*
Tuesday, March 5, 2024
spot_img

Latest Posts

බුදුන් දුටු ඇමෙරිකානුවෝ

සටහන – රෂිකා හෙන්නායක

ඇමරිකාවේ මා සේවය කරන සරසවිය මගින් සෑම වසරකම මැයි මාසයේදී පවත්වන “විද්වත් දිනය” දීර්ඝ අධ්‍යයන වසරක නිමාවේදී ගුරුවරුන්ගේ මෙන්ම කාර්යමණ්ඩලයේත් වෙහෙස නිවාගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි. මෙදිනට තමන්ගේ අධ්‍යාපනික සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමටත් අප කැමති මාතෘකාවක් යටතේ දේශනයක් හෝ වැඩමුළුවක් පැවැත්වීමට නිදහස තිබේ.

එබැවින් මම බොහෝ විට මා උගන්වන ගණිත විෂයයෙන් බැහැරව බෞද්ධ භාවනා ක්‍රම හා සම්බන්ධ මාතෘකාවක් තෝරාගනිමි. පොදුවේ ගත් කල ඇමෙරිකානුවන් අතර භාවනාව කෙරෙහි විශේෂ උනන්දුවක් තිබෙන අතර අධ්‍යාපන හා මනෝවිද්‍යා ක්ෂේත්‍රයන් තුල ප්‍රයෝගිකව භාවනාව යොදා ගන්න අවස්ථා බහුලය. 2018 වසරේ මවසින් කල පළමු වැඩමුළුවේ මාතෘකාව වුයේ Mindfulness Meditation: Simple Meditation Techniques to Lead a Happy Life “ප්‍රීතිමත් ජීවිතයක් සඳහා සතිමත් බව වැඩීමේ සරල ක්‍රම” යන්නයි. එය දවසේ ආරම්භක වැඩමුළුවලින් එකක් විය. කාමරයේ සියලුම අසුන් පිරි තිබුණු බැවින් ඇතැමෙකුට පිටතින් අසුන් රැගෙන ඒමටද සිදුවිය. ඉඩ මදිවීම නිසා සහභාගී වන්නට නොහැකි වූ අයද සිටි බව පසුව දැන ගතිමි. පලමු වැඩමුළුවට ලැබුණු යහපත් ප්‍රතිචාර හේතුවෙන්, පසුගිය කාලය තුල විවිධ අවස්ථා වලදී භාවනා වැඩසටහන් පැවැත්වීමේ අවස්ථාව මට ලැබුණි. අවසන් වාර විභාග වලට පෙර සිසුන් උදෙසා පැවැත්වූ භාවනාව මගින් ආතතිය දුරු කර ගැනීමේ වැඩමුළුද, කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කල දේශනයක්ද ඒ අතර විය.

මේ වසරේ විද්වත් දිනයේ තේමාව Back to Our Roots “අපගේ මූලයන් සොයා යෑම” ලෙස නම් කර තිබුණි. Back to Our Roots with Mindful Breathing “සිහියෙන් හුස්ම ගැනීම මගින් අපගේ මුලයන් සොයා යමු” යන මාතෘකාව යටතේ මමද වැඩමුළුවක් පැවැත්වූයෙමි. මෙවර විශේෂත්වය වුයේ මගේ වැඩමුළුවට අමතරව බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගත් තවත් දේශන දෙකක් වැඩසටහනට ඇතුලත්ව තිබීමයි. මෙම දේශන තුන එකිනෙක හා සම්පාත නොවන පරිදි වෙනස් දේශන වටයන්ට ඇතුළත් කිරීමට තරම් අපගේ අධ්‍යක්ෂක තුමිය වන ලින්ඩා සැලකිලිමත්වි තිබිණි. සෑම කෙනෙකු තුලම මූලික යහපත්කමක් ඇති බවත් (මහායාන බුදු දහමේ මෙය බුද්ධ ස්වභාවය ලෙස හැඳින්වේ), වර්තමානයේ සිහිය පිහිටුවා අප තුළ සහ අවට සිදුවන දේ සමඟ පූර්ණ ලෙස සම්බන්ධ වීමෙන්, අපට ස්වභාවිකවම උරුම වූ ආදරය සහ දයානුකම්පාව පිළිබඳ හැඟීම් අවදි කර, අපගේ අව්‍යාජ ස්වභාවය සමඟ නැවත සම්බන්ධ විය හැකි බවත් මගේ දේශනයේ පදනම විය. විනාඩි පහළොවක පමණ කාලයක් අනාපාන සති භාවනාවද, අවසානයේදී මෛත්‍රී භාවනාවද වැඩිමේ අවස්ථාව සහභාගී වූ අයට ලබාදුන්නෙමි. වැඩිදෙනෙකුට භාවනාව පිළිබද පූර්ව අතදැකීම් තිබුණු අතර, දිනපතා භාවනාව පුහණු කරන්නන් කිහිප දෙනෙක්ම ඒ අතර විය. පිරිස අතර සිටි සුවතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාව ඇයගේ කාඩ්පත මා අත තබමින් සතියකට වරක් භාවනා පන්තියක් පැවැත්වීමට ආරාධනා කාලය. ඒ දැනටමත් අගහරුවදා දිවා විවේකයේදී එහි පැවැත්වෙන භාවනා පන්තියට අමතරවය. ජීවවිද්‍යා අංශයේ කථිකාචාර්ය වරයෙකු පවසා සිටයේ පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු භාවනාවට යොමුවූ බවයි.

බුදු දහම මත පදනම් වූ මීලග දේශනය පැවැත්වුයේ මනෝවිද්‍යා අංශයේ කථිකාචාර්යවරියක විසිනි. Five Steps to a Happier Life, ප්‍රීතිමත් ජීවිතයකට පියවර පහක්,” ලෙස නම් කර තිබු ඇගේ දේශනයේදී වර්තමානයේ සිත පවත්වා ගැනීමත් සතුටින් සිටීමත් අතර සම්බන්ධතාවය අවධාරණය කෙරිණි. ධනාත්මක මනෝවිද්‍යාව පිලිබඳ පරීක්ෂණ දත්ත ගෙන හැර දැක්වූ ඇය පවසා සිටියේ, වර්තමානයේ සිත පවත්වා ගැනීමෙන් ඇතිවන සතුට අතීතයේ සිදුවූ හෝ අනාගතයේ සිදුවිය හැකි ප්‍රීතිමත් සිදුවීමක් මෙනෙහි කිරීමෙන් ලැබෙන සතුටට වඩා වැඩි බවයි. Square Breathing ලෙස හැඳින්වෙන, සිත සන්සුන් කරවන හුස්ම පිළිබද ව්‍යායාමයක් අත්හදා බැලීමටද ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබුණි. කරුණාවන්ත සිතක් ඇතිකර ගැනීම සතුටට හේතුවන බව දේශිකාව විසින් පැහැදිලි කල පසු, අපගේ ජීවිතයේදී එසේ කරුණාවන්තවු අවස්ථාවක් අසල්වැසියෙකු සමග බෙදා ගත්තෙමු. මෙහිදී ඇය මෛත්‍රී භාවනාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීමටද අමතක නොකලාය.

පන්ති කාමරයට සතුට ගෙන” ඒම නම්වූ තුන්වන දේශනය පැවැත්වුයේ කථිකාචාර්යවරුන් සහ සිසුන්ගෙන් සැදී කණ්ඩායමක් විසිනි. ආගමික සහ සංස්කෘතික සංහිදියාව ඇතිකරන ප්‍රීතියේ ස්ථම්භ පිලිබඳ විස්තරකල දේශනයට පදනම් වුයේ The Book of Joy: Lasting Happiness in a Changing World නමැති ග්‍රන්ථයයි. සුප්‍රසිද්ධ අධ්‍යාත්මික ගුරුවරුන් වන දලයි ලාමා තුමන් සහ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු තුමන් අතර කෙටිකාලීන ප්‍රීතිය කල්පවත්නා ලක්ෂණයක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ කෙරුණු සංවාදයක් ඇසුරෙන් ලියවුනු මෙම ග්‍රන්ථය “ප්‍රමුදිත ජීවිතයක්” යනුවෙන් සිංහලට පරිවර්තනය කර ඇත. ඉංග්‍රීසි, ඉතිහාසය, මනෝවිද්‍යාව සහ සෞඛ්‍ය විද්‍යාව යන අධ්‍යයන අංශ වල ආචාර්යවරුන් මෙම ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය කරන ලද විවිධ දේශනා සහ ක්‍රියාකාරකම් තම ඉගැන්වීම් සඳහා යොදාගෙන තිබිණි. එක් ආචාර්යවරියක් පැවසුවේ ඇයගේ සිසුන් බුදුන් වහන්සේගේ සහ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වල සමානතා පිලිබඳ අධ්‍යයනයක් කල බවයි. ඉතාලි ජාතික, මනෝවිද්‍යා අංශයේ සිසුවියක් දලයි ලාමා තුමන් විසින් සඳහන් කල “මුදිතා” ගුණය සමාජ සහජීවනය උදෙසා යොදාගතහැකි ආකාරය විග්‍රහ කලාය.

ඉහත මා ඔබට විස්තර කලේ උප්පත්තියෙන් මෙන්ම ඇතැම්විට විශ්වාසයෙන්ද බෞද්ධ නොවන ඇමෙරිකානුවෝ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් උපරිම පල නෙලා ගනිමින් සිටින ආකාරයයි. ඇමෙරිකාවේ පමණක් නොව යුරෝපයේද වෙසෙන බොහෝ ජනතාව මානසික සුවය, පෞද්ගලික දියුණුව මෙන්ම සමාජ සහජීවනය උදෙසාද බෞද්ධ ඉගැන්වීම් භාවිතාකරමින් සිටිති. හෙනේපොළ ගුණරතන හිමියන්, අජාන් බ්‍රහ්මවන්සෝ මෙන්ම මෑතකදී අපවත්වූ වියට්නාම ජාතික තික්-නාත්-හාන් වැනි විශිෂ්ට ගුරුවරුන්ගේ ඉගැන්වීම් ඔවුන්ට බොහෝසේ උපකාරී වී ඇත. ශාස්ත්‍රීය මට්ටමෙන් බෞද්ධ භාවනා ක්‍රම මනසට බලපාන අකාරය ගැන මේ වනවිටත් බොහෝ පර්යේෂණ සිදුකර තිබේ. ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලය තුල බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ගැන ඇති පිළිගැනිම මෙබදු වුවත්, ලංකාවේ විශ්වවිද්‍යාල වල බෞද්ධ දර්ශනය යනු තවමත් විෂය නිදේශයේ අඩංගු තවත් එක විෂයක් පමණි. ලංකාවේ විද්වතුන්ට බුදු දහමේ ප්‍රායෝගික වටිනාකම පිළිබද අවබෝධ වීමට තව පරම්පරා කිහිපයක් වත් ගතවේයයි මට සිතේ. අනාගතයේ දිනෙක සමහරවිට ඔවුන් එය ඇමෙරිකානුවන්ගෙන් ඉගෙන ගනු ඇත.

සමන්තා දොළුවීර
ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ සිට.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan