Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ඩොලර් බිලියන 55කට වෙච්ච දෙයක් නැද්ද ?

පසුගිය 2021 වසර අවසාන වනවිට ලංකාවේ මුළු විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 64,498ක්. නමුත්, ලංකාවේ මුළු විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,758ක් පමණයි. ඒ කියන්නේ, හිඟය ඩොලර් මිලියන 55,740ක්. ඔය ගණන රුපියල් කළොත් රුපියල් බිලියන 11,172ක හිඟයක්.

දැන් මේ හිඟ වෙලා තියෙන ඩොලර් බිලියන 56 එහෙමත් නැත්නම් රුපියල් ට්‍රිලියන 11 වෙච්ච දෙයක් නැති මුදලක්ද?

සමහර අයට අනුව මේ සල්ලි දේශපාලනඥයින් විසින් රටින් පන්නලා. තවත් අයට අනුව ව්‍යාපාරිකයින් විසින් රටින් පන්නලා. ඔය කතා දෙකම වෙනුවට කියන තුන් වන කතාවකට අනුව රටේ ජනතාව විසින් පරිභෝජනය කරලා නාස්ති කරලා. ඔය කොයි කතාව අනුව බැලුවත් බැරකම්වලට ගැලපෙන වත්කම් දැන් රටේ නැහැ.

කතාවේ එක් කොටසක් ඇත්ත. ලංකාවේ විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය හා සම හෝ ඊට කිට්ටුවෙන්වත් යන විදේශ මූල්‍ය වත්කම් ලංකාවේ නැහැ. රට මේ තරම් අවුලක වැටිලා තියෙන්නේ ඒ නිසානේ. හැබැයි නැත්තේ විදේශ වත්කම්. විදේශ වත්කම් නැහැ කියා කියන්නේ වත්කම් නැහැ කියන එක නෙමෙයි.

දේශපාලනඥයින් විසින් හෝ ව්‍යාපාරිකයින් විසින් රටින් සල්ලි පන්නලා නම් එයින් අදහස් වෙන්නේ ඇත්තටම විදේශ මූල්‍ය වත්කම් තියෙනවා කියන එකයි. ඒ කියන්නේ ප්‍රශ්නය තියෙන්නේ සංඛ්‍යාලේඛණවල පමණයි. ඒ වගේම මේ අයට රටින් සල්ලි පන්නන්න හේතු වූ තත්ත්වයන් තීරණාත්මක ලෙස වෙනස් වුනොත් ඔය සල්ලි නැවත රටට එනවා කියන එකයි.

ඒ කතාව අපි පැත්තකින් තියමු. මොකද මේ විදිහේ සල්ලි පැන්නීම් සිදු වී තිබෙනවා විය හැකි වුවත් ඒ ගැන කතා කරන්න සංඛ්‍යාලේඛණ නැහැනේ. නමුත්, “පරිභෝජනය කරලා නාස්ති කරලා” කියන කතාව සංඛ්‍යාලේඛණවලින් තහවුරු කළ හැකි දෙයක්. මෙතැනදී කියන්නේ උපයන ඩොලර් ප්‍රමාණය ඉක්මවා ආනයන ආදිය වෙනුවෙන් ඩොලර් වැය කිරීම ගැනයි.

ණය අරගෙන “පරිභෝජනය කරලා නාස්ති කරන එක” හැම කාලයකම සිදු වූ දෙයක් නොවුනත්, බොහෝ කාල වකවානුවල සිදු වී තිබෙන දෙයක්. අපි 2020 හා 2021 අවුරුදු දෙක අරගෙන බලමු.

ඉහත වසර දෙක තුළ විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණයේ අඩුවීමක් පැහැදිලි ලෙස පේනවා. 2019 අවසාන වන විට රටේ විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 12,985ක්. වසර දෙකකට පසුව මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 8,758ට බහිනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 4,228ක අඩු වීමක්.

මේ විදිහට වත්කම් අඩු වුනේ ණය ගෙවපු නිසාද ? 2019 අවසාන වනවිට රටේ විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 64,148ක්. දෙවසරකට පසුව මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 350 කින් ඉහළ යනවා. ඊට අමතරව තවත් දෙයක් වෙනවා. ස්වෛරිත්ව බැඳුම්කරවල වෙළඳපොළ අගය 45% කින් පමණ අඩු වෙනවා. මේ නිසා, ඩොලර් මිලියන 5,224 කින් බැරකම් ප්‍රමාණය පහළ යනවා. ඒ කියන්නේ එසේ නොවුනා නම් බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 5,574 කින් ඉහළ ගිහින් නේ. වත්කම් අඩු වීම හා බැරකම් ඉහළ යාම එකතු කළාම ඩොලර් මිලියන 9,802 ක අඩුවක් තිබෙනවා.

කෙසේ වුවත්, මේ මුළු අඩුවීමටම හේතුව අදාළ දෙවසර තුළ “පරිභෝජනය කරලා නාස්ති කරපු එක” නෙමෙයි. 2020 ට පෙර තිබුණු බැරකම් වෙනුවෙන් ගෙවූ පොලී හා අනෙකුත් ප්‍රතිලාභ ටිකත් මේ ගොඩේ තිබෙනවා. ඒ නිසා, ඒ ටික අඩු කළ යුතුයි. ඒ වගේම 2020 ට පෙර තිබුණු විදේශ වත්කම් වෙනුවෙන් ලැබුණු පොලී හා ප්‍රතිලාභ මේ ගණනට එකතු කළ යුතුයි. එවිට මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 5,574ක්. ඔය මුදල පසුගිය දෙවසර තුළ ණයට අරගෙන පරිභෝජනය කළ කොටස.

ඊට පෙර 2015-2019 කාලයේදී රටේ විදේශ බැරකම් ඩොලර් මිලියන 52,811 සිට ඩොලර් මිලියන 64,148 දක්වා ඩොලර් මිලියන 11,337කින් වැඩි වුනා. නමුත් විදේශ වත්කම් ඉහළ ගියේ ඩොලර් මිලියන 1,800කින් පමණයි. ඒ කියන්නේ, ඩොලර් මිලියන 9,537ක අඩුවක් තිබෙනවා. නමුත්, ඔය කාලය තුළ පරණ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවූ මුදලින් විදේශ වත්කම් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ අඩු කළහම ඩොලර් මිලියන 11,006ක්. ඒ කියන්නේ, ඉතා පැහැදිලි ලෙසම 2015-2019 කාලයට “පරිභෝජනය කරලා නාස්ති කළා” කියන කතාව අදාළ නැහැ. ඒ කාලයේ විදේශ බැරකම් ඉහළ යාමට එකම හේතුව පරණ බැරකම් වෙනුවෙන් ගෙවන්න සිදු වූ ප්‍රතිලාභ. ඔය කාලයේ ඉපැයූ ඩොලර්වලින් ඩොලර් මිලියන 1,469ක් පමණ ඉතිරි කරලා පරණ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන එකත් කරලා තියෙනවා.

තවත් පස්සට ගියොත් “පරිභෝජනය කරලා නාස්ති කරන එක” කරපු කාලවල් නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. මම එවැන්නක් කරන්න යන්නේ නැහැ. ඇතැම් කාල වකවානුවල ඉපැයූ විදේශ විනිමයට වඩා වැඩියෙන් වැය කර තිබෙනවා. ඒ ගැන දැනට එපමණයි.

දැන් වැදගත්ම ප්‍රශ්නය මේ විදිහට ණයට ඩොලර් අරගෙන වියදම් කළාම වත්කම් හැදෙන්නේ නැද්ද කියන එකයි. ඉතා පැහැදිලිවම විදේශ බැරකම් හැදෙන තරමට විදේශ වත්කම් හැදෙන්නේ නැහැ. මොකද ලැබුණු ඩොලර් රටින් එළියට ගිහින්. නමුත් විදේශ වත්කම් හැදෙන්නේ නැහැ කියා කියන්නේ වත්කම් නොහැදෙන බව නෙමෙයි. වත්කම් හැදෙනවා. එසේ හැදෙන්නේ රුපියල් වත්කම්.

ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි. රජය ඩොලර් එකක් ණයට අරගෙන රුපියල් 200 කට බැංකුවකට විකුණනවා. විකුණලා ඒ රුපියල් 200 රජයේ සේවකයෙකුට අතිකාල දීමනාවක් ලෙස ගෙවනවා. ඊට පස්සේ ආනයනකරුවෙක් විසින් ඔය ඩොලර් එක රුපියල් ගෙවා මිල දී ගෙන ඉන්දියාවෙන් අල කිලෝ දෙකක් ගේනවා. ගෙනත් කිලෝ එක රුපියල් 200 බැගින් විකුණනවා. අර රජයේ සේවකයා තමන්ට ලැබුණු රුපියල් 200 වැය කරලා අල කිලෝ එකක් මිල දී ගන්නවා.

දැන් රජය ණයට ගත්ත ඩොලර් එක රට ඇතුළේ නැහැ. එය රටේ විදේශ බැරකමක් වෙනවා. ණයට පොලී එකතු වෙද්දී බැරකම වසරින් වසර ඉහළ යනවා. එයට ගැලපෙන විදේශ වත්කමක් රට ඇතුළේ නැහැ. අර රජයේ සේවකයා අතේ තිබුණු රුපියල් 200 ක වත්කම දැන් ඔහු අතේ නැහැ. නමුත් අල කිලෝ එකක් තිබෙනවා. ආනයනකරුවා අතේත් කලින් තිබුණාට වඩා වැඩිපුර රුපියල් නැහැ. අල කිලෝ එකක් විකුණලා රුපියල් 200 ක් ලැබුණත් ඩොලර් එක මිල දී ගන්න රුපියල් 200 ක් කලින්ම ගියානේ. නමුත් ඔහු සතුව තවත් අල කිලෝ එකක් තිබෙනවා. ඒ අල කිලෝව විකුණලා ඔහුට රුපියල් 200 ක් උපයා ගන්න පුළුවන්.

අවසාන වශයෙන් අල කිලෝ දෙක පරිභෝජනය කරලා අවසන් වෙනවා. හැබැයි අල පරිභෝජනය කරන අය අල ගන්නේ සල්ලි ගෙවලා. අර කියන්නේ “අපි නිකම් තෙල් ගැහුවේ නැහැ, සල්ලි දුන්නා” කියලා. ඒ වගේ. රජයට ඩොලර් එකක විදේශ බැරකමක් එකතු වෙලා. ඒක දිගටම පැටවු ගහනවා. අනෙක් පැත්තෙන් අර ආනයනකරු ළඟ රුපියල් වත්කමකුත් හැදිලා. ඒකත් පැටවු ගහනවා.

නැවත ලංකාවේ විදේශ බැරකම්වලට ආවොත්, ඩොලර් බිලියන 56 ක විදේශ වත්කම් හිඟයක් හැදෙද්දී එයට අනුරූපව වත්කම් ඉහළ යාමකුත් රට ඇතුළේ වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නය ඒ වත්කම් රුපියල් වත්කම් වීමයි. දැන් ඔය මුළු ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම බිලියන 11,172 ක් කියලා මම කිවුවනේ.

ඒ වෙද්දී, ඒ කිවුවේ 2021 අවසානයේදී, සංසරණයේ තිබුණු රුපියල් ප්‍රමාණය සහ බැංකුවල තැන්පත් කර තිබුණු රුපියල් ප්‍රමාණය (M2 මුදල් සැපයුම) රුපියල් බිලියන 9,639ක්. මුදල් කියන්නේ රටේ මිනිස්සුන්ගේ වත්කම්වලින් සුළු කොටසක් පමණයිනේ. ඊට අමතරව මූල්‍ය වත්කම්ම ගත්තත් භාණ්ඩාගාර බිල්පත්, ව්‍යාපාර කොටස් ආදියේ ආයෝජනය කළ මුදල් තිබෙනවා. ඒ සියල්ලටම අමතරව විශාල මූර්ත වත්කම් ප්‍රමාණයක් රටේ තිබෙනවා. වාහන, ගොඩනැගිලි, ඉඩම් වගේ දේවල්.

ඩොලර් එකක් වැය කරලා ආනයනය කරන අල කිලෝ එකක් හොදි හදලා හරි තෙම්පරාදු කරලා හරි කාල ඉවර කළාට ආනයනය කරන හැම දෙයක්ම ඒ විදිහට සතියක් දෙකක් ඇතුළත කාල ඉවර කරන්නේ නැහැ. ඩොලර් වැය කරලා ගෙනාපු වාහන, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගෙවල්වල තිබෙනවා. සිමෙන්ති, ටයිල් වගේ දේවල් ගෙවල් විදිහට තිබෙනවා. ඒවත් වත්කම් තමයි. ඔය සියල්ල එකතු කළොත් ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඉක්මවන විශාල වත්කම් ප්‍රමාණයක් රට ඇතුළේ තිබෙනවා.

එහෙම නම් රුපියල් ප්‍රශ්නය කියා කියන්නේ කුමක්ද ? එය රජයේ ප්‍රශ්නයක් මිසක් රටේ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ රුපියල් තිබෙනවා. නමුත් රජය සතුව රුපියල් නැහැ. රටේ රුපියල් වත්කම් ඉහළ යද්දී එයට අනුරූපව බදු ඉහළ ගොස් නැති නිසා රජය සතුව රුපියල් වත්කම් නැහැ. එක පැත්තකින් රජය ඩොලර් බැරකම් එකතු කර ගනිද්දී අනෙක් පැත්තෙන් රුපියල් බැරකමුත් එකතු කර ගෙන. රජය සතුව ඩොලර්වලින් වගේම රුපියල්වලිනුත් මූල්‍ය වත්කම් නැහැ. නමුත්, රජය සතුව මූර්ත වත්කම් තිබෙනවා. ඒ නිසා, රාජ්‍ය දේපොළ විකුණා බැරකම්වලින් නිදහස් වීමේ විකල්පය තවමත් රජය සතුව තිබෙනවා.

ණයට ගත්ත ඩොලර් දැන් තියෙන්නේ කොහෙද කියා හොයන එක ස්විමිං පූල් එකකට වැටිලා දිය වුනු සබන් කෑල්ලක් තියෙන තැන හොයනවා වගේ වැඩක්. ඒ සල්ලි මේ වනවිට සමස්ත ආර්ථික දේහය පුරාම පැතිරිලා දිය වෙලා ගිහිල්ලයි තියෙන්නේ. කවුරු හෝ කෙනෙක් අයුතු සේ ලබාගත් මහජන ධනය රටින් පිට කරගෙන නම් හරි නිසි සේ ඉපැයූ ධනය අනිසි සේ රටින් පිට කරලා නම් හරි කතාව ටිකක් වෙනස්. යම් කොටසක් ඒ විදිහට රටින් පිට වී තිබිය හැකි වුවත් ඒ ප්‍රමාණය විශාල කොටසක් කියා මම හිතන්නේ නැහැ. යුතු හෝ අයුතු සේ ඉපැයූ ධනයෙන් වැඩි කොටසක් තියෙන්නේ ඔය මුතු ඇටේ අස්සෙම තමයි.

ආනයනික භාණ්ඩ පරිභෝජනය කරලා සල්ලි නාස්ති කරනවා කියා කිවුවත් සාමාන්‍ය මූලධර්මයක් විදිහට කවුරු හෝ කෙනෙක් වියදම් කරන මුදලක් හැම විටම වෙනත් අයෙකුගේ ආදායමක් වෙනවා. කෙනෙක් රූපවාහිනී යන්ත්‍රයක් මිල දී ගනිද්දී ගෙවන රුපියල් ප්‍රමාණයෙන් කොටසක් රටින් එළියට යනවා. නමුත් මුළු මුදලම රටින් එළියට යන්නේ නැහැ. ආනයනකරුගේ ලාබ, සේවක වැටුප්, ප්‍රවාහන ගාස්තු ආදී විවිධ ආකාරවලින් ඔය මුදලෙන් කොටසක් රටේ වෙනත් අයගේ ආදායම් බවට පත්වෙනවා. පරිභෝජනය කරනවයි කිවුවට ගත්ත රූපවාහිනී යන්ත්‍රය වුනත් කාල ඉවර කරන්නේ නැහැනේ. කවදා හරි කැඩෙනකම් ඒකත් තියෙනවා.

ගෙදරට රූපවාහිනියක් ගෙනාවට පස්සේ ගෙදර මිනිස්සු ඕක ඉස්සරහට වෙලා “බාල ටෙලිනාට්‍ය” බල බල කාලය නාස්ති කරනවා කියා අපි හිතමු. සමහර අය එහෙම කියනවනේ. ඒක එහෙම වුනත්, ඔය කාලය නාස්ති කිරීමේ අනෙක් පැත්තේ ටෙලි නාට්‍ය හැදීමේ කර්මාන්තයක් වර්ධනය වෙනවා. ඕවායේ රඟපාන නළු නිලියෝ, අධ්‍යක්ෂකවරු, තාක්ෂණික කටයුතු කරන ශිල්පියෝ, තේ අල්ලන අය ගාණක් හොයා ගන්නවා.

එතකොට ඔය ටෙලිනාට්‍යය මැද්දේ වෙළඳ දැන්වීම් යනවා. ඒවා හදන එක වෙනම කර්මාන්තයක්. ඒකෙනුත් රැකියා ගණනක් හැදෙනවා. වෙළඳ දැන්වීම් නිසා මොනවා හෝ භාණ්ඩයක අලෙවිය ඉහළ යනවා කියන්නේ සමාගමක ලාබ ඉහළ ගිහින් සමාගම වර්ධනය වෙලා තවත් අලුත් රස්සා ටිකක් හැදෙන එක. මේ හැම දෙයකින්ම වෙන්නේ රටේ ආදායම් වැඩි වෙන එක. ඒ ආදායම්වලින් කොටසක් හෝ වැය කර අවසන් නොකළොත් රටේ වත්කම් වැඩි වෙන එක.

ඔය දාමයේ මුල තියෙන්නේ ණයට ගත් ඩොලර්වලින් ආනයනය කරපු රූපවාහිනියක් වෙන්න පුළුවන්. ප්‍රශ්නය ඩොලර් ණයට ගත්ත එක නෙමෙයි. වත්කම් නොහැදෙන එකත් නෙමෙයි. හැදෙන වත්කම් රුපියල් වත්කම් වීම.

ණයට ගත්ත සල්ලිවලින් කොටසක් කවුරු හෝ කෙනෙක් මොන විදිහකින් හෝ හොරකම් කරගත්තා කියමු. රටෙන් පැන්නුවේ නැත්නම් ඔය සල්ලි එක්කෝ රට ඇතුළේ වියදම් කරනවා, නැත්නම් ආයෝජනය කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් ඔය සල්ලි තවත් අයගේ ආදායමක් වෙනවා. ඒ අය සල්ලි වියදම් කරද්දී නැවතත් වෙනම පිරිසකගේ ආදායමක් බවට පත් වෙනවා. මුල් පුද්ගලයා මුදල් ඉපැයුවේ අනිසි ලෙස වුවත්, ඉතිරි අය මුදල් උපයන්නේ අනිසි ලෙස නෙමෙයි.

ණයට ගන්න ඩොලර් මොන විදිහට රට ඇතුළට ආවත් ඒ ඩොලර් රුපියල් වෙලා අතින් අත යනවා. එක් අයෙක් රුපියලක් වියදම් කරන හැම වෙලාවකම ඒ රුපියල රටේ තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. ඔය වැඩේ කෙළවරක් නැතුව දිගින් දිගටම වෙනවා. අවසාන වශයෙන් රටේ කාටවත් ලංකාව ගත්ත විදේශ ණය මුදල්වලින් තමන්ට වාසියක් ලැබී නැති බව කියන්න බැහැ. තමන් උපයපු හෝ බැංකුවකින් ණයට ගත්ත සල්ලිවලින් හදපු ගෙය ඇතුළේ, ගත්ත වාහනය ඇතුළේ ඔය ණයවලින් කොටසක් තියෙනවා. ගෙදර තිබෙන රූපවාහිනිය, ශීතකරණය ඇතුළේ ඔය ණයවලින් කොටසක් තියෙනවා. ලැබෙන වැටුප ඇතුළේ ඔය ණයවලින් කොටසක් තිබෙනවා. වෙනත් විදිහකින් උපයන ආදායම ඇතුළේ ඔය ණයවලින් කොටසක් තිබෙනවා.

අපි ඔය ලොකු ගෙවල්වල ඉන්න, සැප වාහන පදින, ආනයනික භාණ්ඩ ගෙදර පුරවා ගත්තු අයව පැත්තකින් තියමු. කතරගම කිට්ටුව පාර අයිනේ නෙලුම් මල් විකුණන “මල් අම්මා” ගැන හිතමු. මල් අම්මා ගෙදර ඉන්නේ තනියම. ගෙදර කිවුවට ඒක බොහොම පොඩි පැලක්. ආනයනික බඩු ලෙස සාමාන්‍යයෙන් සැලකෙන බඩු මුකුත් ඔය ගෙදර නැහැ. වැවේ ගිහින් කඩා ගන්න මල් විකුණලා කීයක් හරි හොයා ගත්තොත් මල් අම්මා දවසකට වේලක් හරි දෙවේලක් හරි මොනවා හරි තම්බාගෙන කනවා. මල් අම්මා ණයට ගත්ත ඩොලර්වලින් කාලා නැද්ද ?

සමහර විට මල් අම්මා කන්නෙම ණයට ගත්ත ඩොලර් වෙන්න පුළුවන්. සමහර විට මල් අම්මාගෙන් මලක් ගන්නේ මොන විදිහකින් හෝ මහජන ධනය හොරා කාපු කෙනෙක්. එහෙම නැත්නම් ණයට ගත්ත ඩොලර්වලින් කරන ව්‍යාපෘතියක සේවය කරන කෙනෙක්. එහෙමත් නැත්නම් ඒ ඩොලර් රුපියල් කරලා රජය ගෙවන වැටුප් වියදම් කරන කෙනෙක්. මේ අයට ලාබෙට වාහන ගන්න ලැබිලා තියෙන්නේ, ලාබෙට තෙල් ගහන්න ලැබිලා තියෙන්නේ ණයට ගත්ත ඩොලර් නිසා. ණයට ගත්ත ඩොලර් නැත්නම් කතරගම ගමනක් නැහැ. මල් අම්මට ලැබෙන රුපියල් ටිකත් නැහැ.

දැන් කවුරු හරි කියයි ඔය කියන්නේ අර හොරු ටික බේරලා මල් අම්මට බදු ගහලා ණය ගෙවන්න කියන එක කියලා. බදු ගහන්න ඕනෑ කාටද කියන එක වෙනම කතාවක්. වැදගත් දෙය ඔය සල්ලි ආර්ථිකය තුළ දිය වෙලා ගිහින් තියෙන විදිහ. ඒ නිසා, ණය ගෙවන්න බදු ගහන්නේ කාටද කියන එක ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. මල් අම්මට බදු නොගැහුවත් වක්‍ර ලෙස හෝ මල් අම්මටත් බදු ගෙවන්න වෙනවා. ඒකෙ හැටි එහෙමයි. ආර්ථිකය කඩා වැටුනොත් ලොකුවටම අමාරුවේ වැටෙන්නේ ඔය මල් අම්මා වගේ අය.

මල් අම්මා ජීවිතේට සැප වාහනේක ගිහින් නැතුව ඇති. හැබැයි රටට තෙල් ආවේ නැත්නම් ඒකේ පාඩුව සැප වාහන තියෙන අයට වඩා මල් අම්මට දැනෙනවා. මල් අම්මගේ පරිභෝජනය මුළුමනින්ම රඳා පවතින්නේ සැප වාහනවලට ගහන්න තෙල් තිබීම මතයි. මල් අම්මා මෙච්චර කල් වේලක් ඇර වේලක් කාල තියෙන්නෙත් ණයට ගත්ත ඩොලර්වලින්. මල් අම්මගේ ගෙදර තියෙන වටිනාම වත්කම පොඩි රේඩියෝ එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුනත් බොහෝ වෙලාවට අර ණයට ගත්ත ඩොලර් ටික නිසා හැදුණු වත්කමක්.

ලංකාවේ ප්‍රශ්නය විදේශ වත්කම් නැතිකම මිසක් වත්කම් නැතිකම නොවන බව මම කලින්ම කිවුවනේ. ලෝකයේ රටවල්වලින් බාගයකට පමණම විදේශ බැරකම් හා සරිලන විදේශ වත්කම් නැහැ. ලංකාවේ ප්‍රශ්නය මේ අනුපාතය ඉතාම නරක මට්ටමක තිබීම පමණයි. නමුත්, ලෝකයේ ඕනෑම රටක සැලකිය යුතු මූර්ත වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම රට ඇතුළේ මූල්‍ය වත්කමුත් තිබෙනවා.

රටක සමස්ත වත්කම් ප්‍රමාණය ඇස්තමේන්තු කරන එක තරමක් සංකීර්ණ වැඩක්. දියුණු රටවල්වල නම් මේ වැඩේ සෑහෙන තරම් නිවැරදිව කෙරෙනවා. ප්‍රමාණවත් දත්ත නැති ලංකාව වගේ රටවල්වල වත්කම් ඇස්තමේන්තු කරන එක සංකීර්ණ කටයුත්තක්. මම දන්නා තරමින් කාලයක සිටම මේ වැඩේ කරන ක්‍රෙඩිට් සුයිස් මේ සඳහා තිබෙන හොඳම මූලාශ්‍රයයි.

ක්‍රෙඩිට් සුයිස් ඇස්තමේන්තු අනුව, 2019 වන විට ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය (ණය අඩු කර) ඩොලර් බිලියන 361 ක්. ආර්ථිකය හැකිළුණු 2020 දී මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 351 දක්වා පහත වැටී තිබෙනවා. 2021 අවුරුද්දේ නැවතත් ආර්ථිකය 2019 මට්ටමට වර්ධනය වූ නිසා ඇතැම් විට වත්කම් ප්‍රමාණයත් නැවත වැඩි වී තියෙන්න පුළුවන්. සමහර විට අඩු වෙලා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් කරුණක් විදිහට ගත්තොත් 2019 වනවිට ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 361 ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඔවුන්ගේම ඇස්තමේන්තු අනුව 2001 වසරේදී ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 32ක් පමණයි. ඒ කියන්නේ 2001-2019 අතර රටේ එම වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 329කින් ඉහළ ගිහින්. එකොළොස් ගුණයක ඉහළ යාමක්.

ඔය කාලය ඇතුළත රටේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 50 කින් පමණ ඉහළ ගිහින් තිබෙනවා තමයි. නමුත්, ඊට සමාන්තරව රටේ නිවාස ඒකකවල ශුද්ධ වත්කම් ඒ වගේ හය හත් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. රටේ ප්‍රශ්නය වත්කම් නැති එක නෙමෙයි. නිවාස ඒකක සතුව වත්කම් තිබුණත් රජය සතුව වත්කම් නැති වීම. රජය සතුව වුවත් නැත්තේ මූල්‍ය වත්කම්. රජය සතුව මූර්ත වත්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

රටේ නිවාස ඒකකවල ශුද්ධ වත්කම් ඔය විදිහට වසර 18 ක් ඇතුළත එකොළොස් ගුණයකින් ඉහළ ගිහින් තිබීමට එකම හේතුව ඩොලර් ණයට අරගෙන ආර්ථිකයට පොම්ප කිරීම කියා මම කියන්නේ නැහැ. නමුත්, ඒ විදිහට පොම්ප කරපු ඩොලර්වල බලපැම මේ වර්ධනයට විශාල ලෙස දායක වී තිබෙනවා. ඒ කියන්නේ, ඔය ඩොලර් ටික ආපහු යා හැක්කේ රටේ නිවාස ඒකකවල වත්කම්වලින් විශාල කොටසක් ආපහු අරගෙන පමණයි කියන එකයි.

දත්ත තිබෙන අලුත්ම අවුරුද්ද නිසා අපි 2020 ම ගනිමු. රටේ වැඩිහිටි ජනගහණය මිලියන 14.732 ක්. එක වැඩිහිටියෙකු සතු මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් 5,002 ක්. ණය ප්‍රමාණය ඩොලර් 685 ක්. මූල්‍ය නොවන වත්කම් ප්‍රමාණය ඩොලර් 19,515 ක්. මීට සාපේක්ෂව 2019 දී ණය අඩුයි. වත්කම් වැඩියි. කොහොම වුනත් 2020 වනවිටත් ලංකාවේ වැඩිහිටියෙකු සතු සාමාන්‍ය ශුද්ධ වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් 23,832 ක්. ඔය ගණන වැඩිහිටි ජනගහණයෙන් වැඩි කළාම ඩොලර් බිලියන 351 ක්. රටේ විදේශ ණය ප්‍රමාණය ඔය ගණනින් හතෙන් එකක් පමණයි.

ඉකොනොමැට්ටා

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.