ජනපති හමු වූ විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී සිසුන්!

0
447

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබෙන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේකෂක සිසුන් 280ක් පමණ එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අවස්ථාව සළසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව සිසුන් අතරට පැමිණි ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකට එක් වූ බවද සඳහන් වේ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව මෙහිදී විමසා බැලු ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය පිළිබඳ සිසුන් ඉදිරිපත් කළ ගැටලුවල‍ට ද පිළිතුරු ලබා දෙමින් ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට ද කටයුතු කළ බවද පැවසේ.

අනතුරුව ජනාධිපතිවරයා සිසුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති නීති උපදේශක බිම්බා තිලකරත්න, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව පැවසේ.