*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයේ උණුසුමෙන්  සැමටම වාසි- පොරොන්දු ගොන්නක් – වැටුප් කොමිසමේ අමන තීරණ – සියයට පනහේ අභියෝගය – ඉන්දීය ස්ථාවරය – රංගේට වුනු ඇබැද්දිය -දුප්පත්කම දෙගුණ වෙලා –  තරුණයන් කොහාටද ?

  • ජනාධිපතිවරණයේ උණුසුමෙන්  
  • සැමටම වාසි පොරොන්දු ගොන්නක්
  • වැටුප් කොමිසමේ අමන තීරණ
  • සියයට පනහේ අභියෝගය
  • ඉන්දීය ස්ථාවරය
  • රංගේට වුනු ඇබැද්දිය
  • දුප්පත්කම දෙගුණ වෙලා
  • තරුණයන් කොහාටද ?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණ සටන මේ වන විට අවසන් සති කිහිපය දක්වා පැමිණ තිබේ. සටන කොතරම් තියුනුද යත් ජයග්‍රහණය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් මේ වන විට නොකරන දෙයක් නොමැති තරම්ය. වසර ගණනාවකට පසු පැවැත්වෙන පළමු මැතිවරණය බැවින් ජනතාව තුලද දැඩි උද්යෝගයක් දක්නට ලැබේ. මේ වන විට ප්‍රධාන අපේක්ෂකයන් සියල්ල විශාල පොරොන්දු ප්‍රමාණයක් ජනතාව වෙත ලබා දී තිබේ. ඒවා අතර ආකර්ශනීය පොරොන්දු රැසකි. එහෙත් ඒ බොහොමයක් සඳහා මුදල් ලබා ගන්නා ආකාරය පැහැදිලි නැත. මේවා ලබා දෙන්නට නම් අනිවාර්යයෙන්ම බදු වැඩි කළයුතුව තිබේ. එසේත් නැතිනම් රටේ නිෂ්පාදනය වැඩි කල යුතුව තිබේ. එහෙත් එවැන්නක් දක්නට නොමැත. කෙසේ වෙතත් රටේ නාස්තිය දුෂණය වංචාව නැවත්වීමට ගන්නා සියලු උත්සාහයන් මෙන්ම නීතියේ ආධිපත්‍යය රටතුල ස්ථාපිත කිරීම රටේ බහුතරක් දෙනා සියලු දේශපාලනඥයන් ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානතම කාරනා වේ.

                                               සියයට පනහේ අභියෝගය 
මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන් ලක්ෂ 171 ක් ලියාපදිංචිවී සිටිති.මෙයින් සියයට 80 ක පමණ ප්‍රමාණයක් ප්‍රකාශ කෙරෙනු ඇතැයි බලපොරොත්තු වන අතර එම ප්‍රමාණය ආසන්න ලෙස ලක්ෂ 140 කි. ඒ අනුව පළමු වටයෙන් ජයග්‍රහණය සඳහා ආසන්න වශයෙන්  ලක්ෂ 70 ක් ඡන්ද ලබාගත යුතුය. කෙසේ වෙතත් බොහෝ දුරට ප්‍රධාන අපේක්ෂකයන් කිසිවකුත් සියයට පනහ ලබා ගන්නා බවක් දැනට නොපෙනෙන අතර එම නිසා දෙවන මනාපය ගණන් කර පළමු හා දෙවන දෙදෙනා අතරින් වැඩි ඡන්ද ලබා ගන්නා තැනැත්තා ජයග්‍රාහකයා වනු ඇත.

                                  ඉන්දීය ස්ථාවරය 
මෙරට ඡන්ද දායකයන්ගෙන්   සියයට විසි පහක් මුස්ලිම් හා දෙමල ඡන්ද වන අතර තවත් සියයට හතක්  කතෝලික ඡන්ද වේ. රට පුරා පවුල් ලක්ෂ 56 ක් වේ. මෙයින් පවුල්  ලක්ෂ 24 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සහනාධාර ලබති. මේ නිසා සුළු ජාතික ඡන්ද  වල බලපෑම අති විශාලය. කතෝලික ඡන්ද සම්බන්ධයෙන් කාදිනල් තුමන්ගේ බලපෑම අතිවිශාලය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මීට බලපා ඇති අතර මේ වන විටත් කදිනල්තුමන් තම ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.එසේම ඉන්දියාවේ ස්ථාවරය සුළු ජාතික ඡන්ද පදනම සම්බන්ධයෙන් තීරණාත්මකය. එහෙත් මේ දක්වාම ඉන්දියාව කිසිදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් පෙන්වා නොමැත.

                                                        රජයේ සේවක ස්ථාවරය හා වැටුප් කොමිසමේ අමන වැඩ 
මෙවර රජයේ සේවකයන් ලක්ෂ 14 ක් පමණ සිටින අතර ඔවුන්ද තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් ජීවන වියදම හා ප්‍රවාහන වියදම් ඉහළයාම ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර තිබේ. මේ නිසා පවතින රජයට එරෙහිව සැලකිය  යුතු රජයේ සේවක පිරිසක් ඡන්දය භාවිත කළහොත් එය පුදුමයට කරුණක් නොවේ. සාමාන්‍ය රජයේ සේවකයා වර්තමාන ආර්ථික තත්වය යටතේ දැඩි අසීරුවට පත්ව සිටිති. රජයේ සේවකයන් අතර වැටුප් විෂමතාව ඔඩුදුවා ඇති අතර වැටුප් විෂමතාව ඉවත් කිරීමට පත්කරන ලද වැටුප් කමිටුව ගෙන ඇති අමන  තීරණ නිසා තවත් වසර ගණනාවක් යන තුරු වැඩ වර්ජන දික්ගැසෙනු  ඇත. දැනටත් ඉහලම වැටුප් ලබන ක්ෂේත්‍ර සඳහා සියයට පනහක් දක්වා  වැටුප් වැඩිවීමකුත් අනෙකුත් පහල ශ්‍රේණි සඳහා සියයට විසි හතරක වැටුප් වැඩිවීම් අදාළ කමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව උදාහරණයක් ලෙස  රුපියල් පනස්දහසක වටුපල් ලබන සාමාන්‍ය සේවකයකුට රුපියල් දෙලොස්දහසක් වැඩි වෙද්දී රුපියල් ලක්ෂ දෙකක් වැටුප් ලබන සේවකයෙකුට රුපියල් ලක්ෂයක වැටුප්  වැඩිවීමක් සිදු කෙරේ.ඒ අනුව මෙතෙක් හතරගුනයක් වූ වැටුප් විෂමතාව පස් ගුණයක් දක්වා වැඩි කර තිබේ. මෙවන් අමන තීරණ ගන්නා වැටුප් කමිටු වල විශ්‍රාමික කමිටු සාමාජිකයන් ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙන්ම ඔවුන්ගේ තීරණ වලින් අගතියට පත්වන පාර්ශව වලට මොවුන්ගෙන් වන්දි ලබාගත හැකි නව ක්‍රමවේද නීති රීති ඇතිකළ යුතුව තිබේ.

                                         තරුණයන් කොහාටද ?
මෙවර ඡන්ද දායකයන් අතරින් ලක්ෂ 36 ක්ම වයස අවුරුදු 18 ත් 28 ත් අතර වෙති.මේ පිරිස අතරින් වැඩි පිරිසක් කිසිදු දේශපාලන පක්ෂයකට ගැතිකම් නොකරන අතර අවස්ථානුකූලව ඡන්දය භාවිත කරනු ඇත. ඔවුන් වර්තමානය දෙස බලා තීරණ ගන්නා පිරිසකි. ඔවුන් වැඩි දෙනෙකු අවංක වුවත්  ජීවිතයේ අත්දැකීම් අඩුකම නිසා මොවුන් ගන්නා තීරණ වල සංකීරණතා බොහෝය. මෙම පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් විදෙස් ගතවී සිටිති.  එම නිසා මෙවර ජනාධිපතිවරණය  සම්බන්ධයෙන් තීරණ සංකීර්ණය . එම නිසා ප්‍රතිඵල ලැබෙන තෙක් කවර පැත්තට එය දෝලනය වෙයි දැයි කිවනොහැකි තරමට සංකීරණතා වලින්  ගහනය.

                                            රංගේ ට මොකද වුනේ ?
පාලිත රංගෙ බණ්ඩාර  එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  කටයුතු කර ඇත.එම ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ චෝදනාව වී ඇත්තේ මහලේකම් ධුරයට අදාළ රාජකාරීන් නිසිලෙස ඉටු නොකිරීමයි.
මේ අතර පාලිත රංග බණ්ඩාර  සඳහන් කරන්නේ තමන් මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමා දැනුවත් කර නැති බවය.
පසුගිය මාස කිහිපය තුල ජනාධිපතිවරයා හා එජාපය බලවත් අපහසුත්වට පත්වන ප්‍රකාශ සහ පසුගියදා ‍’හුක්කි හූ’ ලෙසින් කියමින් සිනහවට ලක්වන මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින්  සිටි   පාලිත රංගෙ බන්ඩාර හට  රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීමේදීද  විශේෂ තැනක් ලැබී තිබුනේ නැත.

                                                                   තලතා UNP මහලේකම් වෙයිද?
මෙම තත්ත්වය මත පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම ධුරයට තලතා අතුකෝරළ  පත්කරන ලෙස පක්ෂයේ ඉහළ නිලධාරින් පිරිසක් ඉල්ලීම් කර තිබේ. තලතා පසුගියදා සජබ මන්ත්‍රී ධුරයෙන්ද  ඉල්ලා අස්විය. තලතා අතුකෝරල යනු හිටපු එජාප මහලේකම්වරයකු වූ දිවංගත ගාමිණී අතුකෝරලගේ නැගණිය වේ.  එජාපය යලි සටන්කාමී පක්ෂයක් බවට පත්කර ජනබල මෙහෙයුම දියත් කර 2001 වසරේ එජාප ආණ්ඩුවක් තැනුවේ ගාමිණී අතුකෝරල විසිනි. එහෙත් හදිසියේ ඔහු ජීවිතයට සමුදුන් අතර ඔහු වැන්නවුන් සිටියේ නම් එජාපය අද පත්ව තිබෙන තත්වයට පත්නොවන්නට ඉඩ තිබිණි.
කෙසේ නමුත් සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වීමෙන් පසු  තවමත් තළතා අතුකෝරල  මෙතෙක් එක්සත් ජාතික පක්ෂ සමාජයකත්වය ලබාගෙන නැත. කාන්තාවක ලෙසත් සටන්කාමී චරිතයක් ලෙසත් එජාපය ශක්තිමත් කරන්නට තලතා හට හැකියාව තිබේ.

                                    රංගේ ට වගකීමක් නැහැ 

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන්ට වගකීම් භාරදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගිය දිනවලදී පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතවී නොසිටි අතර,ඔහු අසනීප තත්ත්වයෙන් සිටි බවද පැවසේ. කෙසේ වෙතත් ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි නැත.

                                   රනිල් එජාප ප්‍රබලයන්ව ගමට යවලා 
 කොළඹ රැඳී නොසිට තම තමන්ගේ ආසනවල ගොස් ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට දැනුම්දී ඇත.මේ අනුව, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, සභාපති වජිර අබේවර්ධනට ගාල්ල දිස්ත්‍රික්කයේ ද,ජාතික සංවිධායක සාගල රත්නායක ට කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල ද, උප නායක අකිල විරාජ් කාරියවසම් ට කුරුණෑගල දිස්ත්‍රික්කය ද, ජාතික ලේකම් රවී කරුණානායක ට කොළඹ දිස්ත්‍රික්කයේ සහ උතුර පළාත ද, භාණ්ඩාගාරික ෆිරෝ ෆාරුක් ට මාවනැල්ල ප්‍රදේශයේ ද නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරාට පක්ෂ මූලස්ථානයේ රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

                                        සජිත්ගේ ප්‍රතිපත්ති මාලාව එළිදකී 
සජබ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබේ.
රාජ්‍ය සේවා වැටුප් ඉහළ දැමීම , මූලික වැටුප වැඩි කිරීම , මාතෘත්ව නිවාඩු පිරිවැය රජයෙන්, සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම්,පළමු නිවස හෝ ඉඩම මිලදී ගැනීමේදී  සහන ඇතුළුව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර තිබේ. සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය  අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙතද  පිළිගැන්වීය.

                                            අනුරගේ රට හදන සැලසුම 
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ,මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට, බදු ක්‍රමයේ වෙනස්කම් ,සියලුදෙනාට විශ්‍රාම වැටුපක්, අමාත්‍ය ධුර 25කට සීමා කිරීම , ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක් , සොරාගත් රාජ්‍ය වත්කම් අයකරගැනීමට ක්‍රමවේද ආදී කරුණු රැසක් ඇතුලත් ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා  එළිදැක්විනි.
එය නම් කර ඇත්තේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත.
රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛනිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලි කර්මාන්ත වැනි කේෂ්ත්‍රයන් කෙරෙහි එහි අවධානය යොමුකර ඇත.

                          රනිල් වික්‍රමසිංහගේ පස් අවුරුදු සැලැස්ම 

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ. 
එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය

                                   දරිද්‍රතාව දෙගුණ වෙලා – “හියුමන් රයිට්ස් වොච්

2022 වසරේ දී ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බව “හියුමන් රයිට්ස් වොච්” සංවිධානය පවසයි.මේ වන විට ජනගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතින්ගේ වාර්තා  පෙන්නුම් කරන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මෙම අදහස් පළ කර ඇති  හියුමන් රයිට්ස් වොච්  තවදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් මෙරට මූලික නිදහසට තවදුරටත් තර්ජන පවතින බවය.

ජාත්‍යන්තර හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇති බවට පෙන්වා දීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරමින් සිටින බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.මෙරට මානව හිමිකම් තත්ත්වය විමර්ශනයටත් සාක්ෂි රැස්කිරීමටත් විවිධ ක්‍රම හරහා ඇති වන බාධා කිරීම් විමර්ශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම සඳහා දැනට ඇති යෝජනාව යාවත්කාලීන කළ යුතු බව මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් සාමාජික රටවලින් ඉල්ලීමක් ද කර ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත.
කෙසේවෙතත් සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත් කර මෙරට සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ආ යුතු බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan