උපාලි කොළඹගේ
කොළඹ LNW:මේ ආණ්ඩුව ආවට පසු ඉහළ තානාන්තරවලට පත් කළ පුද්ගලයන් රාශියක් දැනටමත් ඉල්ලා අස්වී ඇත. ආණ්ඩුකාරවරුන් ඇතුළු සංස්ථා ප්‍රධානීන් දුසිමකට කිට්ටු සංඛ්‍යාවක් දැනට ඉල්ලා අස්වී ඇති අතර ඉදිරියේ මේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි උපකල්පනය කළ හැක. මෙය අලුත්ම පැෂන් එකක් වී ඇති අතර මෙය මේ දිනවල රාජ්‍ය අංශයේ මෙන්ම දේශපාලන උනන්දුවක් දක්වන අයගේ ජනප්‍රිය මාතෘකාවක් බවටද පත්ව තිබේ.
ඉල්ලා අස්වීම සාමාන්‍යයෙන් කවදත් කොතනත් සිදුවන දෙයක් වුවද,කෙටි කාලයක් තුළ මේ ආකාරයට දුසිම් ගණන් උසස් රාජ්‍ය නිලධාරීන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව මේ යැයි යන්න මගේ මතකයයි.
හැබෑටම මෙසේ සිදු වන්නේ ඇයි? මෙයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කළ යුතුය. නැත්නම් ඉදිරියේදී මෙම තත්ත්වය ආණ්ඩුවේ පැවැත්මටද අභියෝගයක් වීමට ඉඩ ඇත. අස්වන බොහෝ දෙනකු පෞද්ගලික හේතු මත එසේ සිදු කරන බව සිය ඉල්ලා අස්වන ලියුම්වල සඳහන් කළද එය එසේ නොවන බව බොහෝ දෙනකුගේ මතයයි.
ලැබෙන වැටුප මදකම නිසාද? නැත්නම් ඇමති එක්ක ඇරගෙනද යන්න බොහෝ දෙනකු තුළ පවත්නා සැකයයි. එසේ නොමැති නම් පැරණි සම්ප්‍රදායට අනුව අයුතු ලාභ ප්‍රයෝජනවලට ලොබින් ඉහළ තනතුරු භාර ගෙන ඊට ඉඩක් නැති නිසා තනතුරු හැර යනවාද?
කෙසේ වුවත් ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව නම් සමාජය තුළ පැතිර පවත්නා කටකතා ඇත්ත නම් ඒවා ආණ්ඩුවට හිතකර නැත.සමහරුන් පවසනුයේ ආයතන කිහිපයකම ප්‍රධානීන් ඉල්ලා අස්වී ඇත්තේ පැලවත්තෙන් නම් කර අනුයුක්ත කරනු ලබන තරුණයන් සමග ඇති වන මත භේද මෝරා මෙම තත්ත්වය හටගෙන ඇති බවය. ස්වෙච්ඡා පදනම මත පැලවත්තෙන් නම් කරනු ලබන තරුණ තරුණියන් සමග ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අතර නිතර නිතර ආරෝවන් හට ගන්නා බව නම් ප්‍රචලිතය. මෙම තරුණ කොටස් බොහෝ දෙනකු අති උද්වේගකාරීය. වැඩි උගත්කමක් නැති අයද මේ පිරිස අතර බොහෝය. ඔවුන් අවංක විය හැක. එමෙන්ම ගිනි කස සේ වැඩකිරීමේ හැකියාවක්ද ඔවුන් සතුව පවතිනවා විය හැක. නමුත් රාජ්‍ය සේවකයන් සතුව පැවතිය යුතු ශික්ෂණයක් ඔවුන් බොහෝ දෙනකු තුළ නැත. බොහෝ දෙනකු තුළ ඇත්තේ ජේ වී පී මුද්‍රාව පමණි. සුපලිපන්න රාජ්‍ය සේවයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට එය ප්‍රමාණවත් වන්නේ නැත.
මෑතදී තරුණ සමුළුවකදී එම විෂය භාර ඇමතිවරයා කළ කතාවකදී මෙයට ඉඟියක් සැපයින. ඇමතිවරයා එතැනදී ප්‍රකාශ කෙළේ රජයේ ක්‍රියා මාර්ගයට අවනත නොවන නිලධාරීන් සිටින තැන්වල ඔවුන් ඉවත් කර අලුත් අය පත් කළ යුතු බවය. ඔහු එය ප්‍රකාශ කෙළේ අතිශය උද්වේගකාරවය.
කෙසේ වුවත් මට නම් එය තරුණයන්ට කැරට් අලයක් දික් කිරීමක් මිස වෙන යමක් නොවීය. අනාගතයේ බිහිවන වෙනත් ආණ්ඩුවකින් සිදුවන පළිගැනීම්වලට බියෙන් තනතුරු හැරයෑමේ ප්‍රවණතවක් පවතින බවට ද හාහෝවක් පවතී.
අනුර කුමාර ජනාධිපතිතුමනි, ඔබලාට ආපසු හැරීමක් නැත. සීයට සීයක පාරදෘශ්‍යභාවයක් ජනතාව බලාපොරොත්තු වෙති. ඔබත් ඇමති මණ්ඩලයේ සෙසු සාමාජිකයනුත් කියන තරම් එය පහසු නැත. එසේ නොකළොත් හැබැයි කපෝති!


