ආපහු IMF යනවාද නැද්ද කියලා තවම තීරණයක් නෑ. අපිට IMF තාක්ෂණික සහායක් නම් ඕනෙත් නෑ – හුළංගමුව

ජාත්‍යන්තර මූල්ය අරමුදලත් (IMF) සමග ලබන වසරේදී නැවතත් යම්කිසි වැඩසටහනකට අවතීරණ වන්නේද යන්න පිළිබඳව තවමත් රජය තීරණය කර නැති බවත් ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවත් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පවසයි.

“ඇත්තටම කියනවා නම් 2026 අප්‍රේල් මාසයේ ඔය අර්බුදය එනකොට අපිට තිබ්බා ඕනෙ නම් ආනයන අඩුකරන්න. ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ට් කළා නම් දැන් ඔය තෙල්වලට යන වැඩිපුර ඩොලර් ප්‍රමාණය බේරාගන්න තිබ්බා. නමුත් ජනාධිපතිතුමා කිව්වා එහෙම කරන්න බෑ, එතකොට ආර්ථිකය සංකෝචනය වෙනවා, අපි රජය විසින් උදව්වක් දෙන්න ඕනෙ මිනිස්සුන්ට කියලා. අපි ඒක අනුගමනය කළේ. ඉතින් අපි දන්නවා එහෙම කළත් යම්කිසි පීඩනයක් එල්ල වෙනවා ඩොලර් එකට. ඩොලර් එක 330ට විතර යැව්වා. එහෙම ගියත් ප්‍රශ්නයක් නෑ, අපි ආර්ථිකය සංකෝචනය නොවී ආර්ථිකය වර්ධනය රැකගෙන තමයි කරන්න ඕනෙ කරන දෙයක්. අපි ඒකයි සහනාධාරයක් දීලා මැනේජ් කළේ.

එතකොට ඒකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වැඩසටහනකට යනවද නැද්ද කියන එකයි අතරෙයි සම්බන්ධයක් නෑ. ඒ පිළිබඳ සමාලෝචනය කරන්න ජනාධිපතිතුමා කමිටුවක් දාලා තියෙනවා අනිල් ජයන්ත ඇමතිතුමාගෙ ප්‍රධානත්වයෙන්. ඉතින් ඒ කමිටුවෙන් තීරණය කරයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කියන එක සහ යනවා නම් අපේ කොන්දේසි මොනවද කියන එක”

ප්‍රශ්නය – අනිල් ජයන්ත ඇමතිතුමාගෙ ස්ථාවරය වුණෙත් ප්‍රවණතාවයක් තියෙනවා IMF එකට ගිහිල්ලා නැවත එකඟතාවක් ඇතිකරගෙන වැඩසටහනක් එක්ක ඉස්සහරට යන්න කියන එක. ඒක විස්තීරණ ණය පහසුකමක්ම (EFF) විය යුතු නෑ, වෙනත් වැඩසටහනක් එක්ක හරි ඉදිරියට යන්න. එහෙම ප්‍රවණතාවයක් තියෙනවා නම් ආණ්ඩුව ඇයි ඒ විදියට හිතන්නෙ කියන එක මට පැහැදිලි කරගන්න අවශ්‍යයි ?

“ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒකට හේතුව අපේ බාහිර ගිණුමේ තත්වය. අපිට තවම ස්වාධීන වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයනෙ තියෙන්නෙ. අපි IMF එකට නොගියොත් කොහොමද අපේ බාහිර ගිණුමේ යම් හිඟයක් ආවොතින් අපට පුළුවන්ද ඒකට යම්කිසි පියවරක් ගන්න කියන එක. එහෙම නම් මාකට් එකෙන් ගන්න ඕනෙ. මාකට් එකෙන් ගන්නවා නම් අද පොලී අනුපාතය 8%කටත් වැඩියි මං හිතන්නෙ. අපි තීරණය කරන්න ඕනෙ IMF යනවා නම් යන්නේ ආර්ථිකයේ තියෙන දුර්වලතාවයක් නිසා හෝ ආර්ථිකයේ තියෙන අවිනිශ්චිතභාවයක් හින්දා නෙවෙයි. මම දකින හැටියට අපිට මීට වඩා අඩුවට ගන්න පුළුවන්ද සල්ලි ? ISB වලට ගියොත් එහෙම කීයක් ගෙවන්න ඕනෙද පොලිය විදියට ? ISB වලට ගියොත් සාමාන්‍යයෙන් 9% – 10%ක් ගෙවන්න වෙයි පොලිය. එතකොට අපිට ඒ ගාණ පියවන්න අමාරුයි. එහෙම නැතිව අපිට පුළුවන්ද IMF හෝ ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව හෝ වෙනත් ආයතනයකින් ඊට අඩුවට ගන්න ? ඒ තත්වය තමයි බලන්නෙ වැඩිපුරම. මොකද අපි දැනට IMF යනවා නම් යන්න ඕනෙ මූල්‍යමය සහාය ගන්න. අපිට තාක්ෂණික සහායක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අපිට තියෙනව විනයක් අපේ වියදම් යම්කිසි ආකාරයකට පාලනය කරගන්න, අපේ ආදායම වැඩිකරගන්න, අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය පවත්වාගෙන යන්න, අපේ ණය ගැනීම් පිළිබඳ යම්කිසි විනයක්, අපිට ඒවා තියෙන්න ඕනෙ IMF ගියත් නැතත්. මට හිතෙනවා අපේ ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන් කියලා. මොකද අපේ ඔය සාකච්ඡා යනකොත් මට පේනවා එතුමාගේ ඒ වගේ ස්ථාවරයක ඉන්නෙ. මම හිතන්නෙ අපි ආයෙ පාරක් IMF යන්න ඕනෙ, ආයෙ පාරක් අපිට විස්තීරණ ණය පහසුකමක් අවශ්‍ය නෑ, අපිට යම්කිසි අඩුපාඩුවක් වුණොතින් ඒක සපුරාගන්න පුළුවන්ද කියන එක බලන්න ඕනෙ. අපිට ඒක ISB කරන්න පුළුවන්, IMF කරන්න පුළුවන්, ලෝක බැංකු කරන්න පුළුවන්, මොන ආයතනයට අපි යන්නේ, ඒ පොලී අනුපාතය මොකක්ද, ඒ පැත්ත තමයි අපි බැලිය යුත්තේ”

ප්‍රශ්නය – මේ වෙද්දී ජාත්යන්තර මූල්‍ය අරමුදලට යම්කිසි සංඥාවක් හෝ දීලා තියෙනවාද සාකච්ඡා අතරතුර, අපි නැවත වැඩසටහනක් ගැන සාකච්ඡා කරනවා කියලා ?

“නැහැ, අපි එහෙම නිල වශයෙන් දීලා නැහැ. ඒකට තමයි අර කමිටුව දැම්මෙ”

ප්‍රශ්නය – මම දැක්කා පාර්ලිමේන්තුව තුළත් ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා මේ තීරණය ගන්නවා නම් මේක දැන්ම ගන්න, මේක කියන්න මේක කරනවා කියලා, ඒ නිශ්චිතභාවය දෙන්න කියලා …

“එහෙම අවශ්‍යතාවයක් අපි දකින්නෙ නැහැ. අපි කොහොමටත් EFF එක ඉවර වෙන්නෙ එන අවුරුද්දේ මාර්තුවල. අපි අලුත් වැඩසටහනකට ගියත් අඩුම ගාණෙ මාස තුන හතරක් යනවා ඒක නෙගෝෂියේට් කරන්න. ඒ පිළිබඳව අපි දන්නවා. නිසි කාලයේදී ඒ පිළිබඳ තීරණයක් අපි ගන්නවා රජයක් හැටියට”

දුමින්ද හුළංගමුව මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (24) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 24) දිනයේදී උතුරු, නැගෙනහිර...

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු...