“අපට සැනසීම දුන් හුරුපුරුදු මාතෘ හඬක් අපෙන් වෙන්ව යාමක්”: නන්දා මාලනියට අග්‍රාමාත්‍යවරියගෙන් ශෝක පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 22 , කොළඹ LNW :

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.

දශක ගණනාවක් පුරා ඇය මෙරට සංස්කෘතික හා සමාජීය ක්ෂේත්‍රයන්ට ඉටුකළ සුවිශේෂී මෙහෙවර මෙහිදී අගය කර ඇත. ඇයගේ නික්ම යාම මුළු මහත් ජාතියටම ඇසුණු මාතෘ හඬක් අහිමි වීමක් ලෙස අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. මෙම ලේඛනය හරහා ඇයගේ අද්විතීය ගායන පෞරුෂය සහ රටවැසියන්ගේ ජීවිත සමඟ තිබූ සමීප සම්බන්ධතාවය අවධාරණය කෙරේ. 

ශෝක පණිවුඩය

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අසමසම ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ, දශක අටකට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංස්කෘතික හා සමාජීය ක්ෂේත්‍රයන් පෝෂණය කළ ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම දැඩි කම්පනයටත්, සංවේගයටත් පත් වූයෙමි.

නන්දා මාලනී මහත්මියගේ සුමධුර ගී හඬින් පෝෂණය වෙමින්, ඒ ගීත සමඟ ජීවිතයේ විවිධ සංධිස්ථාන පසු කළ ආදරණීය රසිකාවියක ලෙස, එතුමියගේ නික්ම යාම මට දැනෙන්නේ හුදෙක් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අපේ ජීවිතවලට සමීපව, අතීත මතකයන් සමඟ තදින් බැඳී, සතුටේදී මෙන්ම වේදනාවේදීත් අපට සැනසීම දුන් හුරුපුරුදු මාතෘ හඬක් අපෙන් වෙන්ව යාමක් ලෙසය.

ළමා වියේදී “බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම්” ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පා තැබූ ඇය, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගුරුහරුකම් ලබමින් “රන්මුතු දූව” චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත කලාවට පිවිසියා ය.

දශක ගණනාවක් පුරා එතුමියගේ හඬ අපේ නිවෙස්වල, පාසල් වියේ, ජාතික උත්සවවල මෙන්ම අපගේ දෛනික ජීවිතයේද අනුපමේය කොටසක් බවට පත් විය.

එතුමියගේ ගායන දිවිය මෙරට ගීත කලාවේ එක් යුගයක් සනිටුහන් කළා පමණක් නොව, සමාජ චලනයන්ගේත්, මානව හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් විය. ප්‍රේමය හා විරහව වැනි සුන්දර මනුෂ්‍ය හැඟීම් ගැයීමට එහා යමින්, පොදු ජනතාවගේ දුක, බිය, අයිතිවාසිකම් සහ අරගලය සිය ගීත මඟින් හඬගා කීමට ඇය නිර්භය වූවාය.

අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින්, සාමය, සහජීවනය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය පෞරුෂවත් හඬ මෙහෙයවූවා ය. “පවන” සහ “සත්‍යයේ ගීතය” වැනි විප්ලවීය නිර්මාණ ඔස්සේ, කලාකරුවෙකුට සමාජයක සංවේදීතාව අවදි කරමින් යහපත් හෙට දවසක් වෙනුවෙන් මඟ පෙන්විය හැකි බව ඇය ප්‍රායෝගිකවම ඔප්පු කළාය.

ශාස්ත්‍රීය සංගීතයේ පැවැති ගැඹුරු ප්‍රගුණත්වයත්, අසමසම හඬ පෞරුෂයත් නිසාම ඇය ලැබූ සම්මාන හා ගෞරවයට වඩා, පරම්පරා ගණනාවක හදවත් තුළ තැන්පත් වූ අප්‍රමාණ ආදරය ඇගේ සැබෑ කලා මෙහෙවරේ වටිනාකම කියාපායි.

අද දින එතුමියගේ අභාවය වෙනුවෙන් ශෝක වන මොහොතේ, ශ්‍රී ලංකාවට අහිමි වූ ඒ අසමසම කලාකාරිනියගේ නාමය මෙන්ම, අපේ ජීවිත අර්ථවත් කළ ඒ ආදරණීය හඬ ද මම අතිශය ගෞරවයෙන් සිහිපත් කරමි. දශක ගණනාවක් පුරා අප මුසපත් කළ ඒ ගී හඬ අද නිහඬ වුවද, ඇය ගැයූ අමරණීය ගීත අපේ මතකයන් සහ හදවත් තුළ සදාතනිකව ජීවත් වනු ඇත.

අපේ ජීවිතවල අප්‍රමාණ මතකයන්ට හඬක් වූ, ශ්‍රී ලාංකේය ගීත කලාවේ නොමියෙන සටහනක් තැබූ ආචාර්ය නන්දා මාලනී මහත්මියට මාගේ උත්තමාචාරය පුද කරන අතර, එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි!
එතුමියගේ ආදරණීය දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සැමටත්, ඇගේ ගී හඬට පෙම් කළ සුවහසක් ජනතාවටත් මාගේ අතිශය සංවේගය පළ කර සිටිමි.

ආචාර්ය හරිනි අමරසූරිය 
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...