“දැන් නීතියට උඩින් කවුරුත් නෑ. කවුරුත් නීතිය ඉදිරියේ සමානයි. මමද අපේ මන්ත්‍රීවරයාද, මේ හැමදෙනාම නීතිය ඉදිරියේ සමානයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :

ඔක්තෝබර් 1 වනදා සිට සිදුවිය හැකි ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා සහනාධාරයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බව අකුරැස්සේ පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද (20) අකුරැස්සේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පවතින මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස මුල සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවට ගෝලීය වෙළඳපොළ මිල ගණන් මගින් ඉඟි පළ වන බවයි.

“ගෝලීය වෙළඳපොළ මිල ගණන් අනුව ඔක්තෝබර් මාසයේදී ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවෙනවා. ආනයනික ඉන්ධන මිල සහ මිල සූත්‍රය පදනම් කරගෙන පිරිවැය ගණනය කරන විට, මාසයේ පළමු වනදා සිට මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි” ඔහු පැවසීය. කෙසේ වෙතත්, ජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම සඳහා සහනාධාරයක් ලබා දීම පිළිබඳව රජය සලකා බලන බව ජනාධිපති දිසානායක මහතා ප්‍රකාශ කළේය.

“ජනතාව මත විශාල බරක් පැටවෙන විට, එය සම්පූර්ණයෙන්ම ඔවුන් මතම පැටවීම කළ නොහැකියි. එම බර ලිහිල් කිරීම සඳහා රජය යම් සහයක් ලබා දිය යුතුයි,” යැයි ඔහු පැවසීය. එළැඹෙන අයවැය මගින් දැනට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එමෙන්ම ඉදිරි අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව ද හෙතෙම අනාවරණය කළේය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරනු ලබන ඉහළම මුදල බවත් පැවසීය.මෙලෙස වෙන් කෙරෙන මුදල් යොදවා ගනිමින් මාර්ග, පාලම්, විදුලිය ඇතුළු රටට අත්‍යවශ්‍ය සියලු යටිතල පහසුකම් විධිමත්ව ගොඩනැගීමට ඉදිරි වසරේදී කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“සමහර බදුවල බරක් තියෙනවා. එළැඹෙන අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරන්න අපේක්ෂා කරනවා. එමෙන්ම එම අයවැයෙන් ප්‍රාග්ධන වියදම්වලට ලබන වසරේ රුපියල් බිලියන 2,000ක් වෙන්කර තිබෙනවා. පාරවල්, පාලම්, විදුලිය යටිතල පහසුකම්, ඔක්කොම හදන්න. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් සිදුකරන අවුරුද්ද බවට ලබන අවුරුද්ද පත්වෙනවා” යැයිද පැවසීය.

තවද, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මර්දනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල හමුවේ, අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලනයට එරෙහිව සංවිධානය වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දෙමාපියන් සහ ජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අපරාධයක් සිදුවූ වහාම එහි උණුසුම මැකීයාමට පෙර ඊට අදාළ දඬුවම් නියම වන්නේ නම් එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන බව අවධාරණය කළේය.

“අපේ හැම අම්මා තාත්තා කෙනෙක්ම අපේ රටේ අධිකරණය ගැන අචල විශ්වාසයකින් කටයුතු කරනවා. හැබැයි අධිකරණය ගැන තියෙන විශ්වාසය තවදුරටත් ශක්තිමත් වෙන්නේ අපරාධයක් සිදුවුණාම, ඒ අපරාධයේ උණුසුම මැකෙන්නත් කලින් දඬුවම් ලැබුණොත්. එවිට සමාජය තවත් අපේ අධිකරණය පද්ධතිය ගැන විශ්වාසය ගොඩනගනවා” යනුවෙන් පැවසීය නඩු කල්යාමේ ක්‍රියාවලිය වෙනස් කළ යුතු බවත්, එමගින් වරදකරුවන්ට සහ නඩුවලට පැටලී සිටින පිරිස්වලට නීතියේ බිය දැනෙනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මීට පෙර සමාජයේ ඉහළ ස්ථරයේ පිරිස් නීතියට යටත් නොවන බවට මතයක් තිබූ බව සිහිපත්කළ ජනාධිපතිවරයා, මෙරට ඉතිහාසයේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයෙකු පවා අධිකරණය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බව පැවසීය.

වත්මන් පාලනය යටතේ නීතියට ඉහළින් කිසිවෙකුත් නොමැති බවත්, ජනාධිපතිවරයා, මැතිඇමැතිවරුන් ඇතුළු සමස්ත පාලකයින් නීතිය හමුවේ එක හා සමානව සැලකෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් තහවුරු කළේය.

“දැන් නීතියට උඩින් කවුරුත් නෑ. කවුරුත් නීතිය ඉදිරියේ සමානයි. මමද අපේ මන්ත්‍රීවරයාද, මේ හැමදෙනාම නීතිය ඉදිරියේ සමානයි” යනුවෙන් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...