හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලමින් නඩුවක් ගොනුකිරීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයින් සහ නීතීඥවරුන් පිරිසක් කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ, 2018 වසරේ දින 52 ආණ්ඩුව පිහිටුවීමේදී චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට අදාළව ය.
විධායකයේ ඉහළම බලධාරියා වන ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ය. ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ පළමු වගකීම වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමයි. ඔහුට හෝ ඇයට කිසිසේත්ම චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකිරීමට නොහැක.
2018 දී මෛත්‍රීපාල සිරිසේන මහතා දින 52 ආණ්ඩුව පිහිටුවමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කළේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීරණය කරමිනි. ඒ අනුව ඔහු චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ම පැහැදිලි වී තිබේ.
එහෙයින් ඉදිරියේදී බලයට පත්වන ජනාධිපතිවරුන්ට ද පූර්වාදර්ශයක් වන පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය ජීවිත කාලයටම හෝ සැලකිය යුතු කාලසීමාවකට අහෝසි කරන ලෙස ඉල්ලමින් පෙත්සමක් ගොනුකිරීමේ කටයුතු මේ වනවිටත් ලහිලහියේ සිදුවෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙම පෙත්සම ගොනුකිරීමට ඉදිරිපත්ව සිටින්නේ යහපාලන රජය බලයට ගේන ඒමට මූලික වූ සිවිල් ක්‍රියාකාරිකයින් සහ නීතීඥයින් පිරිසක් වන අතර ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මෙවැනි ක්‍රියාවක් මේ රටේ යළි කිසිදිනක හෝ සිදුවීම වළක්වා ගැනීම යි.
