*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ඉන්දිරාගේ සමාව සිරිමා මැතිනියට ලැබුනත් රෝ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට සමාව නොලැබුණු ඓතිහාසික අභිරහස

  • ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට නාවේ චීන නැව නිසාද ?  
  • සිරිමාවෝ – ඉන්දිරා ඈත් කල පකිස්ථානු සබ්මැරීනය
  • රනිල්-සජිත් එක කරන්න මලික් බරට වැඩ
  • වැඩි කල ඉන්ධන මිලෙන් ආණ්ඩුවේ ලාභය  දෙගුණ වෙලා

ජනිත සෙනෙවිරත්න (නිව්යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් ගේ ශ්‍රීලංකා නිල සංචාරය අවසන් මොහොතේදී හදිසියේ අවලංගු කිරීම ලොව පුරා මේ වන විට කතා බහට ලක්ව තිබේ. චීන පර්යේෂණ නෞකාවක් ශ්‍රීලංකාවේ සංචාරය කිරීමට අවසරදීම හේතුවෙන් ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර මතබේදාත්මක තත්වයක් නිර්මාණය වෙමින් තිබියදී මෙම නිල සංචාරය අවසන් මොහොතේ අවලංගුවීම මේ වන විට බොහෝ දේශපාලන හා ආරක්ෂක අංශ වල කතා බහට ලක්ව තිබේ.

යුදමය ශක්තිය අතින් ලොව සිවුවන හමුදා බලවතා වන ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රීලංකා සංචාරයේදී ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර ආරක්ෂක සම්බන්ධතා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා කීපයක් පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉන්දීය ආරක්ෂක ඇමති නොඑන්නේ චීන නැවේ ප්‍රශ්නය නිසාද ?

ඉන්දීය මුහුදු කලාපය තුළ මතුවන අභියෝග ජයගැනීම සඳහා දෙරටේ ද්වි පාර්ශ්වික හමුදා සබඳතා සහ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම මුලික කරගත් මෙම සංචාරයේදී අමාත්‍ය රාජ්නාත් සිංග් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු රජයේ ප්‍රධානීන් මුණ ගැසීමටද නියමිතව තිබිණි.

ඉන්දියාව ප්‍රකාශ කර තිබුනේ චීන පර්යේෂණ නෞකාව ශ්‍රීලංකාවේ වරායන් වෙත පැමිණීම ඉන්දියාවේ ආරකෂාවට තර්ජනයක් ලෙස සලකන බවය.මෙය පර්යේෂණ නෞකාවක් නොව ඔත්තු බැලීමේ නෞකාවක් බව ඉන්දීය ආරක්ෂක අංශ වල මතය වී තිබේ.

ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවේ උදව් ලබා නොදෙන්නට ශ්‍රීලංකාව මේ වන විට තවත් සුඩානයක් බවට පත්වන්නට ඉඩ තිබිණි. ඒ මොහොතේ ඉන්දියාව හැර ලොව අන් කිසිදු රටක් තීරණාත්මක ලෙස ශ්‍රීලංකාවට උදව් කලේ නැත. එම නිසා ඉන්දියාව අමනාප නොකර ගෙන මේ ගැටළු නිරාකරණය කර ගැනීම ආණ්ඩුවට සුභදායකය.

සිරිමා-ඉන්දිරා මිත්‍රත්වය පලුදුකල පකිස්ථානු සබ්මැරීන සිද්ධිය ……

1971 ඉන්දු පකිස්ථානු යුද්ධයේදී එවකට ශ්‍රීලංකා අගමැතිනිය වුයේ සිරිමා බණ්ඩාරනායක මැතිණියයි.ඉන්දීය අගමැතිනිය වුයේ ඉන්දිරා ගාන්ධිය. ඔවුන් දෙදෙනා රාජ්‍ය තාන්ත්‍රිකව පමණක් නොව පුද්ගලිකවද හොඳ මිතුරියන් වුහ. නොබැඳි පිළිවෙත හරහා බණ්ඩාරනායක මැතිනිය ඒ වන විට ලොව පුරා ගෞරවය දිනා ගෙන සිටියාය. පකිස්ථානු සබ්මැරීන ගැන ඉන්දියාව දැන සිටියද එහි ඉන්ධන ධාරිතාව හා උපරිමව ඊට යාහැකි දුර ප්‍රමාණය සීමා සහිත බැවින් එයින් ඉන්දියානු නාවික හමුදාවට හානියක් සිදු කල නොහැකි බව ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් දැනගෙන සිටියහ.

ඉන්දු පකිස්ථානු යුද්ධයේ තීරණාත්මක මොහොතක එවකට පකිස්ථානු ජනාධිපති යෙහියා ඛාන් පකිස්ථානු සබ්මැරීනයකට ඉන්ධන ලබා දෙන ලෙස බණ්ඩාරනායක මැතිනිය ගෙන් ඉල්ලීමක් කළේය.

ශ්‍රීලංකාවේ මිත්‍ර රටක් ලෙස පකිස්ථානු නායකයා කල ඉල්ලීම ඉවත දමන්නට බැරිකමට බණ්ඩාරනායක මැතිනිය එම ඉල්ලීම රහසිගතව ඉටුකර දුන්නාය. ඒ තමන්ට ඉන්දියාවේ මිත්‍රත්වයත් පක්ස්ථානයේ මිත්‍රත්වයත් දෙකම බේරා ගැනීමේ උපායක් ලෙසටය. එහෙත් එම සබ්මැරීනයෙන් ඉන්දියාවට අනතුරක් සිදුවෙතැයි ඇය මොහොතකටවත් සිතුවේ නැත.

පකිස්ථානු සබ්මැරීනය ඉන්දීය නාවිකයන් 194 ක් සමග ඉන්දීය නෞකාව මුහුදුබත් කරයි

එහෙත් ශ්‍රීලංකාවෙන් ඉන්ධන පුරවාගෙන ගිය පකිස්ථානු සබ්මැරීනය ඉන්දීය නාවික හමුදාවේ කුක්‍රි නමැති ප්‍රධානතම නෞකාවක් නාවික නිලධාරීන් 18 දෙනෙකු ඇතුළුව නාවිකයන් 194 දෙනෙකු සමග විනාශ කළේය.

සිදුවූ විනාශය ඉන්දියාවට සිතාගත නොහැකි විය. පකිස්ථානු සබ්මැරීනයට නැවත ඉන්ධන පුරවා ගැනීමකින් තොරව ඉන්දීය නෞකාව වෙත ළඟාවීමට නොහැකි බව දැන සිටි ඉන්දීය ආරක්ෂක අංශ දිගින් දිගටම කල පරීක්ෂණ සිදු කළහ. එහිදී පකිස්ථානු සබ්මැරීනයට ශ්‍රීලංකාවේදී ඉන්ධන නැවත පිරවීම සිදු කල බව ඉන්දීය බුද්ධි අංශ සොයා ගත්හ. මෙය ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කෝපයට හේතු විය. වහාම සිද්ධිය ඉන්දිරා ගාන්ධි අගමැතිනියට දන්වන ලදී. ඉන්දිරා සිද්ධියෙන් දැඩි ලෙස සසල වුවාය. කිසිදු ලෙසකින් තමන් ඇගෙන් මෙවැනි තත්වයක් බලාපොරොත්තු නොවූ බවද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත පැවසුවාය. ඒ තරමටම ඉන්දිරා මේ ප්‍රශ්නය නිසා ඉන්දීය ආරක්ෂක අංශ ඉදිරියේ අසරණ වුයේ ඔවුන්ද සිරිමා -ඉන්දිරා සම්බන්ධතාවය හොඳින් දැන සිටි නිසාය. කෙසේ වෙතත් ඉන්දිරා අගමැතිනියට සත්‍ය සිදුවීම වටහා දෙන්නටත් මෙවන් විනාශයක් සිදුවේ යයි තමන් කිසි විට නොසිතූ බවටත් දැඩි පරිශ්‍රමයකින් පසුව වටහා දෙන්නට බණ්ඩාරනායක මැතිනිය සමත් වුවාය.

සිරිමා බණ්ඩාරනායක හා ඉන්දිරා ගාන්ධි අතර තිබු දැඩි මිත්‍රත්වය නිසා සිද්ධිය දුරදිග ගෙනයාමට ඉන්දිරා අගමැතිනිය ආරක්ෂක අංශ වලට ඉඩ නොදුන්නාය.එහෙත් ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් හා ඉන්දීය බුද්ධි අංශ එනම් රෝ සංවිධානය එය පහසුවෙන් අමතක කරන්නට කැමති නොවුහ. මෙම සිද්ධිය ඉන්දු ශ්‍රීලංකා සම්බන්ධතා වල තීරණාත්මක සන්ධිස්ථානයක් විය. ශ්‍රීලංකාවට පාඩමක් උගන්වන්නටත් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්නටත් ඉන්දීය ආරක්ෂක අංශ හා රෝ සංවිධානය තීරණය කලේ ඉන් පසුවය.

ඉන්දියාවේ ප්‍රතිචාරය

පසුව ශ්‍රීලංකාවේ උතුරේ බෙදුම්වාදී සංවිධාන බිහිවන්නේත් අනතුරුව එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහිවන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙසය. උතුරේ දෙමල තරුණයන්ට යුධ පුහුණුව ලබා දෙන්නේ ඉන් පසුවය . ඉන්පසුවද තමිල්නාඩුවේ දෙමල දේශපාලනඥයින්ගෙන් ඉන්දීය මධ්‍යම රජයට එල්ලවන බලපෑම් හමුවේ වරින් වර ඉන්දීය මැදිහත්වීම් ඇතිවිය. 1987 දී ගුවනින් ආහාර මලු හෙලුවේ ඒ නිසාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එල්.ටී.ටී.ඊය විනාශ කරන්නට ඉන්දියාව තීරණාත්මක ලෙස උදව් උපකාර කළේය. එහෙත් මහින්ද අවසානයේ චීනයට ශ්‍රීලංකාවේ සියලු අංශ වලට පිවිසෙන්නට ඉඩ දීම මහින්දගේ පාලනයේ අවසානය සනිටුහන් කළේය. මහින්ද චීන සබ්මැරීන වලට කොළඹ වරායට පැමිණීමට ඉඩදීම ඉන්දියාව දැඩි ලෙස කලබලයට පත්වීමට හේතු විය. මහින්ද පරාජය කරන්නට ඉන්දියාව ඍජුවම මැදිහත් වුයේ එය ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලපාන නිසාය. එම නිසා යලිත් චීන මැදිහත්වීමක් ඉන්දියාව කිසිසේත් ඉවසතැයි සිතිය නොහැක. එම නිසා ඉන්දීය ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රීලංකා සංචාරය අවලංගුවීම තවත් තීරණාත්මක සිදුවීමක්දැයි දැන්මම කියන්නට බැරිය. එහෙත් ජාත්‍යන්තර සමබරව හසුරුවා ගනිමින් උපායමාර්ගිකව කටයුතු කිරීමට ඇති හැකියාව අතින් දැනට සිටින හොඳම දේශපාලනඥයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවද නොකියාම බැරිය.

ඉන්ධන – බස්ගාස්තු – භාණ්ඩ හා සේවා මිල යලිත් ඉහලට ….

ජනතාව තවදුරටත් අසරණ කරමින් ආණ්ඩුව ඉන්ධන මිල හා බස්ගාස්තු යලිත් වැඩි කර තිබේ. සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා ඇති අතර ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇත.

එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 361 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 417 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 341 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 359 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231 බවට පත්ව ඇත.මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය රජය මගින් සිට අත්හිටුවා තිබේ.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල හා අසාධාරණ ලාභය

ලෝක වෙළඳපොලේ මේ වන විට ඉන්ධන මිල පවතින්නේ බැරලයක් ඩොලර් 85 ත් 88 ත් අතරය. ඒ අනුව ඩොලරයේ අගය ලෙස රුපියල් 325 ක් ලෙස සැලකුවද ඉන්ධන ලීටරයකට මෙරටට ගෙන්වීමට වැය වන්නේ රුපියල් 180 ක පමණ මුදලකි. ඒ අනුව ආණ්ඩුව ලබන සුවිසාල ලාභය කොතරම්දැයි සිතාගත හැකිය. මේ ආකාරයට ජනතාව අසරණව සිටිද්දී අසාධාරණ ලාභ ලැබීම බරපතල කාරණයකි.

මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසම පවසයි. කොවිඩ් වසංගතයෙන් පසුව හා වරින් වර ඉන්ධන මිල අඩුවූ අවස්ථා වල නිසි ගණනය කිරීමකින් බස් ගාස්තු අඩු නොකළ ජාතික ගමන ගමන කොමිසම යලිත් වරක් බස් හිමියන්ගේ හඬට යටවෙමින් ගාස්තු ඉහලදමා තිබේ.

