සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මේ වන විට මුහුණ දෙමින් සිටින ඉබෝලා වසංගතය, එරට ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය බවට පත්ව තිබේ.
කොංගෝ රජයේ නවතම සංඛ්‍යාලේඛන අනුව, මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 2,325 දෙනකු ඉබෝලා ආසාදනයෙන් මියගොස් ඇති අතර, තහවුරු කළ ආසාදිතයන් සංඛ්‍යාව 4,945 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ පමණක් නව ආසාදිතයන් 101 දෙනකු හඳුනාගෙන ඇත.
කොංගෝවේ පළාත් 26න් මේ වන විට පළාත් හයකට ඉබෝලා පැතිර තිබේ. ඉබෝලා වසංගතයේ මූලාරම්භය ලෙස හඳුනාගෙන ඇත්තේ Ituri පළාත වන අතර, එහි පමණක් ආසාදිතයන් 3,400කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මෙය කොංගෝ ඉතිහාසයේ 17 වැනි ඉබෝලා වසංගතය වන අතර, වෛරසයේ දන්නා ඉතිහාසය තුළ වේගයෙන්ම වර්ධනය වන වසංගතය ලෙසද මෙය සැලකේ.
වත්මන් වසංගතයට හේතු වී ඇත්තේ Bundibugyo නම් දුර්ලභ ඉබෝලා වෛරස් ප්‍රභේදයකි.
මෙම ප්‍රභේදය සඳහා මේ වන විට අනුමත එන්නතක් හෝ ප්‍රතිකාරයක් නොමැති අතර වසංගතය පාලනය කිරීමේදී ඇති ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ ආසාදිතයන් ප්‍රමාද වී හඳුනාගැනීමත් ජනතාව නොසැලකිලිමත්ව කටයුතු කිරීමත්, සෞඛ්‍ය ආරක්ෂිත පිලිවෙත් පිළිනොපැදීමත් ය.
සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ බොහෝ රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට පෙරම බරපතළ තත්ත්වයට පත්වන බවයි. ඇතැම් පුද්ගලයන් රෝගය හඳුනා ගැනීමටත් පෙර ප්‍රජාව තුළම මිය යන බවද වාර්තා වේ.
කොංගෝවට අමතරව අසල්වැසි උගන්ඩාවෙන්ද ඉබෝලා ආසාදිතයන් 20 දෙනකු පමණ වාර්තා වී ඇති අතර එම සියලුම සිද්ධීන් අගනුවර Kampala නගරයෙන් වාර්තා වී ඇති අතර, ජුනි 21 වැනිදායින් පසු එරටින් නව ආසාදිතයකු වාර්තා වී නොමැති බව සඳහන් වේ.
කොංගෝවේ සහ උගන්ඩාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් WHO විසින් මැයි මාසයේදී මෙම වසංගතය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඉබෝලා වෛරසය ආසාදිත පුද්ගලයකුගේ රුධිරය, ශරීර දියර හෝ ආසාදිත මළ සිරුරක් සමඟ සෘජු සම්බන්ධතාවයෙන් පැතිරිය හැකිය. ආසාදිත ඇඳුම්, ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය හරහාද වෛරසය පැතිරිය හැකිය.
උණ, දැඩි වෙහෙස, හිසරදය සහ උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ ආරම්භ විය හැකි අතර පසුව වමනය, පාචනය, උදර වේදනාව සහ වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම වැනි බරපතළ රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

