*
Friday, May 10, 2024
spot_img

Latest Posts

2029 යේ අවාසනාවන්තම ජනාධිපති – සමාජ ජාල පනතට සියල්ලන්ගේ විරෝධය – ජනතාව ගසා කන දේශීය ව්‍යාපාර – රනිල්ගේ චීන ගමන ගැන ඉන්දියාව හා ඇමරිකාව විමසිල්ලෙන්

ජනිත සෙනෙවිරත්න (නිව් යොර්ක් නුවර සිට)

නිව් යොර්ක්, එක්සත් ජනපදය (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර දෙවන ණය වාරිකය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථකවී ඇති අතර මේ අනුව ණය ප්‍රති ව්‍යුහගතකරණය සිදුවනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ චීන සංචාරය ඔක්තෝබර් මැදදී සිදුවන අතර එහිදී චීන රජයද ණය ප්‍රති ව්‍යුහගතකරණය සඳහා එකඟ වනු ඇතැයි අපේක්ෂිතය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය දිනවල චීනය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක කටයුතු කරනු පෙනේ. ඊට ප්‍රධාන හේතුව ගෙවීමට ඇති චීන ණය මුදල්ය. චීනය ණය ප්‍රති ව්‍යුහගතකරණයට එකඟ නොවුනහොත් එහි ප්‍රතිඵලය භයානක බව රනිල් දනී. එහෙත් චීනය සමග සමීප වීම ඇමරිකා එක්සත් ජනපදය හෝ ඉන්දියාව ඉවසන්නේ නැත. එසේම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ඒ සඳහා මේ සියලු පාර්ශව වල සහයද තීරණාත්මකය.

විශේෂයෙන්ම මේ දිනවල ඉන්දියාව ගන්නා දැඩි තීරණ ලොවම අන්ද මන්ද කර තිබේ. ඉන්දියාව හා කැනඩාව අතර මතුව තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නය කෙලවර වුයේ කැනඩා වැසියන්ට ඉන්දියාවේ සංචාරය සඳහා ඉන්දියානු වීසා ලබාදීම නතර කිරීමෙනි.සීක් ජාතික අන්තවාදී නායකයකුගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව හා ඉන්දියාව අතර මේ වන විට දැඩි විරසකයක් මතුව තිබේ. කැනඩාවේ පුරවැසිභාවය ලබා ගත් මිලියන ගනනක් වන ඉන්දියානුවන්ගේ හඬ දේශපාලනික වශයෙන් ශක්තිමත්ය. ඉන්දියාවේද මැතිවරණ වලට ඇත්තේ තවත් මාස ගණනකි. මේ නිසා දැඩි තීරණ ගැනීමට කිසිදු බාධාවක් නොවන්නේ එය දේශපාලනිකවද බලපාන නිසාය. මේ නිසා ඉන්දියාව තරහ නොකරගෙන චීනයට සමීපවීම රනිල්ට ඇති විශාල අභියෝගයකි. ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය සමග ඇමරිකාව සෑම විටම සිටී.අනෙක් අතට ශ්‍රීලංකාවට චීන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයද දරන්නේ අයහපත් ආකල්පයකි. ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයාගේ අවසන් මොහොතේ අවලංගු වුනු ශ්‍රීලංකා සංචාරය හරහාද ඉන්දියාව ලබා දුන් පණිවිඩය බරපතලය.

2029 බලයට පත්වන අවාසනාවන්තම ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණය කල විට වර්තමාන ජනාධිපතිවරයා පමණක් නොව 2024 දී පත්වන කවර හෝ ජනාධිපතිවරයාද ගොඩය. ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමග භයානක මට්ටමේ ආපසු ගෙවීම් වසර පහකට කල් යන නිසාය. ඒ අනුව 2029 දී ශ්‍රීලංකාවට පත්වන ජනාධිපතිවරයාට මේ සියලු ණය බර උරුමවේ. ඒ මෙතෙක් ගත් ණය හා 2023 සිට 2029 දක්වා ලබා ගන්නා ණය සියල්ලද එක්වය. 2029 දී කවරෙක් මේ ණය කන්දට කර ගසාවිදැයි කීමට කල් වැඩිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා පසුගිය දිනවල කොළඹදී පැවැති අතර ජනාධිපති නියෝජිත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම සාකච්ඡා වලට සහභාගී විය.
මෙම සාකච්ඡා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වයන් ගැන සතුට පළ කර ඇති නමුත් යම් යම් ක්ෂේත්‍ර වල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද කණගාටුව පල කර තිබේ.

රාජ්‍ය ආදයම් ඉහල නැංවීමේ ඉලක්කය එලෙසින්ම සම්පූර්ණ කරගෙන නොමැති බවද අයි.එම්.එෆ් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.

රටට සපුරා ගැනීම සඳහා ඉලක්ක දෙන විට ප්‍රායෝගික විය යුතු බව පෙන්වා දී ඇති ශ්‍රීලංකා රජයේ නියෝජිතයන් බදු අය කරද්දී ප්‍රායෝගික විය යුතු බවද ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව පෙන්වා දී ඇති රජයේ නියෝජිත පිරිස රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ.

මෙහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවය.

රටේ හැම පවුලක්ම ලක්ෂ 47 ක් ණය ලු ..

රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත.

රජය ගත් අසීමිත ණය හේතුවෙන් මේ පිරිස මෙසේ ණයකරුවන්වී සිටින බව පැවසේ.මේ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය (මේ වසරේ අප්‍රේල් මාසය දක්වා )රුපියල් එකොළොස් ලක්ෂ අසූ එක් දහසක් බවද එම ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වර්ෂයේදී පැවතියේ රුපියල් හය ලක්ෂ අනූ දහසක් ලෙස බව ද මේ වර්ෂයේ ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය රුපියල් හය ලක්ෂ අනූ දහස් හැට හතරක් බවද සඳහන් වේ.මේ වසරේ ඒක පුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ අනූ දහස් නව සිය හැත්තෑ දෙකක් වේ.

ඇමරිකානු හා කියුබානු සංචාරය නිමවා රනිල් යලිත් ශ්‍රීලංකාවට ……

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරය නිමා කර මේ වන විට ශ්‍රීලංකාවට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මුලින්ම 15 දා සිට 16 දා දින දක්වා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය.

ඉන් අනතුරුව 19 දා සිට 21 දින දක්වා ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය. ඇමරිකා එක්සත් ජනපදයේදී ශ්‍රීලංකාවට ආයෝජන ගෙන එම සඳහා ව්‍යාපාරික සමුළුවකටද ජනාධිපතිවරයා සහභාගී විය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව අතරේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුටරේස් ද හමු විය.

එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ” වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ” ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා “විශ්වාසය නැවත ගොඩනැංවීම සහ සහයෝගීතාව යළි ඇති කිරීම” යන ප්‍රකාශය අද අප ඉදිරියේ පවතින බහුපාර්ශ්වික අභියෝග පිළිබඳ මෙනෙහි කිරීමට පමණක් නොව, පසුගිය වසර පුරා මගේ රට වන ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ද සුදුසු බව මම විශ්වාස කරනවා.

පසුගිය වසරේ මෙම කාලය වන විට ඇති වී තිබූ බහුවිධ ගෝලීය අර්බුදයන් මධ්‍යයේ ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් සමාජීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදය අත්විඳිමින් සිටි අතර එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට විනාශකාරී බලපෑමක් එල්ල කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට දරන ලද උත්සාහයන් නිසා අප සතුව පැවති ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන්ට ද තර්ජනාත්මක තත්ත්වයක් රට තුළ උද්ගත වුණා.කෙසේ වූවත්, අප සතුව පැවති ගැඹුරින් මුල් බැසගත් සහ ඔරොත්තු දෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලන බල හුවමාරුවක් සිදු කිරීමට අප සමත් වුණා.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පොහොර පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගාසිටුවමින් රටේ ස්ථාවරත්වය සහතික කිරීමට සහය වූ බව කිවයුතුයි,ආර්ථික, මූල්‍ය, ආයතනික සහ සංහිඳියා යන ක්ෂේත්‍ර ප්‍රමුඛ කර ගනිමින් මා විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ එක් අතකින් ජනතාව සහ රජය අතර විශ්වාසය යළි ගොඩනැගීම සඳහා හේතු වී ඇති අතර අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය ඇතිකිරීම සඳහා අඩිතාලම දැමීමක් ද වනවා.
ආරම්භක අවධියට වඩා ලෝකයේ පවතින ආරක්ෂක සන්ධානයන් මේ වන විට පුළුල් වී ඇති අතර ඒවාට මුහුණදීමට පැරණි සහ නව අවස්ථාවන්ට අනුකූලව උපායමාර්ග සැකසෙමින් පවතිනවා.

ඩිජිටල් බෙදීම, මූල්‍ය හා ණය අර්බුදය සහ බලශක්ති ප්‍රභවයන්ගේ පරිණාමය යන කරුණු සමඟ උතුර සහ දකුණ අතර පවතින ගෝලීය බෙදීම් තවදුරටත් පුළුල් කරනවා.

දේශසීමා විරහිත මුල්‍ය බලපෑම්, දේශගුණික විපර්යාස සහ වසංගත වැනි අර්බුද මගින් මගේ රට වන ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සහදේශගුණික විපර්යාස වලට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීමට ඇති හැකියාවට බාධා ඇති කරනවා.

තිරසර සංවර්ධන ඉලක්ක සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඔබ්බට සංවර්ධනය සහ වර්ධනය පමණක් මැනීම සඳහා වන අතර, මානව යහපැවැත්ම, ඇතුළත් සමාජ සහ ගෝලීය තිරසාරභාවය එහි හරය තුළ අන්තර්ගතව තිබෙනවා.

පෘථිවිය ආරක්ෂා කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුයි. බෙදීමක් සමඟ යුද්ධයකට යාමට අපට හැකියාවක් නැහැ.මෙම අර්බුදය අවසන් කරගන්නා තුරු එකිනෙකා වෙනුවෙන් පවතින එදිරිවාදිකම් පසෙක තැබීමට අපට ඇති හැකියාව මත ලෝකයේ සියලුම ජීවී විශේෂවල අනාගතය රඳා පවතිනු ඇත.
වත්මන් ගෝලීය විවිධත්වය සහ තීරණ ගැනීමේ නියෝජිතයන් ලෙස පවතින ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය ද පුළුල් කළ යුතුය. ඊට සමාන්තරව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි කාර්යභාරය ශක්තිමත් විය යුතුය.

වර්තමාන ලෝක බලවතුන් අතර උපායමාර්ගික වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයක් නොමැති බව ලෝකයට පිළිබිඹු කරන්නකි.මෙවැනි ගැටුම් උත්සන්න කිරීමට හේතුවන යුද වියදම් වැඩි කිරීම සීමා කරන ලෙස අප ඉල්ලා සිටිමු.

සංවර්ධනය වෙමින් පවතින රටවල් දශක ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් සිය හඬ නගමින් සිටිනවා.අති විනාශකාරී ආයුධ (WMD) සහ න්‍යෂ්ටික අවි නිරායුධකරණයට සහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරයට අනුකූලව, මේ වසරේ අප ඊට අදාළ විස්තීරණ පරීක්ෂණ තහනම් සඳහා වන ගිවිසුම අනුමත කළා. අප න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට ද එකඟ වුණා.
අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණෙන්නේ පොදු විසඳුම් සඳහා අප තුළ පවතින සහයෝගීතාවය පෙන්වීමටයි.අවදානමට ලක්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ අනාගතය නොව සමස්තයක් ලෙස අපගේ පෘථිවියේ අනාගතයයි.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය මර්දන නීතිවලට එරෙහිව සජිත්ගෙන් අරගලයක්

රජය සමාජ මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළොත්, ඊළඟ අරගලය තමන් ආරම්භ කරන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වත්මන් ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාවගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත්, එහි අලුත්ම ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, අවහිර කිරීමට කටයුතු කිරීම බවත් පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය නමින් වචන ඉදිරිපත් කරමින් ඒ පසුපස සිදු කරන්නේ, සමාජ මාධ්‍යවල පාලනය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාත්මක කිරීම බවට චෝදනා කළේය.

ආණ්ඩුව සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින්, ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන බවත්, ජනතාව සමග පාරට බැස මෙම මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව අරගල කිරීමට පවා තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ, දෙවිනුවර ධීවර වරායේ තත්ත්වය සොයා බැලීම සඳහා කළ සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අපේ රට වට සරුසාර මුහුදු කළාපයක් තිබුනත්, රටේ මත්ස්‍ය අවශ්‍යතාව ඒ තුළින් සපුරා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අප ලැජ්ජා විය යුතු බවත්, මත්ස්‍ය නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙසද ගොඩ නැගිය හැකි මොහොතක වත්මන් ආණ්ඩුව හා ධීවර අමාත්‍යාංශය ඒ වෙනුවෙන් දක්වන්නේ උදාසීන භාවයක් බවත්, විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතට හා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට නීතීඥ සංගමයේ විරෝධය

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට දැනුම්දී තිබේ.

එම සංගමය ඒකමතිකව තීරණය කර ඇත්තේ, මෙම පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි සේ බලපාන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවද මෙලෙස සමාජයට බලපෑම් එල්ල කළහැකි පනත් හදුන්වාදීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කරගැනීම වැදගත් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ආනයන සීමා ඉවතට – දේශීය ව්‍යාපාරිකයන්ගේ ගසා කෑම් වලින් ජනතාව බේරා ගන්න

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. එහෙත් මෙය ක්‍රමානුකූලව සිදු නොකළහොත් යලිත් විදේශ විනිමය අර්බුදයක් ඇතිවීම වැළක්විය නොහැක.

පුද්ගලික වාහන ආනයනය තවදුරටත් සීමා කිරීම රජයේ යහපත් තීරණයකි. එහෙත් මේ වන විට වාහන වල අමතර කොටස් හිඟයක් රට පුරා තිබේ. මේ හරහා විශාල කළුකඩ වෙලන්දපොලක්ද නිර්මාණය වී තිබේ. පන්චිකවත්තේද අමතර කොටස් හිතුහිතු ගණන් වලට විකුණන අයුරු දැකිය හැකිය. එම නිසා රජය මීට මැදිහත්ව ජනතාවට සාධාරණ මිලට වාහන අමතර කොටස් ලබාදීමට පියවර ගත යුතුව තිබේ. ඒ සඳහා නිශ්චිත කාලයකට රජයට අයත් රාජ්‍ය වණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වාහන අමතර කොටස් ආනයනය කල යුතුය. එවිට පුද්ගලික අංශයේ භාණ්ඩ සඟවා ගැනීම් හා අසාධාරණ ගසා කෑම් පාලනය කල හැක. සෑම දෙයක්ම පුද්ගලික අංශයට ලබාදී ලැබෙන බදු මුදලින් ජීවත්වන රජයක් ජනතවට අවශ්‍ය නැත. ජනතාව රජයක් පත් කර ගන්නේ නිදහසේ බයක් සැකක් නැතිව සාධාරණ ලෙස ජීවත් වන්නටය. රජය ව්‍යාපාර වලට මැදිහත්වීම අප වැනි අර්බුද වලින් පිරුණු රටක කල යුතුය. එසේ නොමැති වීම තුල අපහසුවට පත් වන්නේත් ගසා කෑමට ලක්වන්නෙත් ජනතාවය.

ඉන්ධන හා රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය හැරුණු විට විශාල විදේශ විනිමයක් වැය වන්නේ විටමින් හා කාය වර්ධන ආහාරමය ද්‍රව්‍ය , රූපලාවන්‍ය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා බව කියවේ. මේවා අසීමිත ලෙස ආනයනය සීමා කල යුතුව තිබේ.

මේවා විදෙස් රටවලින් ගෙන ඒම වෙනුවට දේශීය ව නිෂ්පාදනය කිරීමටද පියවර ගත යුතුව තිබේ. එසේම දේශීය නිෂ්පදකයන්ද දේශීය නාමයෙන් ජනතාව ගසාකෑම නවතාලන්නටද රජය පියවර ගත යුතුය.

අඩු මුදලට පාසල් දරුවන්ට සපත්තු දෙන්න බැරිද ?

දේශීය නිෂ්පාදන අප දිරිගැන්විය යුතුය. එහෙත් දේශීය නාමයෙන් ජනතාව ගසා කෑම බරපතල වරදකි. උදාහරණයක් ලෙස ආනයනික සපත්තු සඳහා විශාල බද්දක් ක්‍රියාත්මක වේ.

ඒ තුලින් ඩී .එස්.අයි සපත්තු වැනි දේශීය නිෂ්පාදන ආරක්ෂාවේ. එහෙත් මේ වන විට එම දේශීය සපත්තු මිල පාසල් දරුවන්ට දරන්නට නොහැකි මට්ටමකට මිල ඉහල ගොස් තිබේ. රටේ රබර් වලින් හා අනෙක් නිෂ්පාදනවලින් නිපදවන දේශීය සපත්තු මේ ආකාරයට මිල ඉහල දැමීම බරපතලය. ආනයනික බද්ද ඉහල නිසා කිසිවකු පාසල් සපත්තු ආනයනය නොකරයි.

එම වාසිය නිසා දේශීය නිෂ්පාදකයින් රටේම දරුවන් ගසා කති. අද ආර්ථික තත්වය නිසා සාමාන්‍ය රජයේ සේවකයෙකුට පවා තම දරුවන්ට සපත්තු මිලදී ගැනීම අපහසුය. මේ නිසා දේශීය නිෂ්පාදන නිෂ්පාදන වියදම අනුව සාධාරණ මිලකට අලෙවිකිරීම නියාමනය කිරීම මුදල් අමාත්‍යංශය හා වෙළඳ අමාත්‍යංශය කටයුතු කල යුතුය.

ක්‍රීඩා – සෞඛ්‍ය – බුද්ධ ශාසන අමාත්‍යංශ වලට නව ඇමතිවරු ?

ඉදිරි දෙසතිය තුල කවර හෝ අවස්ථාවක කැබිනට් සංශෝධනය සිදුවෙතැයි අපේක්ෂිතය. මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය ඇමරිකානු හා කියුබානු සංචාරයට පෙර පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමගද සාකච්ඡා කර තිබේ. ඒ අනුව දැනට ඇමති ධුර නොමැති පොහොට්ටුවේ කීප දෙනෙකුට ඇමතිධුර ලැබීමටද නියමිතය.රොෂාන් රණසිංහගේ ක්‍රීඩා ඇමති ධුරය හා කෙහෙළියගේ සෞඛ්‍ය ඇමති ධුරයද වෙනස්වීමට නියමිතය. රාජිත සේනාරත්න හට සෞඛ්‍ය ඇමති ධුරය ලබා දෙන බවට පසුගිය කාලයේ දැඩි කතා බහක් පැවතියද ඔහු රජයට එක් වුයේ නැත.එම නිසා මේ අවස්ථාවේ සෞඛ්‍ය ඇමති ධුරය වෙනස් කරන්නේ නම් එය රමේෂ් පතිරණ ඇමතිවරයාට ලබා දීමේ කතා බහක්ද පවතී.කෙසේවෙතත් යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස රාජිත ජනතාවගේ පැත්තෙන් සෞඛ්‍ය සේවාවට සිදු කල වෙනස්කම් විරුද්ධ දේශපාලන මත දරන්නන් පවා අගය කරති.

මෙවර වජිර අබේවර්ධනටද ඇමති ධුරයක් හිමිවීමට නියමිතය. වජිර අබේවර්ධන හට බුද්ධ ශාසන ඇමති ධුරය ලැබෙන්නට යන බවට පැතිර යන ආරංචියත් සමග රටේ ප්‍රධාන පෙලේ මහා සංඝරත්නය දිගින් දිගටම ඔහුට සුබ පතන්නට වුහ.සැදැහැවත් බෞද්ධයකු වූ වජිර රටපුරා විහාරස්ථාන වල පසුගිය කාලයේ විදුලිය විසන්ධි කිරීම නිසා සිටියේ දැඩි සිත් වේදනාවකිනි. එම නිසා නව ඇමති ධුරය හරහා රටපුරා සියලුම විහාරස්ථාන වලට නොමිලේ හෝ අඩු මිලට හෝ විදුලිය ලබා දීමට නව ක්‍රමවේද දැනටමත් ඔහු සැලසුම් කරමින් සිටින බව පැවසේ.

කාගිල්ස් පාර්භෝගික ජනතාවට සලකන හැටි…..

කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලයේ බොරැල්ල ශාඛාවක කාන්තාවකට එහි සේවකයන් පිරිසක් වට කොට දරුණු ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ ජාල වල ප්‍රචාරය වීමත් සමග සමාජයේ දැඩි කතාබහක් ඒ සම්බන්ධයෙන් ඇතිවී තිබේ.

දරුණු පහර දීම මැද ඇගේ උඩුකය ඇඳුම් උනා දැමීමද දැකිය හැක. මෙය බරපතල සිදුවීමකි.

මෙම කාන්තාව කවර වරදක් සිදු කලද ඒ සඳහා නීතිමය රාමුවෙන් පිට කිසිවකුට කටයුතු කල නොහැක. මේ ආකාරයට පාරිභෝගිකයන්ට පහර දෙන්නට ගියහොත් රටේ කවර තත්වයක් ඇතිවේදැයි සිතා ගත නොහැක.

මේ සම්බන්ධයෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙය අලෙවිසැලේ භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් බවත් අදාල අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ හැසිරීම පිළිබඳව කම්පනයටත් ලැජ්ජාවටත් පත් වන බවත්ය.
කෙසේ වෙතත් මේ වන විට සමාජයෙන් මතුව ආ විරෝධය හමුවේ පොලීසිය නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ අතර කාගිල්ස් සමාගම තම සැපයුම්කරුවන්ට සිදුකරන අසාධාරනකම් හා ගෙවීම් සිදුකරන ආකාර සම්බන්ධයෙන්ද කලක් තිස්සෙම විවිධ චෝදනා තිබේ.

වෛද්‍යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන රජයෙන් ප්‍රතිචාර ……

වැටුප් හා දීමනා වැඩිකරන ලෙස වෛද්‍යවරුන් ඇතුළු ඇතැම් වෘත්තීයවේදීන්ගෙන් රජයට දැඩි බලපෑම් එල්ලවේ. එහෙත් මේ අවස්ථාවේ එක් පිරිසකගේ වැටුප් වැඩි කිරීම යනු රජය සියතින්ම ගෙල සිඳ ගැනීමකි. රටේ සාමාන්‍ය රජයේ උපාධිධාරියකුගේ වැටුප රුපියල් පනස් දහසකි. වෛද්‍යවරයෙකුගේ වැටුප දීමනා ද සමග රුපියල් ලක්ෂ තුනක් හෝ ඊට ආසන්නය. මෙවන් තත්වයක් තුල වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කළහොත් අනෙකුත් සියලු වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යාම වැළක්විය නොහැක.වෛද්‍යවරුන්ට තරම් හඬක් නොමැති වුවද රටේ සියලුම ජනතාව ඉන්නේ දැඩි ආර්ථික අපහසුතා මැදය .

පසුගිය කාලය තුළ වෛද්‍යවරු 842ක් රට හැර ගොස් සිටින බවට කරන ප‍්‍රකාශයන් කරුණු විකෘති කිරීමක් බව හිටපු ආණ්ඩුකාර සහ ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

“ඇතැම් වෘත්තීය සමිති ඇතුළු, වෘත්තිකයින් විසින් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටිනවා. බුද්ධි ගලනයක් රට තුළ සිදුවෙමින් පවතින බවත් ප්‍රකාශ වෙනවා. පසුගිය කාලය තුළ වෛද්‍යවරු 842ක් රට හැර ගොස් සිටින බවත් ප්‍රකාශ වුණා.

මෙරට පවත්නා කම්කරු නීතියට අනුව නිවාඩු ලබා සිටින වෛද්‍යවරු 544 දෙනෙකුත් එක් කරගෙන තමයි වෛද්‍යවරු 842ක් රට හැර ගොස් ඇති බව ඔවුන් පවසන්නේ. මෙලෙස කරුණු විකෘති කර ඉදිරිපත් කිරීම තුළින් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ පවතින සැබෑ ප්‍රශ්න යටපත් වෙනවා. ප්‍රතිපත්තියක් ලෙස යම්කිසි නිශ්චිත කාර්ය පටිපාටියකට අනුව රජය විසින් රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට අවස්ථාව ලබා දුන්නා. සියලුම රාජ්‍ය සේවකයන්ට රජයෙන් ලබාදුන් වරප්‍රසාදයක් ලෙස එය හැඳින්විය හැකිය.
රටේ සියලුම රෝහල්වල වෛද්‍යවරු 7500 කට වැඩි පිරිසක් සිටිනවා” රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

දිලිත් ජනාධිපතිවරණ සටනට – තාරුණ්‍යයට ආමන්ත්‍රණයක්

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු හා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මේ වන විට 2024 ජනාධිපතිවරණ සටන ප්‍රසිද්ධියේම ආරම්භ කර තිබේ. මෙතෙක් රටේ සියලු දේශපාලකයන් ඔහුගේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ජාලය නිසා ඔහු සමග ඉතාම සමීපව කටයුතු කළහ. ඇත්තටම මෙතෙක් කල් ඔහු රජුන් තනන්නෙකු විය. එහෙත් දැන් තත්වය වෙනස්ය. දැන් මෙරට සියලු දේශපාලකයන්ට දිලිත් යනු දේශපාලන ප්‍රතිවදියෙකි. ඔහු මේ වන විට දේශපාලන පක්ෂයක නායකත්වයද දරයි.ප්‍රති විරුද්ධ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවන්ද දිලිත් ගේ දේශපාලන ආගමනයට විරෝධයක් දක්වන බව පැවසේ. ඒ ව්‍යාපාරික කාරනා නිසාය. මාධ්‍ය ශක්තිය හා අලෙවිකරණ හැකියාව හා තරුණ ප්‍රියමනාප බව නිසා දිලිත් හට ජනතා ආකර්ෂණයක් තිබේ. එසේම මෙරට විදේශ තානාපති අංශ තුලද දිලිත් හට හොඳ පිළිගැනීමක් තිබේ. ඔහුට නව අදහස් හා ක්‍රමවේද ඔස්සේ තරුණතරුණියන් ආකර්ෂණය කර ගෙන නව වැඩපිළිවෙලක් දියත් කිරීමේ හැකියාව මෙන්ම සම්පත්ද තිබේ. එහෙත් ජනාධිපති අපේක්ෂකත්වය යනු පහසු කටයුත්තක් නොවේ. එම නිසා ඉදිරි වසරක කාලය ඔහුට තීරණාත්මක වනු ඇත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan