Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ක්‍රීඩාවක් වෙනුවට සෙල්ලමක් වුණ ලංකාවේ බේස්බෝල්

ශ්‍රී ලංකාවේ සමහර ක්‍රීඩා තියෙනවා එහි ඉහළම පුටුවෙන් මනින්න බැහැ.ඒ වෙනුවට පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නිල තනතුරු නැතුව හෝ ඇතුව ක්‍රීඩාවේ අයිතිය පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යනවා.සමහර විට ඒ බලයම යොදලා දේශපාලනයෙදි වගෙ ක්‍රීඩාවෙ පවුල් ගස් පැල කරන්න වුණත් එහෙම අයට පුළුවන්.බේස්බෝල් ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් එක දිගට එහෙම බලවත්ව ඉන්නෙ කවුද කියලා බේස්බෝල් දියුණු නොවන්නේ ඇයි කියලා හොයන්න ඕනිනම්,ඉතිහාසය හැදෑරීමෙන් ඉනික්බිති ඒ පුද්ගලයා හෝ කණ්ඩායම ප්‍රශ්න කිරීමෙන් වැඩේට හොඳ ආරම්භයක් වෙයි.
මේ ක්‍රීඩා පරිපාලනවල රෙදි එයාලම අල්ලන් ඉන්නෙ නැහැ.ඒව අල්ලගෙන ඉන්න අත් දෙන දේශපාලනඥයොත් ඉන්නවා.මතක ඇති පසුගිය කාලයේ කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට වෙච්චි දේ.ඒ වෙලාවට වචනවලින් ගැහැව්වට ඒ හඬ විතරක් ඉතුරු වෙලා ඉවත් කරනවා,කියන එක ඇත්තටම ක්‍රියා පදයක් හැටියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.බේස්බෝල් ගැන ඉතිං කතා ලිව්වත් ක්‍රීඩා ඇමති කියන්නෙ රොෂාන් රණසිංහට කියන තවත් නමක් විතරක් වගේ නිසා ක්‍රියාත්මකවීමක් ගැන හිතන්න බැහැ.හැබැයි ඔහුට මේවා නොදැනෙනවා වෙන්න බැහැ.කියන දේවල් දැණුනට කිව්වට කොහෙන් හරි ඒවා වැඩ කරන එක නැවතිලා තියෙන්නෙ.
දකුණු ආසියාවේ එකම බේස්බෝල් ක්‍රීඩාංගණය තියෙන්නෙ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ.ඒකෙ වල් ටික කපාගන්න විදිහක් නැතුව මලින්ද අරුමාදුර තරගාවලිය කල් දාන්න වෙන පරිපාලනයක් ගැන හිතීමම ක්‍රීඩා නොකරන අයෙක්ට වුණත් අවුලක් නේද?දැන් ඒකෙ වල් නෙලන්න සුගතදාසෙ ඉදලා වල් කපන යන්ත්‍රය ගෙන්න ගන්න බැරි වීම කියන තැන ගත්තොත් ඒ යන්ත්‍රය ගෙන්න ගන්න ක්‍රම කියක් ඔවුන් හිතන්න ඕනිද?නැත්නම් වෙන යන්ත්‍රයක් හොයා ගන්න තියෙන විකල්පමොනවාද?අවසානයේ එය සුගතදාස යන්ත්‍රයෙන් සිඳු වුණේ නැහැ.ඒ සිද්ධ කරපු විදිහට පරිපාලනය යන්න තිබුණෙ තරගාවලිය කල් නොදමා නෙමෙයිද?
එකම දෙයක් එකම විදිහකින් හිතන ඒක සාර්ථක කරගන්න වෙනත් මාර්ග නොසිතන හෝ සැළසුම් නොකරන ජාතික ක්‍රීඩා පරිපාලන ඒකකයක් එක්ක ඒ ක්‍රීඩාව කොච්චර දුර යයි ද?
අලුත්ම සෙල්ලම ඊට වඩා දරුණුයි.ඒ හෙට ආරම්භ වන ආසියාතික මට්ටමේ තරගාවලියක්.ශ්‍රී ලංකාව ඒ සඳහා ඉල්ලුම් කරලත් නැහැ.ජාත්‍යන්තර වශයෙන් බේස්බෝල් ක්‍රීඩාව වඩා සීඝ්‍රයෙන් ජනතාව අතරට රැගෙන යාමට සහ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට හදපු කණ්ඩායමකට පස් දෙනෙක් ඇතුළත් වන තරගාවලියට ශ්‍රී ලංකාව ඉල්ලුම් කරලා නැහැ.මේ ආකෘතිය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් බව එහි සභාපති වන අසංග සෙනවිරත්නට වුණත් තේරෙන්න ඕනි.මේ සම්බන්ධ වැඩ කටයුතු කරන වැඩේ පුළුවන් කියලා ඇවිත් බැහැ කියලා ගිය නිශ්ශංක සේනාධිපතිගෙ කාලයටත්,ඊට ඉස්සර හිටපු නිලධාරි මණ්ඩලයේ අවසාන කාලයටත් අදාළ වෙනවා.මේ හැම කාලෙම හැමෝම එක්ක ඉන්න තමන්ට සුදුසු පරිදි හැසිරෙන්න පුළුවන් විදිහට නමක් ගෙනත් පුටුවෙ ඉන්දගන්න අයටත් අදාළයි.
ලංකාවට මේ ආකෘතිය ඇතුළෙ හපන්කම් පාන්න තියෙන ඉඩ වැඩියි කියන එක අසංගට අසංග බේස්බෝල් එක්ක සම්බන්ධ වෙන්න ඉස්සර හිටපු රගර්වලින්ම ගන්න පුළුවන්.මුළු කණ්ඩායම එකතු වී කරන රගර්වලට වඩා සත් සාමාජික රගර්වලට ලංකාව දක්ෂයි.උපායශීලීවීමෙන්,වේගවත්කමෙන් රගර්වල දැවන්ත ශරීර කූඩුවල අවශ්‍යයතාවය සෑහෙන දුරට සත් සාමාජික රගර්වලදි වැහෙනවා.ඒක පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදි ඔප්පු වෙනවා.
ඒත් අසංගට තියෙන්නෙ කණ්ඩායම් ක්‍රීඩාවකට වඩා පුද්ගල ක්‍රීඩාවකට ඇති කැමත්ත.ආසියානු රගර් එක ඇතුළෙ ඔහු හිතන්නෙ තමන්ගෙ වටපිටාව ගැන.ජයග්‍රහණයට කෙටි මාවත් හොයපු අවස්ථාවක් නිසා අදත් වසර ගාණක් ගාණෙ ජාත්‍යන්තරය විසින් පනවපු දඩයක් ශ්‍රී ලංකා රගර් කොටස් වශයෙන් ගෙවමින් ඉන්නවා.ඒ විදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ධජය යටතේ ජාත්‍යන්තර පිටියට ගෙන ඒමේ වරදකට.එහෙම අවස්ථාවකදි සාමාන්‍යයෙන් රටක් ආයෙමත් ක්‍රීඩාවක ඉහළ පුටුවක් ලබන්න එවැනි අයට අවසර දෙනවද?ඒ වරද සංගමයක් විසින් සංගමයෙ සල්ලිවලින් ගෙවා දාන්න ඕනිද?ලංකාව කියන්නෙ එහෙම ප්‍රතිපත්තියක ඉන්න රටක් නෙමෙයි.
ඒ නිසා ඒ විදිහටම තමන්,තමන්ගේ පවුල වැනි කාරණාවලට ලඝු වූ පිරිසකට බේස්බෝල්වල ඉහළ පුටුව අවශ්‍යය වෙන්නෙ ප්‍රාතිහාර්ය පාන කෙනෙක් නෙමෙයි.ඒ වගෙම ස්ර් ඉඳගෙන ඉන්න අපි බලා ගන්නම් කියලා විශ්වාසයක් හදලා ගෙනත් ඉහළ පුටුවෙ නමක් ඉන්දගෙන තමන්ගෙ සෙල්ලම කරන අයට අසංග නමක් විතරයි.ඒ නමේ යම් සිවිල් බලයක් තියෙනවනම් වැදගත් ඒකයි.
ඒනිසා කාගෙවත් වගකීම් සහිත උවමනාවක් නොතිබුණ නිසා හෙට ඇරඹෙන තරගාවලිය ගැන ශ්‍රී ලංකාවෙන් ඉල්ලුම්පත්‍රයක්වත් යැවෙන්නෙ නැහැ.සමහර විට මේ විද්‍යුත් තැපෑලෙන් එන තොරතුර කාගෙ හරි ආයතනික විද්‍යුත් ලිපිනයකට යොමු වෙලාද දන්නෙ නැහැ.එහෙම ක්‍රීඩා සංගම් තියෙනවා.සංගමය විද්‍යුත් තැපැල් ලිපිනයක් නැති.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි ආයතනත් සමහර විට ඒ ලිපිනවලටම ලිපි යොමු කරනවා.අඩු ගාණෙ රජයට මේ ක්‍රීඩාං සංගම්වලට නිරන්තරයෙන් පවතින වෙබ් අඩවියක් හදලා දීලා එක් පාලනය කරගෙන යන්න මඟ පෙන්වන්න බැරිද?ඒ වගෙම විද්‍යුත් තැපැල් ලිපින හදා දෙන්න බැරිද?
කොහොම හරි කාගෙ ළඟට ආවත් මේ තරගාවලිය සම්බන්ධයෙන් තොරතුර ශ්‍රී ලංකා බේස්බෝල් ළඟට ඇවිත් නැහැ.එහෙම ඇවිත් තිබුණනම් මේ වෙනකොට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ඉන්නෙ මැලේසියාවේ.මෙ තරගාවලියට පෙර පුහුණුකරුවන් සහ නිලධාරීන් සඳහා දෙදින වැඩ මුළුවක් පැවත්වෙනවා.ඒකට මේ වන විට 41 සහභාගි වෙනවා.ඒ මේ ආකෘතිය ගැන රටේ ව්‍යාප්ත කරන්න ලැබෙන ඉඩත් බේස්බෝල් පරිපාලනය අතින් වැහිලා.
මැලේසියාව, ජපානය, දකුණු කොරියාව, හොංකොං, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ චීන තායිපේ සහභාගි වන මේ තරගාවලියෙදී පළමු ස්ථානය,දෙවන ස්ථානය සහ තෙවන ස්ථානයත් නම් කරනවා.
ලෝක බේස්බෝල් සැහැල්ලු පන්දු සම්මේලනය මේ තරග ආකෘතිය සම්බන්ධයෙන් දක්වන අදහස්වලදි එය ක්‍රීඩා කිරීමට රබර් බෝලයක් පමණක් අවශ්‍ය වන අතර පිතිකරණයක් අවශ්‍ය නොවේ, එබැවින් කලින් ප්‍රවේශ විය නොහැකි ප්‍රදේශවලට බේස්බෝල් ගෙන ඒම සඳහා නිර්මාණය කරපු ආකෘතියක් බවත් සඳහන් වෙනවා.දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් බවට පත් වී ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තණකොළ කපාගන්නවත් බැරි,ඒවා උලා කන්නට යෙදිය හැකි වර්ගයේ පරිපාලනයක් සිටියත් එකම බේස්බෝල් ක්‍රීඩංගණය ඇති රටයි.
ඒත් ක්‍රීඩාවක් එක්ක සෙල්ලම් කරන පරිපාලනයකින් ක්‍රීඩාවෙන් රටකට ලැබිය යුතු අවස්ථා අහිමි වෙනවා.
තරගාවලියට සහභාගිවන කණ්ඩායමක අයෙක් අහනවනම් ඇයි උඹලා එන්නෙ නැත්තෙ?උඹලා මේකට ඉල්ලලා නැත්තෙ ඇයි කියලා…ඒත් අවුලක් නැද්ද?
ක්‍රීඩා පරිපාලන ඒකක සෙල්ලම් කරන්නෙ ක්‍රීඩා අමාත්‍යංශ්‍ය සහ සංවර්ධන දෙපාර්තමේන්තු වැඩ කරන්නෙ බොහෝ වෙලාවට ඇමතිතුමාගේ හිත නොරිද්දන එක තමන්ගේ රාජකාරිය කියලා හිතාගෙන ඉන්න නිසයි.හරියටම ඒක රජවාසලක් වගෙ.ප්‍රශස්ති කියන වන්දිභට්ටයන්ගෙන් පිරිලා.
“මං රජවෙච්චි දා ඉදලා ඇහෙන්නෙ ඔච්චරයි.අපේ කිරි කිත්තලාට වන්දිභට්ටයො කිව්වෙත් ඔය සිංදුවමයි.අඩු ගණනෙ මුන්ට අලුත් කවියක්වත් හදාගෙන කියන්න බැරිද?”
සුබ සහ යස නාට්‍යයේ එන මේ දෙබස හරි අපූරුය.එහෙම වෙනස් අදහස් කියන්න හිතන වන්දිභටිටයන් නැති වූ සේම එහි එන ඇමතිවරුද සමප්‍රදායික ඇගයීම්වලින් සැනසෙන්නෝ වෙති.ඒ නිසා බේස්බෝල් නොවේ කිසිම සෑම ක්‍රීඩාවක්ම පාහේ එහි විද්‍යාත්මක අරුතෙන් ගැඹුරෙන් තේරුම්ගෙන ක්‍රියාත්මක වටපිටාවක් සහිත එකක් වෙනුවට සෙල්ලමක් විදිහට පැවතෙන තැනක සිරව හුස්ම හිර කරගෙන සිටියි.ඒ හුස්ම හිර කරන චණ්ඩාලයෝ හැමතැනම වෙන වෙන රූපවලින් රජවාසලට හිතවත් රසවන්තයෝ තමන්ගේ පැවත්මට පෙරටු කරගෙන පසුපසින් සිට වැජඹෙති.බේස්බෝල් කතාවද එබඳුය.තණකොළ කපා ගන්නට බැරි වුණත් තමන්ගේ කොටස ජාත්‍යන්තර වශයෙන් කපා ගන්නට පරිපාලනයට ඉඩ දි ඉහළ වගකිව යුත්තෝ නිදි කිරති.එහෙත් එය අරුමයක් නොවේය.
මේවා ඕනෑම කෙනෙකුට දී යන්නට සූදානම් බව මේ වන විට සමහරු පවසති.ඒ සමස්තය එරි ගිය පසු ඒ වගකීම තවත් අය පිට පටවා වගකීමෙන් මිදෙන්නටය.යැවිය යුතු තැන් හී උසාවි නියෝගය ගන්නට ඉදිරිපත් නොවී නිවසින් පැන පාරේ හිටිය අයගේ මේ කතා පලක් නැත.ඉතිහාසය හොඳට මතකය.අනාගතයට තියෙන බාධක ඇති වූ හැටි විමර්ශනයක් කරන්නට ක්‍රීඩා අමාත්‍යංශ්‍යට,සංවර්ධන දෙපාර්තමේන්තුවට වගකීම පවරන්න නැතිනම් නියෝග කරන්න ක්‍රීඩා අමාත්‍යවරයා ස්වාධීන වෙයිද?ජාතික ක්‍රීඩා සභාවේ සිටින මිතුරන් වර්ථමානය වෙනුවෙන් බේස්බෝල් ඉතිහාසයත් ආරක්ෂා කර දෙන්නට මැදිහත් වීමේ නාට්‍යයකුත් එවැනි අවස්ථාවක අපට නරඹන්නට හැකි වෙනු ඇත.
මෙහි දැක්වෙන ඡායාරූපය මැලේසියාවේ පැවත්වෙන පස් සාමාජික බේස්බෝල් තරගාවලිය සමබන්ධයෙන් පැවත් වූ මාධ්‍ය සාකච්ඡාව සමඟ බැඳුණු එකකි.

RM

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.