රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :
ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණය සමඟ මුසු කරමින් ඩිජිටල්කරණය (Digitalization) කිරීමේ ක්රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහයෝගය ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) දින ධීවර අමාත්යාංශයේදී පැවැත්විණි.
මේ සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාලයේ ජ්යෙෂ්ඨ සංඛ්යාලේඛනඥ ආචාර්ය සංගීතා ඩුබේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.
ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් FAO සංවිධානය විසින් මේ වන විටත් සිදුකර ඇති මූලික ගවේෂණයන්හි ප්රතිඵල පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන්ම, දිවයින පුරා විහිදී ඇති ධීවර වරායන්හි මෙන්ම ලංකා ධීවර සංස්ථාවේද ඩිජිටල්කරණයට අදාළ මූලික පහසුකම් සංවර්ධනය කරමින් ඒවා නවීන තාක්ෂණයට අනුගත කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම ඩිජිටල්කරණ ක්රියාවලියේ ඉදිරි කටයුතු වඩාත් ඵලදායීව සැලසුම් කිරීම සඳහා ප්රමුඛතා අවශ්යතා ඇගයීමක් සිදු කරන්නේ කෙසේද සහ ඩිජිටල්කරණයට අදාළව අමාත්යාංශය හඳුනාගෙන ඇති අවශ්යතාවයන් සම්බන්ධයෙන් FAO ගෙන් තවදුරටත් ලබා ගත හැකි තාක්ෂණික සහයෝගයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතා, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මොහොමඩ් නවුරාස් නසාර් මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
සාම්ප්රදායික ධීවර කර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින්, අපේ ධීවර ප්රජාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් ධීවර අමාත්යාංශය අඛණ්ඩව කැප වී සිටී.


