මර්දනයට එරෙහි සත්‍යයේ ගීතය හුදු පවනක් නොව චණ්ඩ මාරුතයක් විය – නන්දා මාලනිය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනපති පවසයි

කොළඹ LNW:ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා පවසන්නේ ඇය හුදු ගායිකාවක් පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට 80 දශකය වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිනියක වූ බවයි.

ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ භූමිකාව ආරක්ෂා කර ගත් බවද ජනාධිපතිවරයා කියාසිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ ශෝක පණිවිඩය

සිය ගායන කුසලතාව සමාජ සාධාරණත්වයේ සහ යුක්තියේ අඬහැරය බවට පත් කර, අලුත් ලොවක් ගැන සිතීමට පරපුරකට දිරි දුන්, සැබෑම ශ්‍රී ලාංකේය සත්‍යයේ හඬ, අග්‍රගණ්‍ය ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය ලාංකේය සමාජය මහත් කම්පාවට පත්කරවනු ලැබ තිබේ.

ළමා වියේ සිටම මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ස්වකීය අනන්‍යතාව සලකුණු කර ගත් ඇය, සිය ජීවිතය හුදු ගායිකාවක් පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට 80 දශකය වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිනියක වූවාය. එපමණකින්ම ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ භූමිකාව ආරක්ෂා කර ගත්තාය.

සිය ජීවිතය තුළින් ලද පන්නරය සමගින් පොදු ජනතාවගේ දුක, කඳුළ, දහදිය හඳුනාගෙන සිටි ඇය, පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණයකට එරෙහිව අභීතව සටන් වැදුනාය. ඇගේ මියුරු හඬ තමන් පෙළමින් ඇති පීඩිතභාවයට එරෙහිව සටන් වැදිය යුතු බවට ජනතාව කැඳවූ කාහලයක් විය. මව්බිම පත්ව තිබූ ඛේදනීය තත්වයට සහ ජනතාව පෙළමින් තිබූ වේදනාවන්ට හෘදය සංවේදී වූ නන්දා මාලනිය, මර්දනකාරී දේශපාලන අධිකාරිත්වයට එරෙහිව නැඟූ ‘සත්‍යයේ ගීතය’, හුදු ‘පවනක්’ නොව චණ්ඩ මාරුතයක් වූ බවට සියලු ජීවමාන සාක්ෂිකරුවන් සාක්ෂි දරනු ඇත. තහංචි බාධා හමුවේ ජන හදවත් සමඟ ගැහුණු ඇගේ මධුර එහෙත් ගම්භීර හඬ, දුෂ්කරම සහ අඳුරුම අවස්ථාවන්හිදී ජනතාවට තම දුක් වේදනාවන් ඉවසා සිටින්නටත් ආලෝකය උදාවන තෙක් නොසැලී දරා සිටින්නටත් මහත් ශක්තියක් වූ බව මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටියාය. කලාකරුවෙකුගේ පැවැත්ම අවසන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ හුස්ම වාතලයට මුසු වීම නතර වූ දින නොව, ඔහු හෝ ඇය විසින් සමාජයට දායාද කරන ලද නිර්මාණ මිනිස් හදවත් තුළින් මැකී යන දිනයේදීය. ඒ අරුතින් සැලකූ කළ, නන්දා මාලනී නම් වූ පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයනු ඇති බවට සැක නැත.

නන්දා මාලනී මහත්මියගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සියලු සාමාජිකයන්, ඥාතීන්, හිතවතුන් මෙන්ම සහෘද කලාකරුවන් සහ සුවහසක් රසික රසිකාවියන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමි.
‍
ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික දේහය තුළ ජනතාවාදී සලකුණ ගැඹුරින් තබමින්, සුවහසක් ජන හදවත් ප්‍රඥාවෙන් අවදි කළ ආචාර්ය නන්දා මාලනියනි, දැයෙන් සමුගන්නා ඔබගේ යුග මෙහෙවර මේ භූමිය මත සදානුස්මරණීයයි!

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 අගෝස්තු 22වන දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...