සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW :

පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 වනදා දක්වා බන්ධනාගාරගත කර ඇත.ඒ මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත් එස්. එච්මාරූස් මහතාගේ නියෝගය මත වේ, මුලතිව්, මුත්තයන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව මුත්තයන්කට්ටු වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් අත් අඩංගුවට ගැනිණ.

එලෙස බන්ධනාගාර ගත කෙරුණේ මුලතිව් 12 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ යුද හමුදා සෙබළුන් සිව්දෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකාර සෙබලු‍න් පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාක්ෂිකරුවන් විසින් පහරදීම සම්බන්ධයෙන් සැකකාර යුද හමුදා සෙබලු‍න් දෙදෙනකු හදුනාගෙන ඇත.

පසුගිය 09 වනදා පස්වරුවේ අබිලි යකඩ එකතු කිරීම සඳහා මුලතිව්, මුත්තයන්කට්ටු යුද හමුදා කඳවුරට පැමිණි තරුණයෙකු යුද හමුදාව දැක පලායාමේදී මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගොස් සිටි අතර ඔහුගේ සිරුර පොලිසිය විසින් පසුදින සොයාගෙන තිබුණි.