අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව සිරදඬුවම් නියම වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කර තිබේ.
ඒ, එම නඩුවේ තීන්දුව කියවාදීම සඳහා නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
අදාළ සිර දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් ගොනුකර ඇති අභියාචනය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවට ඇගේ නීතීඥයින් විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙසේ ඇයව ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
මෙම නඩුකරය සැප්තැම්බර් 28 වනදා යළි කැඳවීමට ද කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට 2022 වසරේ මැයි මස 27 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි. එම සිර දඬුවමෙන් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශෂී වීරවංශ මහත්මිය විසින් අභියාචනා පෙත්සමක් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර එහිදී ඇයව ඇප මත මුදාහරින ලදී. කෙසේවෙතත් එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට 2026 ජුනි 11 වනදා කොළඹ මහාධිකරණය තීන්දු කර තිබිණි. එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර ඇති අතර එය ලබන 22 වනදා සලකා බැලීමට නියමිතව ඇත.


