හාමුදුරුවොත් අපිට කියා සිටියා උන්වහන්සේත් අවුරුදු 20කට කාලයකට මොකක් හරි නඩු කටයුත්තකට මුහුණ දෙමින් සිටිනවා කියලා. ඉතිං හැමෝටම අවුරුදු 12-20 ආදී කාලයකට මේ නඩුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නඩු කටයුතු කාර්යක්ෂමව ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්රතිසංස්කරණයක් පිළිබඳව කාගේවත් විරෝධයක් නෑ, උන්වහන්සේලාගෙත් විරෝධයක් නෑ. මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන්ට තිබුණ එකම කරුණ තමයි අපෙන් දැනගන්න මේ ව්‍යවස්ථා සංශෝධනය එක විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන පමණක් සිදුකරන එකක්ද කියන එක. අපි පැහැදිලි කළාට පස්සෙදි 22 වන ව්‍යස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ උපරිමාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස වැඩි කරන එක. අධිකරණ සේවා පනත සංශෝධනය කිරීමෙන් දිසා අධිකරණවල ඇතුළු සියලු අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරනවා කියලා අපි පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලාට ඒක පැහැදිලි කරලා දුන්නාට පස්සේ උන්වහන්සේලා ඒක පිළිගත්තා.”