අමන බස් ගාස්තු සුත්‍රයෙන් මගී ජනතාව සුන් …….

එම බස් ගාස්තු සංශෝධනය සිදු කරන ගාස්තු සුත්‍රය වැරදි ගණනාවකින් යුක්තය. මොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු විසින් බස් හිමියන්ට වාසිදායක වන ලෙස බස් රථයේ ආසන ගනනට මගීන් ගමන් කරන සේ උපකල්පනය කරමින් බස් හිමියන්ට වාසිදායක ලෙස මෙය නිර්මාණය කර තිබේ. මේ හේතුවෙන් දකුණු ආසියාවේ වැඩිම බස් ගාස්තු පවතින රටක් ලෙසට මගී ජනතාව නන්නත්තාර කරන්නට මෙම මිල සුත්‍රය සමත්වී තිබේ.

මේ අතර ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්‍ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 5 කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය කටයුතු කර තිබේ. මේ අනුව සියලු ආකාරයේ භාණ්ඩ හා සේවා මිල මෙම ඉන්ධන මිල වැඩිවීම අනුව සිදුව තිබේ. ත්‍රිරෝද ගාස්තුද යලිත් වැඩි කර තිබේ.

රනිල් – සජිත් එක්කරන්න මලික් සමරවික්‍රම බරටම වැඩ ….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යලිත් සමගි කර එකම දේශපාලන පක්ෂයකට ගෙන එම සඳහා දෙපාර්ශවයටම හිතවත් පාර්ශව ගනනාවක් මේ වන විට දිවා රෑ වෙහෙසමින් සිටිති. මේ වන විට ඒ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ මලික් සමරවික්‍රමය.

රනිල්ගේ සමීපතමයකු ලෙස සැලකෙන ඔහු සජිත් සමගද අතිශය හිතවත්ය. මීට අමතරව දෙදෙනාටම සමීප තවත් ප්‍රබල ව්‍යාපාරිකයකුද මෙම දෙදෙනා සමගි කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවී සිටී.

එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ මෙම පාර්ශව දෙකේම සිටින දැඩි රනිල් විරෝධීන් සහ දැඩි සජිත් විරෝධීන් තම අනාගතය ගැන ඇති බියෙන් මෙම පාර්ශව දෙක එක්වීම වැලැක්වීම සඳහා හැකි සියලු දේ කිරීමය.අනෙක් ප්‍රශ්නය පාර්ශව දෙක එක් වී බිහි කෙරෙන අනාගත ආණ්ඩුවේ ඇමතිධුර බෙදා ගැනීමේ ප්‍රශ්න මෙම පාර්ශව දෙකේ නායකයන් දෙදෙනාට හැර සෙසු බොහෝ දෙනෙකුට තිබේ. උදාහරණයක් හැටියට මුදල් ඇමති ධුරය බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනෙකු පාර්ශව දෙකේම සිටිති.විදේශ ඇමති ධුරය බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනෙකු පාර්ශව දෙකේම සිටිති.මේ නිසා ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ගැනීමට වඩා වෙනත්දේ මුලික කර ගැනීම මෙම පාර්ශව දෙක එක් කිරීමට ඇති බාධාව වී තිබේ.

සජිත් ගේ විපක්ෂ නායක භූමිකාව……

සජිත්ගේ විපක්ෂ නායක භූමිකාව අතිශය වෙනස් ස්වරූපයක් ගත්තකි. සජිත් කරන්නේ ආණ්ඩුව කල යුතු දේය . එනම් ඔහු කටයුතු කරන්නේ විකල්ප ආණ්ඩුවක ආකාරයටය.මූල්‍ය දුෂ්කරතා නිසා ඇණ හිට තිබු ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුත්ත සදහා සජිත් ප්‍රේමදාස ගේ මූල්‍ය අනුග්‍රහය ලබා දී තිබේ. මෙයින් විශාල පිරිසකට සෙත සැලසේ.ආණ්ඩුව විසින් කල යුතු දේ මේ ආකාරයෙන් සිදු කිරීම අනාගත විපක්ෂ නායකවරුන්ට අභියෝගයක් වනු ඇත.

ශ්‍රීලනිප සංවත්සරයට මහින්දට ආරාධනා නැහැ ……

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය වසා දමමින් තවත් පක්ෂයක් පෝස්ටරයක් අලවා ඇතැයිද ඔහු කියා සිටී.පොහොට්ටු පක්ෂය දහයකට කැඩී ඇතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ඒ තත්වය පාර්ලිමේන්තුවේදීද දැක බලාගත හැකි බවද ප්‍රකාශ කළේය.

ලන්සා පිලේ නායකත්වය අනුර යාපාට – මංගල රැස්වීම නලීන් ප්‍රන්දුගේ ජා ඇළට

පොහොට්ටු පක්ෂ කණ්ඩායමෙන් වෙන්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව කටයුතු කරන නිමල් ලන්සා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා පත්කරගෙන තිබේ.

අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කලක් කටයුතු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසක් නියෝජනය කරන මෙම කණ්ඩායම ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය පලකරති.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පිහිටවනු ලබන නව දේශපාලන සන්ධානයේ මුල්ම ජන හමුව මේ මාසයේ පැවැත්වීමට නියමිතය. එම ජනහමුව ජාඇල නගරයේ දී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත. එම සන්ධානයේ ජා ඇල බලවතා වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුය. මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි නලීන් නිහඬව විශාල වැඩකොටසක් කරන ඇමතිවරයකු ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනා පිලි ගනිති. සෑම දෙයකටම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හත්පොලේ ගාගත් මීට පෙර සිටි ඇතැම් වෙළඳ ඇමතිවරුන්ට නිහඬව තම කාර්යය ඉටු කිරීම හරහා නලීන් ප්‍රනාන්දු හොඳ ආදර්ශයක් ලබා දී තිබේ.ජාඇල නගරයෙන් ආරම්භ කිරීමෙන් පසු මෙම නව සන්ධානය ජන හමු මාලාවක් රට පුරා සියලුම පාර්ලිමේන්තු ආසන නියෝජනය පරිදි පැවැත්වීමට සංවිධානය කර ඇත.

ශ්‍රීලනිප – ලන්සා කණ්ඩායම සාකච්ඡාවක …..

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පිහිටවන නව දේශපාලන සන්ධානය සමග එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා පවත්වා ඇති බව පැවසේ.

ඒ අනුව ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම කණ්ඩායම අතර සාකච්ඡාවක් ද පසුගියදා පවත්වා ඇත.මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.
මෙම කණ්ඩායම් එකට වැඩ කිරීමේදී ඊට බාධාකාරීව හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිරත වන අයගේ තනතුරු ගණනාවක් ඉක්මනින්ම වෙනස් කිරීමට ද මෙහිදී සාකච්ඡා වී ඇත.

දයාසිරි අතරමං …………..

මේ අතර අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට අද වෙලා ඇත්තේ ඒ දෙය බව තමන් විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය. මේ අතර දයාසිරි ඇතුළු පිරිසක් පක්ෂ නායකත්වයට බරපතල චෝදනා නගමින් ලිපියක්ද යවා තිබේ.

13 ගැන ආණ්ඩුවේ මතය…….

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

තමන් පළාත් මහ ඇමතිවරයකු ලෙස කටයුතු කළේද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා යැයි කී අමාත්‍යවරයා දැනටමත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක බවද පැවසීය.

තමා හැමදාම හිටියේ පරිපාලන බලතල පළාත් සභාවට දියයුතුය යන ස්ථාවරයේ බව කී අමාත්‍යවරයා කොළඹ සිට අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන ගැටළුවලට විසඳුම් දෙන්න බැරි බව ද පැවසීය.

ඉඩම් හා පොලිස් බලතල නොමැති 13 වන සංශෝධනයකට දෙමල පක්ෂ එකඟ නැත.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක – බලවේගය පුළුල් වන ලකුණු …

මීළඟ ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක බව මේ වන විට එම පක්ෂයේ ප්‍රධානීන් ගනනාවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මේ බව ප්‍රකාශ වන්නට පටන් ගත්තේ හරිණි අමරසූරිය එම බලවේගයෙන් ඉදිරිපත් කෙරෙන බවට පැතිර ගිය ආරංචි වලින් පසුවය. හරිනිට අනුව නම් තවමත් මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා නම් කර නැත.

ජාතික ජන බලවේගය එනම් මාලිමාව ලෙස ඉදිරියට පැමිණියද එහි ශක්තිය ජනතා පෙරමුණ ය.

සංවිධාන ශක්තිය හා කැපවීම අතින් ජනතා විමුක්ති පෙරමුණට කිට්ටුවන්නට අනෙකුත් දේශපාලන පක්ෂ වලට පහසු නැත.

එහෙත් ජවිපෙ පහල කාඩර්වරුන්ගේ චින්තනය හා මලිමාවේ සිටින ඉහල පෙලේ වෘත්තීයවේදීන්ගේ මතවාද සමග පෑහෙන්නේ නැත. එහෙත් මේ පාර්ශව සියල්ල එක මතයක ගොනු කරගන්නට සමත් නායකයා අනුර කුමාරය. මේ අතර පසුගියදා ලාල් කාන්ත ප්‍රකාශ කලේ විවිධ පාර්ශව සම්බන්ධයෙන් තම පිරිස් වලට අවබෝධයක් ඇති බවත් එම පාර්ශව තම බලවේගයට එක් කරගැනීමට සුදානම් බවත් ය.

සජිත් -අනුර එක් කරන්නට ඩිලාන් ගෙන් යෝජනාවක්

ඊළඟ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වී මහ මැතිවරණයේදී අනුර දිසානායක මහතා අගමැති අපේක්‍ෂක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ නොවන්නේ නම් අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක වී සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂක විය යුතු බවද ඔහු කියා සිටී.

එසේ නැතිව විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙතුන් දෙනෙක් ඉදිරිපත් කළහොත් එහි වාසිය ආණ්ඩුවට යනු ඇති බවද ඒ නිසා විපක්ෂය කෑලි වලට නොබෙදා එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවද මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ නව ජනපති ධුරයට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි තර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. චීන සම්භවයක් නොමැති පුද්ගලයකු එරට නායකත්වයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තර්මන් ෂන්මුගරත්නම් මහතාගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් මහතා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙකි.තර්මන් ෂන්මුගරත්නම් 2011 වසරේ සිට 2019 වසර දක්වා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

කෙහෙළියගේ විශ්වාසභංගය

රට පුරා රෝහල්වල ඖෂධ හිඟය. සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී ඇත. දුෂණ චෝදනා ඇතුළු චෝදනා රැසකි. එහෙත් සියල්ල තීරණය කෙරෙන්නේ පක්ෂ දේශපාලනය මතය.

මේ අතරේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ 6,7 සහ 8 යන දින තුනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 8 වැනිදා පස්වරු 5.30ට පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබූවේ කතානායකවරයාට බාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.
ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් අරඹා ඇති සටන මේවනවිට උණුසුම් මුහුණුවරකට පැමිණ ඇත.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව විසින් විශේෂ කමිටුවක්ද පත් කරනු ලැබ ඇත.ආණ්ඩුවට මෙසේ කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රබල උත්සාහයක නිරතව සිටින නිසා බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා විපක්ෂය ප්‍රබල සටනක නිරතව සිටින හෙයින් ලබන සතියේදී විදේශ ගමන්වල යෙදීම ජනාධිපතිවරයා විසින් සියලු මැති ඇමැතිවරුන්ට තහනම් කරනු ලැබ ඇත. විශ්වාසභංගය අතරේ ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හරිනු ලැබ ඇත. කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව පැවසේ. උපකරණ හිඟය නිසා රෝහල් රැසක සැත්කම් ඇනහිට තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න නීතීඥවරු පක්ෂභේදයෙන් තොරව පෙරට

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ,අධිකරණයට හා විනිශ්චයකාරවරුන්ට එල්ලවන බලපෑම් වලට එරෙහිව රටේ ප්‍රධාන පෙලේ ජනාධිපති නීතීඥ , ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නීතීඥවරු එක්ව පසුගියදා රැස්වීමක් පැවැත්වුහ. සියලු දේශපාලන පක්ෂවලට හා විවිධ සංවිධාන වලට සම්බන්ධව කටයුතු කල නීතිවේදීහු රැසක් ඊට එක්ව සිටියහ. විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කල නීති ප්‍රවීනයන්ද ඊට සමබන්ධවී සිටියහ. ජනාධිපතිවරයාගේ හා කතානායකවරයාගේ ඇතැම් ප්‍රකාශ මෙහිදී දැඩි විවේචනයට භාජනයවූ අතර පාර්ලිමේන්තු පනත් හැර යෝජනා සම්බන්ධයෙන් අධිකරණ මය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවට ඉඩ සලසා ඇති මෙහිදී ඔවුහු අවධාරණය කළහ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan