ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන අතර අදාළ විමර්ශනය සඳහා මහේස්ත්‍රාත්වරයා පොලීසියට අවසර දී තිබේ.
ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 24 වෙනිදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කර ඇත.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එහිදී අදාළව විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ අතර ඊට අධිකරණයේ අවසරය හිමිව තිබේ.
ඒ අනුව විමර්ශන සිදු කර ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශයක් පිළිබඳව සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලීසියට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාධ්‍ය ආයතන 6කට නියෝග කර තිබේ.
ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දී ඇත.
සාගර කාරියවසම් මහතා පසුගියදා පැවති පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව යටතේ හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වූ බවයි.
එහිදී හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳව අදහස් දැක්වූ ඔහු, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට සේවය කිරීම නතර කර ජනතාවට සහ රජයට සේවය කරන ලෙසයි.
එමෙන්ම “මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවාට තමන් අකමැති බව” ද සාගර කාරියවසම් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


