කැනඩාවේ රැකියා වංචාවට ඉතියෝපියාවේ සම්බන්ධයක් ඇත්දැයි CID විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 05 , කොළඹ LNW :

කැනඩාවේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු රවටා ගෙන්වාගෙන පැහැරගත්, ඉතියෝපියාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් සහ කිලිනොච්චියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අතර ඇති සම්බන්ධතා අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මිනිස් ජාවාරම්, හොර ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

ඉතියෝපියාවේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පැහැර ගැනීමට හේතු වූ මිනිස් ජාවාරම් සහ රැකියා වංචා ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චියෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු කර ඇත.

පොලිසියට අනුව, මෙම පුද්ගලයින් තිදෙනාට කැනඩාවේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ඩුබායි හරහා ඉතියෝපියාවට යවා ඇති අතර, පසුව සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ඔවුන්ව රඳවාගෙන ඇත. ඒකාබද්ධ ජාත්‍යන්තර ප්‍රයත්නයන්ගෙන් අනතුරුව, ඉතියෝපියානු බලධාරීන් විසින් පැහැරගෙන ගොස් සිටි මෙම ශ්‍රී ලාංකිකයන්ව මුදා ගන්නා ලදී.

2026 මැයි 27 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද තොරතුරු මත පදනම්ව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම්, හොර ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කරන ලදී. මෙම මෙහෙයුමට සහාය වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඉතියෝපියානු පොලිස් දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය සහාය ලබා ගන්නා ලදී.

යාපනය, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි 25, 26 සහ 27 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකුගේ ගමන් කටයුතු කිලිනොච්චියේ සිටි මෙම සැකකරු විසින් සංවිධානය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය විය. කැනඩාව බලා පිටත්ව යාමට පෙර මෙම පුද්ගලයින්ව ඩුබායි හරහා ඉතියෝපියාවට යැවීම මෙම සැලැස්මට ඇතුළත් විය. ගුවන් ටිකට්පත් සහ වීසා ගාස්තු සඳහා රුපියල් මිලියන 6.4ක මුදලක් සැකකරු විසින් කල්තියා අය කරගෙන තිබූ අතර, කැනඩාවට ළඟා වූ පසු එක් අයෙකු තවත් රුපියල් මිලියන 10ක මුදලක් ගෙවිය යුතු බවට එකඟතාවක් ද ඇති කරගෙන තිබුණි.

ඩුබායි හරහා ඉතියෝපියාවට ළඟා වීමෙන් පසු, එම රට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පැහැර ගන්නා ලදී. ඔවුන්ව මුදා හැරීම සඳහා එක් අයෙකුට ඇමරිකානු ඩොලර් 30,000ක කප්පම් මුදලක් එම කල්ලිය විසින් ඉල්ලා සිටි අතර, ඒ බව කිලිනොච්චියේ සිටි අතරමැදියා හරහා පැහැර ගැනීමට ලක්වූවන්ගේ ඥාතීන්ට දැනුම් දෙන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන්, ඥාතීන් විසින් රුපියල් මිලියන 20කට ආසන්න මුදලක් දේශීය සැකකරු වෙත භාර දෙන ලදී.

පැහැරගෙන ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනා , අත්අඩංගුවට ගත් කිලිනොච්චියේ සැකකරු සහ ඉතියෝපියාවේ ක්‍රියාත්මක අපරාධ කල්ලිය අතර ඇති සම්බන්ධතා අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව පොලිසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...