රෂිකා හෙන්නායක අගෝස්තු 19 , කොළඹ LNW :
ඉන්දියානු ජාතිකයෙකුට ඇප තැබීම සඳහා මුදල් ලබා ගැනීම සහ අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ කොළඹ, සංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (19) දින වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී.
හුසේන් මොහොමඩ් සහ හසීත් මොහොමඩ් නමැති මෙම විත්තිකරුවන් දෙදෙනා, හඳුනානොගත් පුද්ගලයෙකුට ඇප තැබීමට මුදල් ලබා ගැනීම, අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සහ එම වරදට අනුබල දීම යන චෝදනාවලට දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙසේ වරදකරුවන් විය.
ඇප ලබා දීමට සූදානම් බව දක්වමින් විත්තිකරුවන් ව්‍යාජ දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවට අධිකරණ ලේඛකාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් මෙම නඩුව පවරා තිබුණි.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටියේ නැත. විත්ති කූඩුවේ සිටි සැකකරුවන් දෙදෙනා තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ. තමන්ට කුඩා දරුවෙකු සිටින බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස පළමු විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නඩුව මෙහෙයවූ වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදලට ඇප තැබීමට ඉදිරිපත් වන පුද්ගලයන්ට උපරිම දඬුවම් දිය යුතු බවයි.
මුදලට ඇප තැබීමට ඉදිරිපත් වන පුද්ගලයන් මෙවැනි වැරදි කිරීම වැළැක්වීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමේ දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටි පොලිසිය, දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුවන් වරදකරුවන් වී ඇති බවද පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විත්තිකරුවන් දෙදෙනාට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
කෙසේ වෙතත්, විත්තිකරුවන් මාස හයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බැවින්, එම රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලය නියමිත සිරදඬුවම් කාලයෙන් අඩු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


