නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසලටත් ගුරු අත්පොතක්!

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමවේදය සඳහා මග කියමින්, පෙර පාසල තුළින්ද ළමයාව ගවේෂණාත්මක අධ්‍යාපන ක්‍රමයකට හැඩගැස්වීම සඳහා මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අනුව සකස් කරන ලද ගුරු මාර්ගෝපදේශය සහ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ සංග්‍රහයක් එළිදක්වා තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී එම එළිදැක්වීම සිදුකෙරුණි.

සෑම දරුවෙකුටම ජීවිතයේ ආරම්භයේ සිටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තහවුරු කරමින්, රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අනුගතව මෙය සකසා තිබෙන අතර ඒ අනුව, සෙල්ලම් කිරීම මත පදනම් වූ මෙවලම් භාවිතයෙන් දරුවන්ව පෙර පාසල් අධ්‍යාපනයේ සිටම ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන රටාවකට හැඩගැස්වීමට අවශ්‍ය මගපෙන්වීම, පෙර පාසල් ගුරුවරුන්ට, පුහුණුකරුවන්ට හා අනෙකුත් පාර්ශ්වයන්ට ලබාදීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හරහා සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, සෑම දරුවෙකුටම “නිවැරදි ආරම්භයක්” (Starting Right) යන තේමාව යටතේ සකස් කරන ලද මෙම මුල් ළමාවිය සහායක සම්පත් මාර්ගෝපදේශ සංග්‍රහය, ගුරු මාර්ගෝපදේශය, යෝජිත ක්‍රියාකාරකම් මාර්ගෝපදේශය, ඉගැන්වීම් ඉගෙනුම් ද්‍රව්‍ය අත්පොත සහ Master Material පුහුණු අත්පොත ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර හතරකින් සමන්විතයි.

දිවයිනේ ඇති සියලුම පෙර පාසල් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් පුහුණු කිරීමේ හා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතුද මීට සමගාමීව දීපව්‍යාප්ත වශයෙන් සිදුකෙරෙයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මෙය සිදුකරනු ලබන අතර, ජාතික අධ්‍යාපන ආයතනය, UNICEF සංවිධානය ඇතුළු ආයතන ගණනාවක ඒකාබද්ධ සහයෝගයද මෙයට හිමිව තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මාර්ගස්ථ ක්‍රමයට භාගත කිරීමේ හැකියාවද පවතියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, පූර්ව ළමාවිය අධ්‍යාපනය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව හඳුන්වාදීමට සැලසුම් සකස් කර ඇති බවයි.

එමෙන්ම, මෙම මාර්ගෝපදේශ සංග්‍රහය තුළ ඉගෙනුම් ක්‍රියාවලියේ නව වෙනසක් අන්තර්ගත වී ඇති බවත්, ළමයාව මූලික කරගත් ගවේෂණාත්මක සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ ළමයාගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා අප යොමුවිය යුතු ආකාරය සම්බන්ධව මෙයින් හොඳ අර්ථකතනයක් ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

එමෙන්ම, අප උත්සාහ කරන්නේ දැනුම පමණක් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයකට වඩා, දැනුම ලබාගෙන ඒ දැනුම හරහා කළ හැකි දේ කුමක්ද යන්න ඇගයීමකට ලක් කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමට වන බව ඇය පැවසීය.

පූර්ව ළමාවිය අධ්‍යාපනය දරුවෙකුට ලබාදිය යුතු ආකාරය සම්බන්ධවද දෙමාපියන් දැනුවත් කිරීම සඳහා අවධානය යොමුකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරිය, දරුවන් කෙරෙහි සංවේදී වන සමාජයක් ඇති කිරීම සඳහා සියල්ල එකට එක්ව කටයුතු කළයුතු බවත්, එමෙන්ම, දරුවන්ව රැකබලා ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි තැනට භාරකරුවන්ගේ ජීවිත ගොඩනැගිය යුතු බවත් ප්‍රකාශ කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...