*
Monday, October 7, 2024
spot_img

Latest Posts

වත්මන් විභාග සමතුන් ඉහළින්ම අගැයුමත් අන්තිම නරකයි

පසුගිය සතියේ ජන කරලියට පිවිසි උණුසුම් පුවත් අතරිනුදු අප සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ පුවතක් අසන්නට ලැබිණ. ඒ පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය නිකුත් වීම පිළිබඳ පුවත ය. සාමාන්‍ය සංසිද්ධියක් වන විභාගයක ප්‍රතිඵල නිකුත් වීම ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වීම කිසියම් සමාජමය විපරීතයක්, විකෘතියක් පිළිබඳ ඉතා පැහැදිලි දර්ශකයකි.එබැවින් එය මුල් කොට මතු විමසීම සිදු කළ යුතුයැයි අපට සිතෙයි.

ජන මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වූ අන්දමට එම විභාග ප්‍රතිඵලයේ සම්පිණ්ඩනය මෙලෙසිනි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම “ඒ” සාමාර්ථය ලබාගෙන තිබේ. විභාගයට පෙනී සිටි සිසුන් 263,933 දෙනකු අතුරින් සිසුන් සියයට 63ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.ජීව විද්‍යා අංශයෙන් සිසුන් 817 ක්, ගණිත අංශයෙන් සිසුන් 1088 ක්, වාණිජ අංශයෙන් සිසුන් 4198 ක් සහ කලා අංශයෙන් සිසුන් 3622 ක් විෂයන් තුනටම “ඒ” සාමාර්ථය හිමි කරගෙන තිබේ. එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය අංශයෙන් සිසුන් 90 දෙනකු, ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් සිසුන් 73 දෙනකු සහ විවිධ විෂය ධාරාවන්ගෙන් සිසුන් 36 දෙනකු වශයෙන් විෂයන් තුනටම “ඒ” සාමාර්ථය හිමි කරගෙන ඇත.

ගිය වසරේදී (2021) විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සියයට 62.9 ක් සුදුසුකම් ලද අතර මෙවර එම ප්‍රතිඵලය සියයට 0.4කින් වර්ධනය වී තිබේ.විෂය ධාරා 6ක් යටතේ සිසුන් විභාගයට ඉදිරිපත් වී ඇති අතර ජීව විද්‍යා විෂයෙන් විභාගයට පෙනී සිටි 40,329 ක් අතුරින් 23,173 දෙනකු විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇත.භෞතික විද්‍යා (ගණිත) විෂයයෙන් සිසුන් 35,197 දෙනකු විභාගයට පෙනී සිට ඇති අතර ඉන් 20,138ක් විශ්ව විද්‍යාලයට සුදුසුකම් හිමි කරගෙන ඇත.වාණිජ්‍යය අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුන් අතුරින් 40,140ක් විශ්ව විද්‍යාල සුදුසුකම් හිමි කරගෙන ඇති අතර කලා විෂය යටතේ සිසුන් 64,333ක් විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් හිමි කරගෙන ඇත. ඉංජිනේරු තාක්ෂණවේදයෙන් සිසුන් 10,633 දෙනකු සහ ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් සිසුන් 5981 දෙනකු විශ්ව විද්‍යාල සුදුසුකම් හිමි කරගෙන ඇත.මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵලවලට අනුව සිසුන් 27,158 දෙනකු විෂයන් තුනම අසමත් වී තිබේ. එය ප්‍රතිශයක් ලෙස සියයට 10.29කි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵලය සම්බන්ධ පුවත අනේක විධ සෙසු කාලීන උණුසුම් පුවත් අතුරින් වේගයෙන් ඉදිරියට පැමිණීමත් සමඟම ඒ ඔස්සේ මෙවර අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයන් හිමිකර ගත් විශිෂ්ඨතමයන් කෙරෙහි සුවිශේෂ ජන අවධානයක් යොමු ව තිබේ.ඔවුන් ඉගෙන ගත් පාසල් සේම ඔවුන් ගේ පෞද්ගලික වත ගොත සම්බන්ධයෙන් ජන මාධ්‍ය කරුවන් අති ප්‍රමාණික ප්‍රසිද්ධියක් ලබා දීම මුල් කර ගනිමිනි. නමුදු මෙම දින සහ සති කිහිපය තුළ සාමාන්‍ය සිසුන් අතුරින් “සුසිරි තරු” ගණයට පැමිණෙන ඔව්හු ඉදිරි සති කිහිපය තුළ සමාජ කරලියට පැමිණෙන වෙනත් උණුසුම් පුවත් හමුවේ ඉබේටම වසන් ව යති. එහෙත්, මෙලෙස පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් සිසු දරුවන් ලබන විශිෂ්ඨ සාමාර්ථයන් මෙලෙස අතිප්‍රාමාණික ලෙස අගැයුමට ලක් කිරීමේ බරපතල සමාජමය අගති සහගත තත්වයකි.

දරුවකු අධ්‍යාපනය ලැබීමේදී දක්වන දක්ෂතාව ඒකාකාර වේගයකින් ප්‍රවර්ධනය නොවන බව පොදු සම්මුතියකි. එසේ සුවිශේෂ හැකියාවක් පිහිටනුයේ උත්කෘෂ්ඨ(Genius ) නමින් හැඳින්වෙන සුවිශේෂ බුද්ධිමය කුශලතාවයන් සහිත දරුවනට පමණි. ඒ අනුව කිසියම් දරුවකු පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් පළ කරන දක්ෂතාව ඒ අයුරින්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයේ දීත් එම විභාගයේ දී පළ කරන දක්ෂතාව ඒ අයුරින්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයේ දීත් නොදක්වන බව අතිශයින් පැහැදිලිය. ඒ ඒ එක් එක් වයස් සීමාවන් හිදී එක් එක් දරුවා දක්වන දක්ෂතාවන් කිසියම් උන්නතියක් හෝ අවනතියක් පළ කරන බැවිනි.
“පහේ ශිෂ්‍යත්වයෙන් මෙච්චර හොඳට පාස් වුණු දරුවට මොකද මේ වුණේ?’ ඇතැම් දරුවන් ගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ප්‍රතිඵල හමුවේ බොහෝ මාපියන් එලෙස විස්කෝප වනු අප ඕනෑ තරම් අසා දැක තිබේ.

සත්‍ය වශයෙන්ම කිව හොත් දරුවන් අප රටේ ක්‍රියාත්මක වන විභාග ක්‍රමය ලොව දියුණු රට වලින් ඉවත හෙලූ අහඹු පරීක්ෂණ (Random test ) සම්ප්‍රදායට අයත් එකකි.”මේ සැරේ පේපර් එකේ මොනවා තියෙයිද දන්නෙ නැහැ”යන අනියත බිය සැක දරුවා තුළ ජනිත වනුයේ එබැවිනි.”මෙදා සැරේ විභාගෙට මේ මේ කොටස් එන්න පුළුවන් ඒ ටික හොඳට බලා ගන්න” යනුවෙන් සිසුන් ගේ දැනුම් අවබෝධයන් “කුට්ටි කොට” දැක්වීමට ද වත්මන් ගුරු ප්‍රජාවට සිදුව තිබේ. මෙමගින් දරුවකු තුළ පවතින දැනුම,බුද්ධිය අවබෝධ ඥානය සුවිශේෂ දක්ෂතා වඩාත් නිවැරදි ලෙසින් මැනගත නොහැක.අප රටේ තත්වය එය වුවද අර්ධ වාර්ෂික ක්‍රම(Semester system)බඳු ඒ සඳහා වන නවීන අධ්‍යාපන ක්‍රම මේ වන විට අපට ආසන්නතම ඉන්දියාවේ පවා ක්‍රියාත්මක වේ.

නමුදු ඒ යථාර්ථය වටහා නොගෙන අප රටේ පවත්නා අබල දුබල අධ්‍යාපන ක්‍රමයක් නියෝජනය කරන ජාතික විභාගයකින් වැඩිම ලකුණු ලබා ගැනීම සාර්ථක උසස් අධ්‍යාපනයක් සහ සාර්ථක අනාගතයක් පිළිබඳ නියත විවරණ ලැබීමක් සේ වරදවා වටහා ගන්නා සමාජය ඒ ඔස්සේ එම සිසු දරුවන් හට අතිප්‍රාමාණික අගැයුමට ලක් කිරීම ඔවුන්ගේ නොමේරූ මනැස් වලට අනවශ්‍ය බරක් ආරෝපණය කිරීමකි.එමඟින් එම සිසු දරුවන් ඉන් පසුව එළැඹෙන උසස් අධ්‍යාපන අදියරවල දී තමන් මුහුණ දෙන ගැටළු අර්බුද ආදිය හමුවේ වඩාත් ප්‍රකම්පනයට ලක්වීමට පැහැදිලි ඉඩ කඩක් තිබේ. විශේෂයෙන් අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විශිෂ්ට ජයක් ලබා සරසවි අධ්‍යාපනයට පිවිසෙන දරුවන් ගෙන් සැළකිය යුතු පිරිසක් එහි දී උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථයක් හිමි කර ගත් සිසුනට වඩා පසුගාමී වීමේ යම් හැකියාවක් තිබේ. සරසවි අධ්‍යාපනයේ විෂය පථයන් සහ අධ්‍යාපන ක්‍රම පාසල් අධ්‍යාපනයට වඩා වෙනස් වීම ඇතුලු හේතු සාධක රාශියක් ඊට මුල් විය හැක. එවන් තත්වයන් යටතේ එබඳු දරුවන් සරසවි අධ්‍යාපනය තුළ දී දැඩි මානසික ආතතියකට; ඇතැම් විට විශාද තත්වයනට පවා ගොදුරු විය හැකි බව ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ විශේෂඥ මනෝ වෛද්‍ය වරු කියති.මේ වන විටත් නිරතුරුවම වාර්තා වන සරසවි සිසුනට දිවි එපාවීම් සම්බන්ධ ශෝචනීය පුවත් හා ඔවුන්ගේ මෙම අයහපත් මානසික වාතාවරණය අතර කිනම් හෝ සබැඳියාවක් තිබිය යුතුම ය.

“පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිසු දරුවන්ගේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ උපාධි ප්‍රතිඵල මුල් කරගත් පර්යේෂණ කිහිපයක්ම සිදු කරලා තියනවා. ඒ සෑම පර්යේෂණයකින්ම සනාථ වුණු දෙයක් තමයි සිසු දරුවකුගේ උසස් පෙළ ප්‍රතිඵල ඒ දරුවාගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෙරෙහි සෘජු බලපෑමක් නොකරන බව. බොහෝ වෙලාවට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ දී උසස් පෙළ විශිෂ්ඨතමයන් අබිබවා උසස් පෙළ විභාගයෙන් යාන්තමින් විශ්ව විද්‍යාලයට තේරුණු සිසුන් ඉදිරියට එන අවස්ථා තියෙනවා.මේක උපාධි පශ්චාත් උපාධි මට්ටම් වලදීත් ඒ ආකාරයෙන්ම දකින්න ලැබෙන තත්වයක් තත්වයක්”පේරාදෙණිය විශ්ව විද්‍යලයීය මනෝ වෛද්‍ය විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු හා අංශාධිපති වරයකු ව සිටි විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ එසේ කියයි. “ඒ හින්දා පහේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ විභාග වලින් සිසු දරුවන් ලබා ගන්නා ලකුණු පදනම් කර ගෙන මේ වන විට සිදු කරන අතිප්‍රමාණික අගැයුම් ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපැවැත්මට පවා බාධාකාරී වන්න පුළුවන්” විශේෂඥ මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

“ඒ වගේම ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් කරපු එක් සමීක්ෂණයකදී සිසු දරුවන් ගේ උපාධි ප්‍රතිඵල වලට උසස් පෙළ ප්‍රතිඵල වලට වඩා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තරමක් සමගාමී බවක් පෙන්නුම් කළා. ඒත් මේවත් නිරීක්ෂණ අධ්‍යයන විතරයි. මේවාට බලපාන මනෝ විද්‍යාත්මක සාධක වෙනම විශ්ලේෂණය කළ යුතුයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ ඒ අනුව පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය,අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ මුල් කොට මෙවන් සමාජමය කැළඹීමක් ( Social panic ) ඇති වීම ම අප සමාජයේ ඇති අස්ථාවර බව මනාව ප්‍රකට කරවන්නක් බවය.

ඒ හැරුණු කොට පවත්නා අධ්‍යාපන හා විභාග ක්‍රමය තුළින් නිසි දක්ෂතාවයන් පළ කළ නොහැකි වූ සිසු දරුවන් ගෙන් යම් ප්‍රතිශතයක් වයසින් වැඩෙත්ම විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නොයෙක් අයුරින් උකහා ගත් දැනුම, අවබෝධයන්, අත්දැකීම් මුල් කොට ඉහත සඳහන් අධ්‍යාපනික සුසුදුකම් ලත් සිසු දරුවන්ටත් වඩා ඉහළ තලයකට පිවිසීමේ හැකියාව ලොව බොහෝ රටවලින් සේම අප සමාජයෙන් ද නොයෙක් වර පෙන්නුම් කරන තත්වයකි. ඒ අනුව අවසන් වශයෙන් කිව යුත්තේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයයන් හතරම අසමත් වූ සිසු දරුවන් අතරින් වුව මෙවර එම විභාගයෙන් විශිෂ්ටතමයන් බවට පත් සිසු දරුවන්ට වඩා සමාජ ආර්ථික ප්‍රතිලාභ හිමි කර ගන්නා සැබෑම සුවිශිෂ්ටතමයන් ද මතු විය හැකි බවය.

මූලාශ්‍රය: විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan