රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
වසර කිහිපයක නිහඬතාවයෙන් පසුව, කිම් ජොන් උන් තමාගේ පණිවිඩයකට අවසානයේ ප්‍රතිචාර දක්වා ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික තීරණාත්මක පිටුවක් පෙරළී ඇත.
කිම් ජොන් උන්ගෙන් ලැබුණු ‘ධනාත්මක’ ප්‍රතිචාරය සහ නිහඬතාවය බිඳීම
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් විසින් සිදු කරන ලද හෙළිදරව්ව ජාත්‍යන්තර අවධානයට ලක් විය. 2019 වසරේ සාකච්ඡා බිඳවැටීමෙන් පසුව පැවති දීර්ඝ නිහඬතාව බිඳ දමමින්, ප්යොන්ග්යැන්ග් පාලනයෙන් තමාට ප්‍රතිචාරයක් ලැබුණු බව ඔහු සනාථ කළේය. මෙම හුවමාරුව “ඉතා ධනාත්මක” මට්ටමක පවතින බව පවසන ට්‍රම්ප්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.
ට්‍රම්ප් මාධ්‍යවේදීන්ගේ කුතුහලය හමුවේ සිය අභිමානය මෙසේ ප්‍රකාශ කළේය…
“ඔහු ප්‍රතිචාර දක්වා නැති බව ඔබ දන්නේ කොහොමද? … ඔව්, ඔහු ප්‍රතිචාර දක්වා තිබෙනවා.”
මෙම ප්‍රකාශය හරහා පෙනී යන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල පෞද්ගලික මානයට ට්‍රම්ප් තවමත් වැඩි බරක් තබන බවයි.
යුද අභ්‍යාස අඩු කිරීම: සහයෝගීතාවයද නැතහොත් උපායමාර්ගික පසුබැසීමක්ද?
කිම් සමඟ සබඳතා අලුත් වනවාත් සමඟම, ට්‍රම්ප් විසින් පෙන්ටගනයට සුවිශේෂී නියෝගයක් ලබා දී ඇත. ඒ, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස "සැලකිය යුතු ලෙස අඩු කරන" (substantially reduce) ලෙසයි. මෙම අභ්‍යාස අධික පිරිවැයක් දරන “නිරර්ථක ක්‍රියාවක්” ලෙස හඳුන්වන ට්‍රම්ප්, එය උතුරු කොරියාවට නිකුත් කරන සතුරු සංඥාවක් බවද අවධාරණය කළේය. මෙහිදී ඔහු සාම්ප්‍රදායික මිලිටරි සන්ධානවලට වඩා පෞද්ගලික මිත්‍රත්වයට මුල් තැන දෙන බව පෙනෙන්නට තිබේ.
දකුණු කොරියාවට එල්ල වූ ‘ඉරාන’ පීඩනය සහ 39,000ක සෙබළ තුරුම්පුව
මෙම සිදුවීම් මාලාවේ වඩාත්ම පුපුරන සුලු හෙළිදරව්ව වන්නේ, ට්‍රම්ප් සිය යුද අභ්‍යාස අඩු කිරීමේ තීරණය දකුණු කොරියාවේ ඉරාන ස්ථාවරය සමඟ සම්බන්ධ කිරීමයි. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කරන යුදමය ක්‍රියාමාර්ගවලට සහාය දීම දකුණු කොරියාව ප්‍රතික්ෂේප කිරීම ට්‍රම්ප්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් විය. දකුණු කොරියාවේ ආරක්ෂාව වෙනුවෙන් රඳවා සිටින 39,000ක ඇමරිකානු සෙබළුන් ඔහු මෙහිදී භාවිතා කළේ බලවත් “තුරුම්පුවක්” (leverage) ලෙසිනි.
ට්‍රම්ප් සිය උපහාසාත්මක ස්වරයෙන් මෙසේ දකුණු කොරියාව විවේචනය කළේය..
"අපි සෙබළුන් 39,000ක් එහේ රඳවලා ඉන්නවා, ඔයාලගේ අසල්වැසියා වන කිම් ජොන් උන්ගෙන් ඔයාලව ආරක්ෂා කරන්න. ඒත් ඉරානයේ තියෙන ඉතා පහසු යුද මෙහෙයුමකට ඔයාලා අපිට උදව් කරන්නේ නැහැ. එය සැබවින්ම විමතියට කරුණකි."
මෙය හුදු ආරක්ෂක සහයෝගීතාවයක් නොව, “අපි උදව් කරන්නේ අපට උදව් කරන අයට පමණයි” යන ට්‍රම්ප්ගේ ගනුදෙනුකාරී (transactional) විදේශ ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු කරන්නකි.
පෞද්ගලික රසායනය සහ දරුණු ගෝලීය යථාර්ථය
“මම ඔහුව තේරුම් ගන්නවා, ඔහු මාව තේරුම් ගන්නවා” යනුවෙන් ට්‍රම්ප් පවසන අතරතුර, භූමියේ පවතින යථාර්ථය ඊට වඩා සංකීර්ණ සහ භයානක ය. උතුරු කොරියාව මේ වන විට රුසියාව සමඟ අතිශය සමීප සබඳතා පවත්වන අතර, යුක්‍රේනයේ සපෝරිෂියා (Zaporizhzhia) වානේ කම්හලකට එල්ල වූ ප්‍රහාරය වැනි අවස්ථාවලදී උතුරු කොරියානු මිසයිල භාවිත වූ බවට තොරතුරු වාර්තා වේ.
තවද, කිම් ජොන් උන්ගේ සොහොයුරිය වන කිම් යෝ ජොන් මීට පෙර අනතුරු අඟවා තිබුණේ, න්‍යෂ්ටික වැඩසටහන් අවසන් කිරීමේ උපකරණයක් ලෙස පෞද්ගලික සබඳතා භාවිතා කිරීම “අපහාසයට” (mockery) කරුණක් වනු ඇති බවයි. චීනය සහ රුසියාවේ ශක්තිමත් සහයෝගය ඇතිව කිම් ජොන් උන් පෙරට වඩා ශක්තිමත් ස්ථාවරයක සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එසේ වුවද, ට්‍රම්ප් සිය විශ්වාසය අතහැර නැත.."කිම් ජොන් උන් සැමවිටම මට ඉතා ඉහළ ගෞරවයකින් සැලකුවා."
වොෂින්ටනයේ උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ කොරියානු වැඩසටහනේ ප්‍රධානී වික්ටර් චා පවසන්නේ, ට්‍රම්ප්ගේ මෙම උතුරු කොරියානු ප්‍රවේශය පිටුපස ඉරාන යුද්ධයේ අසාර්ථකත්වයන්ගෙන් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් තිබිය හැකි බවයි. උතුරු කොරියාව වහාම ප්‍රතිචාර නොදක්වනු ඇති බවත්, ඔවුන් "තම කාලය එළඹෙන තෙක් බලා සිටිනු" ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


