රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ LNW :
වර්තමාන ශ්රී ලාංකීය සමාජ දේහය සිසාරා වේගයෙන් පැතිර යන මත්ද්රව්ය ව්යසනය සෞඛ්ය ගැටලුවක් හෝ නීතිය පිළිබඳ ප්රශ්නයක් පමණක් නොවේ. එය අපේ සමාජයේ පදනම දෙදරුම් පන්නන, පුපුරා යාමට ආසන්න කාල බෝම්බයකි. මෑතකදී මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් අනාවරණය කළ කරුණු දෙස බ්බැලීමේදී පෙනී යන්නේ, අප රටක් ලෙස කෙතරම් බරපතල අගාධයකට ඇද වැටෙමින් තිබේද යන්නයි.
රටක නීතියේ ආධිපත්යය ක්රියාත්මක වන පද්ධතියේ අවසාන නැවතුම්පොළ වන්නේ බන්ධනාගාරයයි. එහෙත් අද වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇත්තේ දරාගත නොහැකි පද්ධතිමය බිඳවැටීමකටය. අමාත්යවරයාගේ හෙළිදරව්වට අනුව බන්ධනාගාර පද්ධතිය අද මත්ද්රව්ය ජාලයේ ගොදුරක් බවට පත්ව තිබේ.
අමාත්යවරයා පෙන්වා දෙන පරිදි, බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගෙන් 70%ක්ම රඳවා සිටින්නේ මත්ද්රව්ය සම්බන්ධ චෝදනා මතය. වඩාත් තැතිගන්වනසුලු කරුණ වන්නේ, එම චෝදනා මත පමණක් බන්ධනාගාරගතව සිටින පිරිස 40,000ක් පමණ වීමයි. මෙම දත්තය හුදෙක් ඉලක්කමක් පමණක් නොව, මෙරට අධිකරණ සහ බන්ධනාගාර පද්ධතිය මත එල්ල වී ඇති අතිමහත් පීඩනය පිළිබඳ සාක්ෂියකි. මත්ද්රව්ය උවදුරේ බියකරු බව වටහා ගැනීමට අමාත්ය ආනන්ද විජේපාල මහතාගේ මෙම ප්රකාශය ප්රමාණවත්ය…
"බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගෙන් 70%කට පමණ, මත්ද්රව්ය සම්බන්ධ චෝදනා ඇත."
පාසල් පන්ති කාමරය ආක්රමණය කළ "මත්පෙති" සංස්කෘතිය
අද බන්ධනාගාර තුළ අප දකින මෙම 40,000ක පිරිස අහසින් කඩා වැදුණු පිරිසක් නොවේ. එය වසර කිහිපයකට පෙර පාසල් පද්ධතිය තුළින් නිර්මාණය වූ ඛේදවාචකයක අස්වැන්නයි. මත්ද්රව්ය ජාලය දැන් කොළඹට හෝ නාගරික ප්රභූ පාසල්වලට පමණක් සීමා වී නැත; එය ඉතා සූක්ෂ්ම ලෙස ගම්බද පාසල් පද්ධතිය දක්වා විහිදුවා තිබේ.

විශේෂයෙන්ම “මත්පෙති” (Drug pills) භාවිතය පාසල් දරුවන් අතර ප්රචලිත වීම මෙහි ඇති භයානකම තත්ත්වයයි. සාම්ප්රදායික මත්ද්රව්යවලට වඩා මත්පෙති ඉතා පහසුවෙන් සඟවා තබා ගැනීමටත්, හඳුනාගත නොහැකි ලෙස ප්රවාහනය කිරීමටත් හැකි වීම නිසා ජාවාරම්කරුවන් ගම්බද සිසුන් දඩයම් කර ගැනීමට මෙය ආයුධයක් කරගෙන ඇත. මෙය හුදෙක් තරුණ පරපුරේ සෞඛ්යය පිළිබඳ ප්රශ්නයක් නොව, රටේ අනාගත බුද්ධිමය සම්පත ක්රමයෙන් දියකර හරින ජාතික විනාශයකි. ගමේ පාසල් දරුවා මත්පෙත්තට ඇබ්බැහි වීම යනු හෙට දවසේ බන්ධනාගාරයේ තවත් ඉලක්කමක් ඉහළ යාමකි.
රාජ්ය මැදිහත්වීම සහ වැළැක්වීමේ නව ප්රවේශය
මෙම තත්ත්වය පොලිස් වැටලීම්වලින් පමණක් මර්දනය කළ නොහැකි තරමට සමාජය තුළ මුල් බැස තිබේ. මේ බව වටහා ගනිමින් මහජන ආරක්ෂක අමාත්යාංශය දැන් නව මාවතකට අවතීර්ණ වී ඇත. මත්ද්රව්ය පාසල් පද්ධතියට ඇතුළු වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබීම මෙහිදී වැදගත් වේ.
කොබෙයිගනේ ජාතික පාසලේ පැවැති උත්සවයකදී අමාත්යවරයා අවධාරණය කළ පරිදි, රජයේ ඉලක්කය වී ඇත්තේ මත්ද්රව්ය පැමිණෙන මංමාවත් පාසල් මට්ටමින්ම අවහිර කිරීමයි. බලධාරීන් මෙම ගැටලුව හුදෙක් සංඛ්යාලේඛන ලෙස නොව, මානුෂීය සහ සමාජීය අර්බුදයක් ලෙස බැරෑරුම්ව ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

බන්ධනාගාර දත්තවලින් හෙළිවන 70%ක බියකරු ප්රතිශතයත්, ගම්බද පාසල් කරා රහසිගතව ඇතුළු වන මත්පෙති උවදුරත් අපට පවසන්නේ එකම කතාවකි. එනම්, අපේ රටේ අනාගතය මත්ද්රව්ය නමැති මාරක දැලකට හසුවෙමින් පවතින බවයි. රජය සහ බලධාරීන් නීතිය ක්රියාත්මක කිරීමට සහ වැළැක්වීමේ වැඩපිළිවෙළවල් දියත් කිරීමට ඉදිරිපත් වීම සුබ ලකුණකි.


