*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයට පෙර හදිසි මහමැතිවරණයක්?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණය ගැන සියලු දෙනා කතාකලද ආණ්ඩුව විසුරුවා හදිසි මහා මැතිවරණයකට යන්නට ජනාධිපති   රනිල් වික්‍රමසිංහ උත්සහ දරන බවට මේ වන විට දේශපාලනයේ ඇතැම් අංශ වල යලිත් කතාබහක් ඇතිවී තිබේ. මෙවන් අවස්ථාවක මහ මැතිවරණයක්  පැවැත්වුවහොත් රටේ දැනට පවතින තත්වය අනුව  කිසිදු දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ  පැහැදිලි බහුතරයක්  එනම් මන්ත්‍රී ධුර 113 ක්  තනි පක්ෂයක් ලෙස ලබා ගත නොහැකි වනු ඇතැයි යන්න බොහෝ දේශපාලන   විචාරකයින්ගේ මතයයි. එවිට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් තමන් කැමති පිරිස් එක්කරගෙන  ආණ්ඩුව පිහිටුවන්නට  රනිල්ට හැකියාව ලැබේ, එසේම දැනට එක මන්ත්‍රී ධුරයක් පමණක් හිමි එක්සත් ජාතික පක්ෂයට තවත් යම් මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමි කර ගත හැකි වනු ඇති අතර ඒ හරහා රනිල්ට තමන්ගේ සමීපතමයන් රැසක් යලිත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකිවනු ඇත.එසේම දැනට පොහොට්ටුවේ දැඩි ග්‍රහනයකට ලක්ව සිටින ජනාධිපතිවරයාට එම ග්‍රහණයෙන් මිදීමට පහසුම ක්‍රමය මහමැතිවරණයකට යාමය. එවිට පත්වන නව රජය සමග තමන්ගේ ජනාධිපතිවරණයට යාම පහසු බව ඇතැම්විට ජනාධිපතිවරයා සිතනවා විය හැක.

මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක

එහෙත්  මේ අවස්ථාවේ හදිසි මහා මැතිවරණයකට ගියහොත් විශාල මන්ත්‍රීවරුන් පිරිසකට මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවේ. එසේම තවත් විශාල පිරිසකට නැවත පාර්ලිමේන්තුවට තේරීපත්වන්නට හැකිද යන්නද බරපතල ප්‍රශ්නයකි. මේ නිසා දැනට පාර්ලිමේන්තුවේ සිටින ඇති බහුතරය මහා මැතිවරණයකට යාමට කැමති නැත. එම නිසා වසර පහ සම්පුර්ණ වනතුරු රනිල්ට එරෙහි නොවී රනිල් ආරක්ෂා කරන පිළිවෙතකට යන්නට බොහෝ මන්ත්‍රීවරු කැමතිය.අනෙක් අතට මේ මහා මැතිවරණ කතාව හරහා බොහෝ මන්ත්‍රීවරු තමන්ට අවනතව තබා ගන්නට ජනාධිපතිවරයාට හැකිවී ඇති බවද රහසක් නොවේ.

ලන්සාගේ  සන්ධානය

පොහොට්ටුව එනම් ශ්‍රීලංකා  පොදු ජන පෙරමුන මේ වන විට කොටස් කීපයකට කැඩී ගොස් තිබේ.

රනිල් සමග කටයුතු කරන පිල, බැසිල් පිල  හා නාමල් පිල ලෙසය. මේ වන විට රනිල් සමග ඉදිරියට යායුතුය යන මතයේ සිටින කණ්ඩායම රනිල්ගේ විධායක බලය සමග ඉතාම බලසම්පන්න මට්ටමක සිටී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මීළඟ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති නව සන්ධානයේ පක්ෂ කාර්යාලය පිහිටුවා ඇත්තේ බොරැල්ලේ  ලේක් විව් ඩ්‍රයිව් හිය. නවීන පහසුකම් හා නව තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන්  සපිරි මෙම කාර්යාලයේ  කටයුතු සිරිපාල අමරසිංහ හා සුගීශ්වර බණ්ඩාර ගේ මුලිකත්වයෙන් සිදු කෙරෙන බව සඳහන්ය. මොවුන් ආසන මට්ටමින් දත්ත රැස්කරමින් අවශ්‍ය වෙනස් කම් සිදුකරමින් කටයුතු කරන බව සඳහාය. බැසිල් රාජපක්ෂ සමග පොහොට්ටුවේ මේ කටයුතු සිදුකල සිරිපාල අමරසිංහ නව සන්ධානයේ එම කටයුතු භාරව සිටීම සැලකිය යුතු කාරණයකි.  ප්‍රියංකර ජයරත්න , අනුර යාපා , ලසන්ත අලගියවන්න , සුසිල් ප්‍රේමජයන්ත ,මහින්ද අමරවීර  ආදීන්ද මීට එක්වීම හරහා මෙම සන්ධානයේ දිග පළල සිතා ගත හැකිය,මේ අය  ඇතුළුව   පොහොට්ටුවේ මන්ත්‍රීවරු හතළිහක් පමණ නව සන්ධානයට  සම්බන්ධව සිටින බව පැවසේ.

නව සන්ධානයේ කටයුතු සිදුවන වේගවත් බව සලකන විට මෙය රනිල් වික්‍රමසිංහගේ ඉදිරි දේශපාලන ව්‍යාපාරය මෙන්ම හදිසි මහා මැතිවරණයක් කැඳවා නව සන්ධානය හරහා ඊට ඉදිරිපත්වීමේ සැලැස්මක් වන්නටද ඉඩ තිබේ. එක්සත් ජාතික පක්ෂයද වේගවත්ව තම සංවිධාන කටයුතු කර ගෙන යන් අතර නව නිලධාරී මණ්ඩලයක්ද සැප්තැම්බර් මාසයේ නම් කෙරේ.

ඒ අනුව නව සන්ධානයට ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය එක්වූ විට එය මෑත ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානයක් බවට පත්වනු ඇත.

තවත් පිරිස් සජිත් ලඟට

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සුදානම් බවද  ව්‍යවස්ථානුකූලව වහාම මැතිවරණ පවත්වන ලෙසටද සමගි බලවේගයේ නායක හා විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස පසුගියදා රජයට අභියෝග කළේය. මේ අතර පොහොට්ටුවේ හා තවත් පොහොට්ටුවෙන්  කැඩී  ගිය කණ්ඩායම්වල මන්ත්‍රීවරු කීපදෙනෙකු මේ වන විට සමග ජන බලවේගය   සමග එක්වීමට   සාකච්ඡාවන ආරම්භ කර තිබේ. සමගි ජන බලවේගය ගම්  මට්ටමින් සාර්ථකව සංවිධානයවීම හා ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කර ගෙන මෙම පිරිස් සමගි ජන බලවේගය සමග එක්වන බව සඳහන්ය. කිසිදු ප්‍රධාන  පාර්ශවකට සම්බන්ධ  නොවී ඉදිරි මහමැතිවරණ ජය ගැනීම දුෂ්කර බැවින්  විවිධ  පාර්ශව ගණනාවක් මේ වන විට නව දේශපාලන ගමන් වලට සුදානමින් සිටිති.

දෙමල ඡන්ද කාට ලැබෙයිද

13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් මතුව ඇති කාරණය සම්බන්ධයෙන් මේ වන විට රනිල් පසුවන්නේ දැඩි ගැටලුකාරී තත්ත්වයකය. සර්ව පාක්ෂික සමුළුව සැබවින්ම  අසාර්ථක වූ අතර ඊට මූලිකවම බලපෑවේ පළාත්සභා මැතිවරණය වහාම පවත්වන ලෙසට දෙමල පක්ෂ විසින් සිදු කල ඉල්ලීම්ය. පවතින තත්වය මත 13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකර දෙමල පක්ෂ වලින් සහයෝගය රනිල්ට ලබාගත නොහැක. එය ක්‍රියාත්මක කළහොත් බහුතර සිංහල ඡන්ද  ලැබෙන්නේ නැත. 13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් රනිල් සමග සාකච්ඡා පවත්වන්නටවත් බොහෝ දෙමල පක්ෂ සුදානම් නැත. එම නිසා දෙමල හෝ මුස්ලිම් පක්ෂ නොමැතිව ඉදිරි දේශපාලන කටයුතු දියත් කරන්නට රනිල්ට සිදුව තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂයට දෙමල හා මුස්ලිම් ඡන්ද  පදනමක් කවදත් පවතින  අතර එම ඡන්ද පදනම සමග අන්තවාදී දෙමල හා මුස්ලිම් පක්ෂ නොමැතිව තම දේශපාලන ගමන යන්නට ඇතැම්විට රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා වන්නට පුළුවන .

ජන මාධ්‍ය  වෙත බලපෑම්

මේ අතර රජය විසින් තමන් විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කර ගෙන තේරීම් කාරක සභා පත් කිරීම රටේ මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එක අතකින් අදාළ මාධ්‍ය ආයතන බියපත් කරනවා සේම අනෙකුත් මාධ්‍ය ආයතනවලටද තමන්ට අවනත වන ලෙස එමගින් අනිසි බලපෑමක් කරයි. මේ තත්වය 2015 දී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වූ අවස්ථාවේද අප දුටුවෙමු. එදා රනිල්ගේ විවේචනයට ලක්වූ මාධ්‍යවේදීන් අද රනිල් ළඟ සේවය කරති. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා ඇතැම්  මාධ්‍ය ආයතන  අතර පවතින ගැටුම්කාරී තත්වය විසඳා ගැනීම පාර්ශව දෙකටම සුභාදායකය. අනෙක් අතට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඍජු පසුබිමකින් පැවත එන ජනාධිපතිවරයා මීට වඩා  නම්‍යශීලී ප්‍රතිපත්තියක් මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කිරීම ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු වලටද යහපත් වනු ඇත. අනෙක් අතට මාධ්‍ය විසින් පවසන්නේ  රට තුල සියලු දෙනා භුක්ති විඳින රටේ පවතින වර්තමාන තත්වයයි. රටේ පවතින තත්වය සම්බන්ධයෙන්  මාධ්‍ය පවසන්නේ අසත්‍යයක්  නම් ජනතාව එම මාධ්‍ය ප්‍රතික්ෂේප කරනු ඇත.

ඉන්දියාවේ ස්ථාවරය

මෙරට දේශපාලනය සම්බන්ධයෙන් ඉන්දියානු බලපෑම රහසක් නොවේ. බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව අවස්ථා කීපයක් හැරුණු කොට  ශ්‍රීලංකාවේ  ආණ්ඩු පත් කලෙත්, බලයෙන් පහ කලෙත් ඉන්දියාවය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය හා මහා මැතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ තීරීම තම වැදගත්ය. 13 වන ව්‍යවස්ථා  සංශෝධනය බලාත්මක කරන ලෙස ඉන්දියාවෙන් කෙරෙන බලපෑම සුළුපටු නැත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චීනය සමග කටයුතු කල අකාරය නිසා  ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්වයන් යලි ඇති නොවන්නට  ඉන්දියාව කටයුතු කරනවා විය හැක.

මෝඩි අගමැතිවරයා කච්චතිව් දූපත ශ්‍රීලංකාවට ලබා දීම ගාන්ධිවරුන් විසින් සිදු කල  වැරදි තීන්දුවක් ලෙසට ඉන්දීය පාර්ලිමේන්තුවේදී සිදු කල ප්‍රකාශය මේ අවස්ථාවේ තීරණාත්මකය.

මේ වන විට මනිපූර්  ප්‍රාන්තයේ ඇතිවූ ජාතිවාදී ගැටුම් හා මරණ හේතුවෙන්  ජනප්‍රියතාවයේ ගැටලුවකට මුහුණදී සිටින මෝඩි අගමැතිවරයා තම ජනප්‍රියතාවය පවත්වා ගෙන යාම සඳහා ඉන්දීය ජනතාවගේ හදවත් වලට කතා කල යුතුව තිබේ.
එසේම මේ වන විට  ශ්‍රීලංකාවේ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයටද ඉන්දියාවට චෝදනා එල්ල වෙමින් තිබේ.  මේ සියලු දේ අතරේ පසුගිය කාලයේ මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයේදී ශ්‍රීලංකාව අද පවතින තත්වයට හෝ ගොඩ ගන්නට උදව් කලේ ඉන්දියාවය. එම උදව් නොවන්නට මේ වන විට කවර තත්වයක් මෙරට පවතීද යන්න සැක  සහිතය. මේ නිසා ශ්‍රීලාංකික ජනතාව හා ඉන්දියාව අතර පවතින ආගමික හා සංස්කෘතික සම්බන්ධය මිතුරු බව දිගටම පවත්වා ගෙන යාම දෙපාර්ශවයේම වගකීමකි.

කැබිනට් සංශෝධන

ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් විශාල පරිමාණයේ කැබිනට් සංශෝධන නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත, එහෙත් කැබිනට් මණ්ඩලයේ සුළු සංශෝධන කීපයක් ඉදිරි දිනවලදී  සිදු කිරීමට නියමිත අතර එහිදී රජයට එක්වන කීපදෙනෙකුට හා පොහොට්ටුව හා පවතින  ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පොහොට්ටුවේ කීපදෙනෙකුට ඇමති ධුර ලබා දීම ඉදිරියේදී සිදු කරන්නට නියමිතය. පොහොට්ටුවේ පිරිසකට ඇමතිධුර ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා ව්‍යාපාරිකයකුගේ කොළඹ  නිවසේදී සිදුවූ රනිල් – බැසිල්  හමුවේදීද කතාබහට ලක්ව තිබේ.

ජනතාව දැඩි  අසීරු තත්වයක

රටේ ජනතාවට එදිනෙදා ජීවන  තත්වය සුළුවෙන් පවත්වා ගෙන යන්නට පවා නොහැකි තත්වයකට ජනතාව පත්ව සිටිති.

රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ.

මේ අතර මෙම වසරේ මුල් මාස පහ තුළ රජයේ සාමාන්‍ය දිනක වියදම රුපියල් කෝටි 1425 ක් බව පැවසූ මේ අනුව තම සියලු වියදම් පියවා ගැනීම සඳහා රජයට දිනකට රුපියල් කෝටි 677කට ආසන්න ණය මුදලක් ගැනීමට සිදුව ඇත.

රජය සිය වියදමින් සියයට 91 ක් දරන්නේ පුනරාවර්තන වියදම් ( වැටුප් ) සඳහා වන අතර  ප්‍රාග්ධන වියදම් සඳහා වැය කෙරෙන්නේ සියයට 9 කි.මේ අතර මෙම වසරේ පසුගිය මාස පහ තුළ රජයේ මුළු ආදායම රුපියල් කෝටි 112243 ක් වන අතර රජයේ වියදම රුපියල් කෝටි 213710 කි.

රජය 2023 අයවැය අනුව ආදායම ලෙස රුපියල් කෝටි 341500 ක් අපේක්ෂා කළද මුල් මාස පහ තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 112243 ක් පමණකි. මේ අතර රටේ විදේශ ණය  ඉහල යමින් පවතී. දැනට ණය  ගෙවීමක් සිදු නොවන බැවින්  හා විදෙස්ගත ශ්‍රීලාංකියන්ගෙන් ලැබෙන ප්‍රේෂණ නිසා රටේ එදිනෙදා වියදම් පවත්වා ගෙන යා හැකිවී තිබේ. එහෙත් ණය ගෙවීම නැවත ආරම්භ කල පසු  යලිත් ආර්ථික අර්බුදයක් හට ගනු ඇත. එම නිසා වියදම් අඩුකර ජනතාවට අවම තත්වයකින් හෝ ජීවත්විය හැකි තත්වයක් රටේ වහාම ඇති කල යුතුව තිබේ. විශේෂයෙන්ම විදුලි බිල්පත් හා ජල බිල් පත් සඳහා රජය වහාම ජනතවට සහනයක් ලබා දිය යුතුව තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan