රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW :
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව නීතිවිරෝධී ගිනිඅවි, T-56 පතොරොම් සහ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයකට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී දේශීයව නිෂ්පාදිත ‘ටී-කටස්’ වර්ගයේ ගිනිඅවි 5ක්, දේශීයව නිෂ්පාදිත ‘ගල්-කටස්’ වර්ගයේ ගිනිඅවි 2ක්, T-56 මැගසින් 4ක්, T-56 පතොරොම් 95ක්, විවිධ තුවක්කු වර්ගවලට අයත් ජීව පතොරොම් 436ක් සහ මාංචු යුගල 2ක් සොයාගත් බව පොලිසිය පැවසීය.
සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සැප්තැම්බර් 12 වැනිදා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සමඟ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ආරම්භ කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබේ.
අදාළ සැකකරුගෙන් දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී වැලිවේරිය, වේබඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් දෙවන සැකකරු අත්අඩංගුවට ගෙන මෙම හෙරොයින්, ගිනිඅවි සහ පතොරොම් තොගය සොයාගෙන තිබේ.
සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන සඳහා දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.


